මුලින්ම කියන්න ඕන එකක් තමයි අපි මේ ලිපියේ කතා කරන හැම කරුණක්ම මනෝවිද්‍යාත්මක පසුබිමක් තියෙන විද්‍යාත්මක කරුණු. හිතළු නෙවෙයි. අපි මේක මෙහෙම පටන්ගමු. මේ ළඟඳි දවසක ලස්සන කතාවක් දැක්කා. මේ ලෝකෙ කලාව බිහිවුණේ මනුස්සයෙක්ට පළමුවෙන්ම ආදරයක් ගැන හැඟීමක් ඇති වුණ මොහොතේ කියලා. අනිත් එක විරහව දැනුණ මොහොතේ. ලෝකයේ කලා නිර්මාණ ගත්තාම ආදරය, ආකර්ෂණය ගැන හෝ නැත්නම් විරහව ගැන. මේ තාක් දුරකට අපි අපේ ජීවිතේ කොච්චර මිනිස්සු පහුකරගෙන ඇවිත් තියෙනවද? ඔයා කසාද බැඳපු කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ජීවිතේ විවිධ පරිච්ඡේද පහුකරගෙන ඇවිත් ඉන්නෙ. ඒ පරිච්ඡේදවලදි මුණගැහුණු මිනිස්සු විවිධයි. සමහර වෙලාවට එහෙම මුණගැහෙන මිනිස්සුන්ට අපි ක්ෂණයකින් ආකර්ෂණය වෙනවා. ඒකට කාලය අදාළ නෑ.
ඒක ආදරයක් නෙවේ ආකර්ෂණයක් කියලා හිතෙන්නෙ පහුවෙලා…
ගැහැණු, පිරිමි වැඩිවිය පැමිණීමත් එක්ක ආදරය ගැන හැඟීම්, විරුද්ධ ලිංගික ආකර්ෂණයක් ඇතිවීම සාමාන්‍යයි. නමුත් අවුරුදු 14 – 19 වයස් වල ඉන්න නව යොවුන් දරුවන් ලිංගික ආකර්ෂණය ආදරයක් විදිහට අඳුරගන්නවා. ඔවුන් අවුරුදු කිහිපයක් ගිහින් පරිණත වුණාම ඔවුන්ට තේරෙනවා ඒ තිබුණේ ආදරයක් නෙවේ ආකර්ෂණයක් විතරයි කියලා. අපි කවදහරි විවාහ කරගන්නෙ ඔය ආකර්ෂණය වෙච්ච මිනිස්සුම නෙවෙයි. හැබැයි ආකර්ෂණය වෙච්ච මිනිස්සු එක්ක ලිවින්ටුගෙදර් හිටියා වෙන්න පුළුවන්. විවිධ මට්ටම්වලින් ඒ සම්බන්ධය දිවෙන්න ඇති. හැබැයි ඒ එකක්වත් විවාහයෙන් කෙලවර වෙලා නැතුවැති. විවාහයෙන් කෙලවර වෙන්න ඕන කියල නියමයකුත් නෑ.
විවාහයෙන් කෙලවර නොවුණත් කැඩුණු බිඳුණු කෙනෙක් වෙන්න එපා…
එකම ප්‍රශ්නෙ විවාහයෙන් කෙලවර වුණත් නැතත් එතනදි කැඩුණු බිඳුණු මිනිස්සු වෙනවනම් එතනදි ප්‍රශ්නයක් තියෙනවා ඇති වුණ ආකර්ෂණය ඇතුළේ අපි ඒක කෙලවර කරලා තියෙන්නෙ කොතනින්ද කියන එක ගැන. මේ ලෝකෙ වෙනත් රටවල ඕනතරම් මිනිස්සු ඉන්නවා කසාද නොබැඳ ළමයි හදන, ළමයි නොහැදුවත් මැරෙනකල්ම අවිවාහකව එකට ඉන්න. ලංකාවෙ වගේ රටකනම් අපි හිතනවා සම්බන්ධයක් පටන්ගත්තොත් ඒක විවාහයකින්ම කෙලවර විය යුතුයි කියලා. නමුත් හමුවීම් විවාහයකින්ම කෙලවර විය යුතුයි කියල එකක් නෑ. හැබැයි ඒ ආකර්ෂණය වෙන දෙන්නා හරිම පරිස්සම් වෙන්න ඕනෙ තමන්ගෙ අතින් අනිත් කෙනාට නොරිදවෙන තැනක තියාගන්න.
මෙන්න හොඳම උදාහරණයක්…
මේ ළඟඳි මට මාර ප්‍රශ්නයක් ආවා විසඳන්න. එක ගෑනු ළමයෙක් ලංකාවේ ප්‍රසිද්ධ කවියෙකුට ආදරය කරලා. නමුත් ඒ කවියා ඒ ගැන දන්නෙවත් නෑ. නමුත් මේ ගෑනු ළමයා අර පිරිමි ළමයත් එක්ක මනෝමය ලෝකයකුත් මවාගෙන ඉඳලා තිබුණෙ. බැරිම තැන කවියගේ ගෙදරත් හොයාගෙන ගිහින් තිබුණා. එදා තමයි කවියා දැනගෙන තිබුණේ මෙහෙම දෙයක් වෙලා තියෙන බවක්. මං ගාවට එද්දි ඒ ළමයා විශාදයේ අවසන් අදියරේ හිටියේ. ඊළඟ අදියර සියදිවි නසාගැනීම.
ඇය නේවාසිකව ප්‍රතිකාර පවා ගත්තා. ඔය හිතින් මවාගන්න ෆැන්ටසි ලෝක හරියට බැලුන් බෝලයක් වගේ. අල්පෙනෙත්තකින් ඇනලා ඒ බැලුම එක පුංචි කටු තුඩකින් සම්පූර්ණයෙන්ම පුපුරවලා දාන්න පුළුවන්. එහෙම වුණොත් සිය දිවි හානිකරගන්න වුණත් පුළුවන්. වෙලාවට මේ ගෑනු ළමයා ඒ දේ කරගන්න කලින් මට මුණගැහුණා.
සමහරවිට පාසල් කාලය පුරාවටම හිතේ තිබුණ ආකර්ෂණීය දේවල් හංගගෙන ඉඳලා ඉඳලා පාසලේ අන්තිම දවසෙදි පුදුම වේදනාවක් එක්ක ඒ ආකර්ෂණීය බව හිතේම තියාගෙන එන්න වෙනවා. උසස්පෙළ කරන කාලෙදි මගෙ යාළුවෙක්ට ගෑනු ළමයෙක් අවුරුදු දෙකක් තිස්සෙ කැමැත්තෙන් ඉඳලා තියෙනවා. නමුත් යාළුවා දැනන් ඉඳලා නෑ. එතකොට ඒ ගෑනු ළමයට තව යාළුවෙක් මේකට සපෝට් කරලත් තියෙනවා. මේ ගෑනු ළමයට මගේ යාළුවා එක්ක තිබිලා තියෙනවා පොඩි තරගයකුත්. අන්තිමේ ඒ ළමයා නැවතුණේ මානසික රෝහලක. ඒක පාර්ශ්වීය ආකර්ෂණයක් ඇතුළෙ මෙහෙම දේවල් වෙන්න පුළුවන්.
රොමෑන්ටික් අයිඩියල් එක ඔයාට දවසක හමුවේවි…
අපේ රටේ මුල් බැසගත්ත අදහස් තියෙනවනෙ. එකක් තමයි ගෑනු ළමයෙක් වුණාම මෙන්න මේ කාලෙ විවාහ විය යුතුයි. මේ කාලෙදි ළමයි හදන්න ඕනෙ කාලෙ පැන්නොත් විවාහ වෙන්න බෑ කියලා. සමාජයේ මේ මුල් බැසගත්ත අදහස් එක්ක ඒ ගෑනු ළමයට හෝ පිරිමි ළමයට එන පීඩනය හිතන්නකො. විශේෂයෙන්ම එන්නෙ ගෑනු ළමයින්ට. අපි හැමෝටම තියෙනවා රොමෑන්ටික් අයිඩියල් කියලා එකක්. ඒ කියන්නෙ තමන්ගෙ හිතේ ඇඳගත්ත ගැහැනු රූපයක් හෝ පිරිමි රූපයක් තියෙනවා.
ගෑනු ළමයෙක්ගෙ හිතේ ඇඳිලා තියෙනවා අනාගතේ මගේ සහකරු වෙන්න ඕනෙ මෙන්න මේ වගේ කෙනෙක් කියලා රූපයක්. මෙන්න මේකටයි රොමෑන්ටික් අයිඩියල් කියන්නෙ. අපි එළියෙ සමාජෙන් හොයන්නෙ ඒ වගේ කෙනෙක්. මේක ඇතුළෙ පෞරුෂ ලක්ෂණ, බාහිර ලක්ෂණ, ගතිගුණ හැමදේම තියෙනවා. හිතේ ඇඳිලා ඉන්න රූපෙම මුණ නොගැසුණත් ඒ හා සමාන කෙනෙක් අපි හොයනවා.
කලබලේට බැඳලා නිවීහැනහිල්ලේ විඳවන්න එපා…
මුලින් කියපු සමාජයේ මුල් බැසගත්ත අදහස්වලට අහුවෙච්ච ගෑණු ළමයෙක් ඉන්නවනම්, ඒ ළමයා බඳින වයසෙ වුණත් තවමත් කෙනෙක් හොයාගන්න බැරිවුණානම් එයාට ගෙදරින් ගෙනාපු යෝජනා තෝරන්න වෙලාවක් නෑ. කොටින්ම ඇගේ රෝමෑන්ටික් අයිඩියල් එකට චාන්ස් එකක් දෙන්නවත් අවස්ථාවක් නෑ. සමහරවිට පාට්නර් තෝරල දෙන්නෙ ගෙදරින්. එතකොට ඇයට තෝරාගැනීමක් නෑ. යෝජනාවක් ආවා ඒකට ඔයා “Yes’’ කිව්වා. සමාජයෙන් ආපු පීඩනය නිසා අහුවෙච්ච එකක් කලබල වෙලා බැඳලා නිවීසැනසිල්ලෙ විඳවනවා.
ඒ වගේම පටස් ගාලා ආකර්ෂණය වෙලා විවාහ වෙන මිනිස්සුත් ඉන්නවා. ෆේස්බුක් එකෙන් එහෙම දැකලා ඉක්මනටම බඳින අය ඉන්නෙ ඕනතරම්. ඒ අර රොමෑන්ටික් අයිඩියල් එකේ ෆිසිකල් ෆීචර්ස් ටික විතරක් ඒ කෙනාගෙක් දැකපු නිසා. කාලයක් යද්දි තමයි ගතිලක්ෂණ අවුල් කියල තේරෙන්නෙ. දැක්කගමන් ආකර්ෂණය වුණා, ලිංගිකවත් එකතු වුණා, ඒකත් මරු වගේ කියල හිතුණා, ඔන්න මල් වෙඩිල්ල වගේ පත්තු වෙලා විවාහ වුණා.
විවාහය කියන්නෙ හරි පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන දෙයක්. ඒක අතුළෙ විවිධ අභිප්රායන් තියෙනවා. සමහරවිට අපි විවාහයට තෝරගන්න මනුස්සයා ‘මාරම ආකර්ෂණයක්’ නොවන මනුස්සයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු හෝ ඇය තුළ තමා හොයන අනිත් සියලුම ගුණාංග තියෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් හොඳින් අවබෝධ කරගන්න. ඒ නිසා ආකර්ෂණය වෙච්ච පමණින්ම විවාහ වෙන්නනම් එපා.
මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️