කිරීටක ධමනීන් අවහිරවීමේ රෝග තත්ත්වය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් අද බොහෝ දෙනෙක් අකාලයේ මරණයට පත්වනවා. දළ වශයෙන් සඳහන් කරනවා නම් සිදුවන මරණ සංඛ්‍යාවෙන් 50% ක් හෘදයාබාධ නිසා සිදුවන මරණ අතරට ගැනෙනවා. පිළිකා රෝග තත්ත්වයන් නිසා 20% ක්ද, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසා තවත් 5% ක මරණ ප්‍රතිශතයක් වාර්තා වනවා.කිරීටක ධමනි අවහිර වීම හෘදයාබාධ ඇතිවීමේ තත්ත්වයට බලපානවා. ප්‍රධාන කිරීටක ධමනීන් තුනක් ඇති අතර අපේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය කිරීටක ධමනීන් ඔස්සේ පරිවහනය වනවා. යම් ලෙසකින් කිරීටක ධමනියක් අවහිර වුණොත් හෘදය වස්තුවට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය නිසි පරිදි සිදුවන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපට විවිධ රෝග අපහසුතාවන් දැනෙන්න පටන් ගන්නවා.
කිරීටක ධමනීන්හි අවහිරතාවක් නිසා ඇතිවන රෝග තත්ත්වයන්
( 1 ) Angina pectories කිරීටක ධමනීන්හි ඇති අවහිරතාව නිසා හෘදය වස්තුවට අවශ්‍ය රුධිර සැපයුම නිසි පරිදි සිදුනොවන විට ඇතිවන වේදනාකාරී තත්ත්වය ( Angina pectories ) යනුවෙන් හැඳින්වෙනවා.මෙහිදී රෝගියාට දැනෙන ලක්ෂණවල පොදු සමානකම් කීපයක් තිබෙනවා.
“ඉස්සර මට ඕන දුරක් වේගයෙන් ඇවිදින්න පුළුවන්. ඒත් දැන් මට වෙනදා නැති මහන්සි ගතියක් දැනෙනවා” සමහර රෝගීන් මේ විදිහට තමන්ගේ අපසුතාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව පපු බිත්තියේ ඇතිවන මෙම දැඩි වේදනාව ගෙල, හණු, දත්, අත ඔස්සේ ඒ සමාන වේදනාවක් විිදිහට පැතිරී යන්නටත් පුළුවන්. මේ සමග දහඩිය දැමීම, වමනය වැනි අපහසුතාවන් අඩු වැඩි වශයෙන් ඇති විය හැකියි. මෙම රෝග තත්ත්වය ඇන්ජයිනා (Stable Angina ) යනුවෙන් හැඳින්වෙනවා.
(2) ඇන්ජයිනා ( Angina pectories ) රෝග තත්ත්වය නිසා අවහිර වුණ ධමණීන් තව දුරටත් අවහිර වීම. මේ වෙන විටත් ඇන්ජයිනා ( Stable angina ) රෝගි තත්ත්වයට පත්ව අවහිර වී තිබෙන ධමණීන්ගේ හදිසියේ ලේ කැටියක් හිරවීමක් සිදු වුණොත් වෙනදාට නැති අන්දමේ පපුවේ වේදනාවක් රෝගියාට දැනෙන්න පුළුවන්.
වෙනදාට වඩා වැඩි වේලාවක් වේදනාව පවතිනවා නම් රෝගින් විවේකීව සිටින විට රාත්‍රි නින්දේදී සහ ඉතාම සුළු වශයෙන් වැඩක නිරත වනවිට වගේම පියවර කීපයක් ඇවිදින විට තදබල විදිහට වේදනාව දැනෙනවා නම් මෙම අවහිර වීම කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් හෝ රුධිර කැටියක් නිසා වෙන්නත් පුළුවන්. මෙම කාණ්ඩයේ රෝගීන් ඉතාම ඉක්මනට ප්‍රතිකාර වෙනුවෙන් යොමුවීම වැදගත්. ඒ තත්ත්වය නොසලකා හැරියොත් ඔවුන්ගේ කිරීටක ධමණීන් 100% ක් අවහිර වන්න පුළුවන්.
මුලින් සඳහන් කළ වේදනාවන්ට වඩා මේ අවස්ථාව වෙනස්. පුද්ගලයෙක් විවේකීව සිටින විට වගේම නින්දේදී පවා පපුව මැදින් තද වේදනාවක් ඇතිවනවා. මේ වේදනාව බෙල්ල, හකු ප්‍රදේශයට විහිදෙන අතරම අධික ලෙස දහඩිය දැමීම, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. මේ වගේ අවස්ථාවක ඉක්මනින් රෝහල්ගත වීම වැදගත්.
කිරීටක ධමනීන් අවහිර වෙන්නේ ඇයි?
කිරීටක ධමනීන්හි අවහිරතාවට විවිධ හේතු බලපානවා.
අධික රුධිර පීඩනය
දියවැඩියාව
අධික කොලෙස්ටරෝල් සංයුතිය
පවුල් ඉතිහාසය
අහිතකර ජීවන රටාව – ආහාර – ව්‍යායාම- අධික ශරීර බර හෙවත් තරබාරුව
මද්‍යසාර භාවිතය
හදවත ආරක්ෂා කරගැනීම පුද්ගලයකුගේ උපතේ පටන්ම සිදුවිය යුත්තක්. දරුවන් කුඩා කාලයේ පටන්ම ඔවුන්ට ලබාදෙන ආහාර ගැන දෙමව්පියන් සැලකිළිමත් වීම වැදගත්. තවම පොඩි වයස යැයි සිතා දිව පිනවන පරිදි අධික මේද, ලුණු සහිත ආහාර වැඩි වශයෙන් ලබාදීම සුදුසු නැහැ. ඒ වගේම දරුවන් තරබාරු වීම නීරෝගී බවේ ලක්ෂණයක් නොවේ. ඒ නිසා දරුවන්ගේ තරබාරුව පාලනය කරගැනීම සඳහා ඔවුන් සිරුර වෙහෙසෙන අන්දමේ ක්‍රිඩාවන්හි නිරත කරවන්න.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පසු වූ විට තමන්ගේ රුධිර පීඩනය අගය, කොලෙස්ටරෝල් ගිණුමේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකු උනන්දු වුණත් මේ තත්ත්වය ගැන වයස අවුරුදු 20 දී පටන්ම උනන්දු වීම ඉතාම වැදගත්.
කිරීටක ධමනි අවහිරතාවක් තිබුණොත් ඒ ගැන දැනගැනීම
යම් පුද්ගලයකුගේ කිරීටක ධමනියක් ආශ්‍රිතව ආබාධ තත්ත්වයක් ඇති වුණොත් ඒ ගැන දැනගැනීම සඳහා සිදුකරන වෛද්‍ය පරීක්ෂණය “ඇන්ජියෝග්‍රෑම්” යනුවෙන් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු මෙය “ඩයි පරීක්ෂණය” යනුවෙන් හඳුන්වනවා. මෙම පරීක්ෂණයේදී කැතීටරයක ආධාරයෙන් රෝගියාට ඩයි විශේෂයක් එන්නත් කරනවා.
එයින් අනතුරුව එම ඩයි වර්ගයේ ගමන් මාර්ගය ගැන නිරීක්ෂණය කිරීම සිදුවනවා. හදවත දක්වා වූ ගමන් මාර්ගයේදී එන්නත් කළ ඩයි වර්ගය කිරීටක ධමනීන් ආශ්‍රිතව නැවතෙන ස්ථාන හඳුනාගන්නවා.
එම ස්ථානයන්හි ඇති අවහිරතාවන් මෙහිදී නිවරැදිව හඳුනාගැනීමට පුළුවන්. කිරීටක ධමනීන්හි අවහිරතාව හඳුනාගත් පසු එම කිරීටක ධමනි ආශ්‍රිත අවහිරතාවන් සඳහා වූ ප්‍රතිකාර ආරම්භ කරනවා.
මුලින්ම රෝගියාගේ කිරීටක ධමනි අවහිරතාවයට හේතු හඳුනාගෙන ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සිදුවෙනවා උදාහරණ වශයෙන් අහිතකර කොලෙස්ටරෝල් ගිණුම පාලනය කිරීම. මෙහිදී Low density lipoprotenis – LDL අගය අඩුවෙන් තබාගැනීම ඉතා වදගත්. ඒ සමග හිතකර කොලෙස්ටරෝල් හෙවත් මට්ටම High density lipoprotenis- HDL ඉහළ අගයක පවත්වා ගැනීමත් වැදගත්.
අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි ධමනීන් අවහිර වීමට හේතු සාධක හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම, ලුණු සහ සීනි අධික ආහාර ලබාගැනීම සීමා කිරීම.
රුධිරය තුනි කිරිම සඳහා අවශ්‍ය ඇස්ප්‍රින් වැනි ඖෂධ ලබාදීම.
රෝගියාගේ කිරීටක ධමනීන් ආශ්‍රිත අවහිරතාව අනුව ස්ටෙන්ට් ප්‍රතිකාර හෝ විවෘත හදවත් සැත්කම ( Bypass) වෙනුවෙන් යොමු කිරීම.
මේ අනුව කිරීටක ධමනියක ඇතිවන අවහිරතාව ගැන සුළුවෙන් සිතන්න බැරි බව ඔබටද වැටහෙනවා ඇත. මේ තත්ත්වය ඔබටත් නොදැනීම සිදුවන්නක්. නමුත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටින්නේ නම් නීරෝගී හදවතක අයිතිකරුවා බවට ඔබ පත්වනු ඇත.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️