විවිධ අවස්ථාවලදී අපෙන් කෙරෙන කටයුතු සම්බන්ධයෙන් බාහිර අය විසින් එල්ල කරනු ප්‍රතිචාර බොහෝ දුරට කළකිරීම් වලට ඉවහල් වේ. දිනපතා අප සිත් තුළ ඇතිවන හැඟීම් තාවකාලිකව ඒවා පැවති අවස්ථාව වෙනස් වීමත් සමගම පහව යයි. එමනිසා ඉන් හානි සිදු නොවේ. එහෙත් දිගුකාලීනව ඒවා පැවතීම හානිකරය.
කලකිරීම යනු කුමක්ද?
අනපේක්ෂිත සිදුවීම්, සැලසුම් නොකළ කාලසීමාවන්ට මුහුණ දීම, දිගු කාලයක් වැඩකිරීම ආදී ඕනෑම ආතති අවස්ථාවකට ප්‍රතිචාරයක් ලෙස කලකිරීම මතුවේ. දිගුකාලයක් පැවතීමේදී පාලනය නොකළ හැකි කෝපය, ආතති මට්ටම් ඉහළ යෑම, අධෛර්යමත් වීම, උනන්දුව සහ උත්තේජනය අඩුවීම ඇතිවේ. තවද දුෂ්කර අවස්ථාවලදී ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ හා එවැනි අවස්ථාවන් හා පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියා මට්ටම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
කලකිරීමට හේතු
අභ්‍යන්තර සාධක, සමාජානුයෝජනයේදී උරුම වූ පුද්ගල ගති ලක්ෂණ හෝ විශ්වාස මෙන්ම බාහිර සාධකද කලකිරීම් වලට හේතුවිය හැකිය. අනපේක්ෂිත සිදුවීම්, සෞඛ්‍ය ප්‍රමිතිවලට පටහැනි වූ සේවාස්ථාන, ප්‍රවේශ විය නොහැකි ඉලක්ක කාලසීමාවන්, ඉටු නොවූ ලිංගික ආශාවන්, පශ්චාත් කම්පන සින්ඩ්‍රෝම (PTSD) වැනි මානසික ආබාධ කළකිරීම්වල මූලාශ්‍ර වේ.
ලිංගික කලකිරීම
විවිධ පුද්ගලයින්ගේ වෙනස් ආකාරයේ ලිංගික තෘප්තියේ අපේක්ෂාවන් ඇත. ඒවා යථාර්ථය නොවූ කළ කලකිරීම් ඇතිවේ. අතෘප්තියට හේතුවූ කරුණු අතර සාක්ෂාත් කර නොගත් ආශාවන්, ලිංගික දුර්වලතා, තමුන් ගැන හෝ තම පෙනීම ගැන ඇති අප්‍රසාදය විය හැකියි. අධික කාමාශාව ඇති පුද්ගලයින්ට පමණක් ලිංගික කලකිරීම ඇතිවන බවට වූ මිථ්‍යා විශ්වාසය බිඳහෙළමින් පර්යේෂණ මගින් සාමාන්‍ය ලිංගික ආශාවන් ඇති පුද්ගලයින් කෙරෙහිද බලපවත්වන බව සනාථ වී තිබේ. විවිධ පුද්ගලයින්ට වෙනස් ආකාරවලින් දැනෙන මෙම ආතතියෙන් මිදීම සඳහා අයහපත් ලිංගික ක්‍රියාකාරකම් වලින් මිදීම වැදගත්ය.
ලිංගික කලකිරීම ප්රකාශවන ලක්ෂණ
සහකරු සහ සහකාරිය එකිනෙකාගෙන් දුරස්ථ වීම, ලිංගිකත්වය යන මාතෘකාව ගැන හවුල්කරු සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කිරීම, ලිංගිකත්වය ගැන අඩු ආකර්ශනය, දිගින් දිගටම පවතින නොසන්සුන්කාරී හා කෝපාවිෂ්ට ස්වභාවය, ඊට පිළියමක් ලෙස අක්‍රමවත් ලෙස ආහාර අනුභව කිරීම, අසභ්‍ය දර්ශන නැරඹීම, අවදානම් ලිංගික ක්‍රියාවලට පෙළඹීම, ලිංගික කටයුතු ගැන නෑසූ කන් ඇතිව සිටීම, ලිංගික ඵලදායීතාව අඩුවීම සහ රැකියාව ගැන කළකිරීම ආදියෙන් ලිංගික කලකිරීම ප්‍රකාශ වෙයි.
කලකිරීම සමග කටයුතු කරන ආකාරය
කලකිරීම පාලනය කිරීමට උගෙනීම සඳහා අප කලකිරීමට මුල් වූ මූලාශ්‍ර ගැන දැනගත යුතුය. පළමු පියවර වශයෙන් අප චිත්තවේග බුද්ධිය (Emotional Intelligence) හෙවත් තමුන්ගේ සහ අන් අයගේ හැඟීම් හඳුනාගැනීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව අවදි කළ යුතුය. දෙවන පියවර වන්නේ ශුභවාදී වීමයි. අභියෝග අප පාලනයෙන් ගිලිහී යන බව දැනෙන්නේ සෘණාත්මක සිතිවිලි නිසාය. ඒ වෙනුවට ශුභවාදී සිතිවිලි වලින් ශක්තිමත් වන ඔබට පහසුවෙන් කලකිරීමට මුහුණදිය හැකිය. ඔබට ලැබී ඇති දේවල් කෘතඥතා පූර්වකව සිහිකරන්න.
හුස්ම ගැනීම වැනි සැහැල්ලු වීමේ අභ්‍යාස පුහුණු වන්න. එහිදී මොළයට වැඩි වශයෙන් ඔක්සිජන් ගලායන අතර මනස නිසල වීමට එය උදව් වේ. පිරිසිදු වාතාශ්‍රය ලැබීමද ආතති හැඟීම් වලින් මිදීමට උදව්වකි. ඔබ සිටින ස්ථානයෙන් වෙනත් පරිසරයකට යෑමෙන්ද ගැටලු විසඳෙනු ඇත. විවේක ගැනීම තුළින්ද අයහපත් සබඳතාවලින් ඉවත්වී අදාළ ගැටලුවට ප්‍රවේශ වීමට මනසට වැඩි අවස්ථාවක් ලැබේ. එසේම මනසට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි. අනපේක්ෂිත සිදුවීමක් සාමාන්‍ය දෙයක් බවත් ඔබගේ වරද හෝ හැකියාව ඊට අදාළ නොවන බවත් සිතීමට පුරුදුවෙන්න.
යථාර්ථවාදී ඉලක්ක වලට යෑමෙන්ද කළකිරීම අවම වේ. ඔබට කළ හැකි දේ ගැන ඉලක්ක තබා ගන්න. ඔබගේ කලකිරීමට හේතුවූ ලිංගික හෝ වෙනත් සබඳතාවලට හේතුවූ පුද්ගලයා හා සෘජුව කතාකරන්න. ඔබගේ වේදනාව අදාළ පුද්ගලයාට දැනගැනීමට සැලැස්වීම තුළින් ඔබගේ ගැටලුවට සහනය ලැබෙනු ඇත. එසේම ගැටලුවට මුහුණ දීමේ විකල්ප අවස්ථා ගැන දැනගැනීමට හැකිවනු ඇත. මෙසේ නිශේධාත්මක හැඟීමක් නිසි ලෙස කළමනාකරණය කරගැනීම තුළින් එය පුද්ගල වර්ධනයේ මාවත කරගත හැකිය. එහෙත් මතක තබාගන්න. නිරන්තර කලකිරීමේ හැඟීම සාමාන්‍ය දෙයක් නොවේ.
(https://www.australiacounselling.com.au/ ඇසුරෙන්)
සුනිල් අල්ගම ✍️