තිසරි හංසමාලි
“ගෑනු ඉගෙනගෙන මොකක් කරන්නද? මොකක් කරත් අන්තිමට කුස්සිය මුල්ලෙ” ඕකනෙ ආදි කාලෙ ඉඳන්ම වර්තමානයේත් සමහර ලොකු උන්දැලා ගෑනුන්ව පහතට ඇදලා දාන්න කියන උදාන වාක්‍ය. හැබැයි ඔය විගඩං සේරම මේ දූපත් වැසියන් අතරෙ විතරයි. එහෙම කටමැත දොඩවන උන්දැලාට නොතේරුණාට ඒවා ගල් පැලෙන බොරුය කියල ඔප්පු කරපු ගෑනු මේ රටේ ඕනතරම් ඉන්නවා. ආයෙ කියනවනෙ ඔය ගෑනුන්ට පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවය කියලා. ඒකත් පට්ටපල් බොරු. ඒ නිසා ගෑනුත් මවාගෙන ඉන්නවා බොරු මනස්ගාත ‘අනේ මේ රස්සාව ගෑනු අපිට ගැළපෙන්නෙ නෑ’ කියලා. එහෙම හිතන කෙල්ලන්ටත් හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන් කෙල්ලෙක් මං පහුගිය දවසක දැක්කෙ වෛද්‍යවරයකුගේ පෝස්ටුවකින්. ඇය කවුරුත් හඳුන්වන ‘ගරාජ්කාරියක්’. හැබැයි ඔය ගොඩක් අය හිතන් ඉන්න විදිහට ගරාජ්කාරයෝ නූගත්ද කියන ප්‍රශ්නයට ඇය හොඳ උත්තරයක් දෙනවා. ඇගේ කතාව මේ රටේ මෝඩ මත ඔළුවෙ තියන් ජීවත්වන හැම කෙනෙක්ටම හොඳම ආදර්ශයක් වෙන නිසයි මේ කතාව මෙහෙම අකුරු කෙරෙන්නෙ…
තිසරි මුලින්ම කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…
මම තිසරි හංසමාලි. වයස අවුරුදු 23 යි. පදිංචිය වැලිමඩ, කැප්පෙටිපොල. මගේ පවුලෙ ඉන්නෙ මමයි, අම්මයි, අප්පච්චියි, මල්ලියි. මම මුලින්ම ඉගෙනගත්තෙ වැලිමඩ ජාත්‍යන්තර පාසලේ. ඊටපස්සෙ උසස් පෙළට වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.
සාමාන්‍යයෙන් ගෑනු ළමයි මෙහෙම රැකියා ක්ෂේත්‍රයන්ට යොමු වෙනවා අඩුයි. තිසරිට මෙයට යොමු වුණේ ඇයි?
මුලින්ම කියන්න ඕනෙ පොඩි කාලෙ ඉඳන්ම මම වාහනවලට ආසයි. අප්පච්චිට බස් තුනක් තියෙනවා. ඒ බස් කැඩුණම ඒවා හදන්න අප්පච්චි ගරාජ් එකට යනකොට මාවත් එක්කගෙන යනවා. මම එතන ඉඳන් ගරාජ් එකේ අය බස් එකේ කෑලි ගලවන විදිහ බලන් ඉන්නවා.
ඇත්තටම මගේ අනාගත බලාපොරොත්තුව වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. වාහනවලට පුංචි කාලෙ ඉඳන් ආස වුණාට යන්න ඕන පැත්තක් මං දැනන් හිටියෙ නෑ. 2015 දි තමයි ඉංජිනේරු තාක්ෂණවේදය ආවේ. වැලිමඩ සෙන්ට්‍රල් එකේ හිටපු තිලක් සර් තමයි මට කිව්වෙ, පුතේ ඔයා සයන්ස් කරන්න එපා ඉංජිනියරින් ටෙක්නොලජි කරන්න කියලා. ඔටෝ මොබයිලුත් තිබුණ නිසා මං ආසාවට ඉංජිනියරින් ටෙක්නොලජි ඉගෙනගත්තා.
ඒ කියන්නෙ බෝනික්කො පැත්තකට විසි කරලා පුංචි කාලෙ තිසරි සෙල්ලම් කළෙත් වාහනවලින්ද?
ඇත්තටම ඔව්. මට අප්පච්චි කවදාවත් බෝනික්කො, සෙල්ලම් බත් උයන ඒවා ගෙනත් දීලා නෑ. රිමෝට් කාර්, ජීප් වගේ සෙල්ලම් වාහන තමයි ගෙනත් දීලා තියෙන්නේ. මම ලොකු වෙනකල්ම ලොකු මළු දෙකක සෙල්ලම් කාර් තිබුණා. ඒවා කඩ කඩ හද හද තමයි පුංචි කාලෙ මං කාලෙ ගෙවලා තියෙන්නෙ.
කවුරුත් කියල නැද්ද ඔය රස්සාව ගෑනු ළමයෙක්ට ගැළපෙන්නෙ නෑ කියලා…
කෝස් එකත් ඉවර කරලා ට්‍රේන් වෙන්න එළියට බැස්සට පස්සෙ තමයි ඔය ප්‍රශ්නෙ ආවේ. වැඩ කරනකොට අහල තියෙනවා සමහරු ඔයාට පුළුවන්ද මේ බර උස්සන්න, වාහන යට රිංගන්න, ගෑනු ළමයෙක් නිසා රූපෙ ගැන හිතන්නෙ නැද්ද වගේ ඒවා. නමුත් මේක මම ආස කරන රස්සාව නිසා මම ඒවා එවෙලෙට අහලා නිකන් ඉන්නවා.
කොහොමද මේ ආපු ගමන…
මට මාර ආසාවක් තිබුණා ජර්මන් ටෙක් යන්න. ඉංජිනියරින් ටෙක්නොලජි ඉගෙනගන්න කාලෙ ඒ සර් අපිව එක්කගෙන ගියා ජර්මන් ටෙක් එක බලන්න. එතන හොඳ හොඳ වාහන තිබුණා ළමයින්ට හදන්න පුරුදු වෙන්න. හොඳ වර්ක්ෂොප්ස් තිබුණා. නමුත් මට ජර්මන් ටෙක් යන්න ලකුණු මදි වුණා. ඊටපස්සෙ මං හිතාගත්තා ටෙක්නිකල් කොලේජ් එක හරහා හරි ඉස්සරහට යනවා කියලා. 2020 මම බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයට ගියා මෝටර් රථ විදුලි කාර්මික ශිල්පය පාඨමාලාව හදාරන්න.
ඒක ඉවරවෙලා මම මාස තුනක් පාර අයිනක පොඩියට හදලා තිබුණ ජයන්ත මෝටර්ස් කියන ගරාජ් එකට ට්‍රේනින් වෙන්න ගියා. පොඩි වුණාට ඒ මාමගෙ ගරාජ් එකේ කවදාවත් වාහන අඩු වුණේ නෑ. අව්වෙ වැස්සෙ වෙනසක් නැතුව උදේ ඉඳන් හවස් වෙනකල්ම අපි හිටගෙන වැඩ කළේ. මොකද ගරාජ් එකේ ඉඩ නැති නිසා වාහන නැවැත්තුවේ පාර දිගේ. ඊටපස්සෙ මට ට්‍රේනින් වුණා කියලා සහතිකයක් ඕන නිසා තමයි කැප්පෙටිපොල ඩිපෝවට ගියේ. ඩිපෝ එකේ බස් විතරනෙ තියෙන්නෙ.
ඒකෙ ඉලෙක්ට්‍රිකල් අංශෙ මාස නවයක් ඉඳලා ජොබ් එකක් හොය හොය ඉද්දි වැලිමඩ ගිහාන් මෝටර්ස් කියලා යමහා බයික් හදන තැනක් මට හම්බුණා. එතන මාස එකහමාරක් විතර බයික් සර්විස් කළා. ඊටපස්සෙ මට අරුප්පොල තාක්ෂණික විද්‍යාලයේ ඔටෝමොබයිල් ඩිප්ලෝමාව හදාරන්න ඉන්ටවීව් ආවා. එතන මම අවුරුදු එකහමාරක් කොල්ලො 30ක් එක්ක ට්‍රේනින් වුණා. මම තමයි එකම කෙල්ල. එතනින් පස්සෙ තමයි මම සේවය කරන බදුල්ල ඔටෝමිරාජ් එකට ආවේ. ට්‍රේනින් වුණ අවුරුදු ගාණෙම මට කිසිම ගාණක් හම්බුණේ නෑ. වාහන හදාගන්න එන කවුරුත් මට ටිප් එකක්වත් දෙන්නෙ නෑ. එයාලට ලැජ්ජයි වගේ මං ගෑනු ළමයෙක් නිසා මගේ අතට කීයක් හරි දීලා යන්න. මම වැඩ කළේ පුහුණුවීමේ බලාපොරොත්තුවෙන් නිසා මම ඒ ගැන හිතුවෙ නෑ.
ඕනම වාහනයක් දැන් හදන්න පුළුවන්ද?
ඔව්. ඔටෝමිරාජ් එකට එන්නෙ අලුත්ම වාහන. ඒවෑ සර්විස් පැත්ත හොඳටම පුළුවන්. ඊට අමතරව සස්පෙන්ෂන් සිස්ටම්, එංජින්වල වැඩ එහෙමත් පුළුවන්. ජියර් බොක්ස්, ඩිෆරන්සල් වැඩ කරන්න මට තාම තියරි නොලේජ් එකක් විතරයි තියෙන්නේ. ඒක ප්‍රැක්ටිකලි මට තාම අහුවුණේ නෑ. ඒත් ඒක ගරාජ් එකකින් හරි මං ඉගෙනගන්නවා.
ගෑනු ළමයෙක් නිසා වැඩිපුර කට්ටිය එනවද ඔයාගෙන් වාහන හදාගන්න?
දැන් වැඩකරන්නෙ කම්පණි එකක නිසා අපි වැඩ කරන තැනට කස්ටර්මර්ස්ලට එන්න බෑ. ඒත් ගොඩක් කස්ටර්මර්ස්ලා වාහනේ වර්ක්ෂොප් එකට දාලා එළියෙ ඉඳන් මං වැඩ කරනවා දැක්කම ඇතුළට ඇවිත් බලන් ඉන්නවා. එතකොට ඉතින් මැනේජර් මුකුත් කියන්නෙත් නෑ. සමහර වෙලාවට එයාල එන්නෙ පළවෙනි සර්විස් එකට. ඊටපස්සෙ බොඩිවොෂ් එකක් දාන්න හරි දිගටම එන අයත් ඉන්නවා.
මජං ගාගෙන ඉන්න තිසරිට මේක්අප් අගුණයිද?
රස්සාවට යන්න ඇරෙන්න ගෙදරින් එළියට බහිද්දි මම අනිවාර්යයෙන් මේක්අප් එකක් දානවා. වැඩට යද්දිනම් දාන්නෙ නෑ මොකද මේක්අප් දාන් ගිහින් වැඩ කරන්න බෑ. ඔයිල් අනම්මනම් මූණට විසික් වුණාම පිම්පල්ස් දානවා. ඒ ඇරුනම මම අනිත් ගමන් බිමන් යන්නෙ සාමාන්‍ය ගෑනු ළමයෙක් විදිහට ලස්සනට ඇඳලා, මේක්අප් එකක් දාලා. මම හොඳට ෆැෂන් කරන කෙනෙක්.
කොහොමද අම්මා, අප්පච්චිගෙන් ලැබෙන ප්‍රතිචාරය?
අම්මා නම් ගොඩක්ම සතුටින් ඉන්නෙ. ඒ දෙන්නා මට උගන්නන්න ගොඩක් මහන්සි වුණා. අප්පච්චි රෑ එළි වෙනකල් බස් එලවලා තමයි මට ඉගැන්නුවේ. අම්මත් ගෙදර ආර්ථික ප්‍රශ්න ඇතිවෙනකොට මුරුක්කු වර්ග ගෙනල්ලා පැකට් කරලා කඩවලට දැම්මා. එහෙම කරලා තමයි උසස්පෙළ වෙනකල් මට ඒ දෙන්නා ඉගැන්නුවේ. ඒ නිසා අද මං ඉන්න තැන ගැන එයාලට හරිම සතුටුයි.
ඔබ ගැන සමාජය දැනගත්තෙ වෛද්‍යවරයෙකුගේ පෝස්ට් එකක් හරහා. ඒ මුණගැසීමත් අපූරුයි නේද?
ඔව්. මම ඇඳන් ඉන්න ඕරෝල් එක වගේ ඒවා තමයි ඩොක්ටර්ස්ලත් අඳින්නෙ. පිරිමි ළමයි අඳින ඕරෝල් මට අඳින්න බෑ ගෑනු ළමයෙක් නිසා. මට මේ ඕරෝල් එක දුන්නෙ මගේ පෙම්වතා.
ඔහු ජර්මන් ටෙක් එකේ. ඉතින් මම ඕකත් ඇඳගෙන ප්‍රියස් එකක ටයර් එකක් ගලව ගලව හිටියේ. ඩොක්ටර් පාලිත හිතල තියෙන්නේ ඩොක්ටර් කෙනෙක් එයාගෙ කාර් එකේ ටයර් එක ගලවනවා කියලා. ඊටපස්සෙ ඩොක්ටර් ඇවිත් මට කතා කළා. මගෙන් ඇහුවා පුතේ මම ඔයාගෙ ආටිකල් එකක් දානවා ෆේස්බුක් එකට කමක් නැද්ද කියලා.
ගෑනු ළමයින්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා කියලා සමාජයේ මතයක් හැදිලා තියෙනවා. තිසරි මොකද ඒ ගැන හිතන්නෙ?
මම ඒක අනුමත කරන්නෙ නෑ. මොකද මම අත්දැකලා තියෙන විදිහට පිරිමින්ට වඩා ගෑනු හැම අතින්ම හයියයි. ගෙදර අම්මා බලන්නකො. තාත්තා මොන දේ කළත් අම්මා හයියට ඉන්නවනෙ. ගෑනු අයට කරන්න බෑ කියලා දෙයක් නෑ.
ඒක සමාජය විසින් ගොඩනගල තියෙන දෙයක් විතරයි.ඔය සමහර අය කියන්නෙ කොච්චර ඉගෙනගත්තත් අන්තිමට කුස්සියේ කියලා. එහෙම වෙන්නෙ ඇයි? තමන්ට යම්කිසි ටැලන්ට් එකක් තියෙනව නම් ඒක ජොබ් එකක් කරගන්න පුළුවන්.
සමාජ කතන්දර වැඩක් නෑ. ඔය විකාර ලංකාවෙ විතරයි. පිටරටවල කොච්චර ගෑනු ගරාජ්වල වැඩ කරනවද? ලංකාවේ අය හිතන් ඉන්නෙ ගරාජ්වල වැඩ කරන්නෙ ඉගෙනගත්තෙ නැති මිනිස්සු කියලනෙ.
ගරාජ්කාරයෝ කියලනෙ කියන්නෙ. හැබැයි වාහනයක් කැඩුණම ඒකට පණ දෙන්නෙ ගරාජ්කාරයා. ඔය වැඩකට නැති මත නැති වුණා නම් ටෙක්නීෂියන් කෙනෙක් කියන්නෙ වෛද්‍යවරයෙක්ට සමාන වෘත්තිකයෙක්.
එරංදි කෞශල්‍යා ✍️