ඔහු වෛද්‍ය පුෂ්පික ද සිල්වා. පහුගිය දවස්වල ලංකාවේ ලේ බැංකු සියල්ලම කළමනාකරණය කළ හැකි ලෙසට පරිගණක දත්ත පද්ධතියක් සකස් කරලා සමාජ මාධ්‍ය පුරා ලොකු අවධානයකට ලක්වුණේ ඔහු. වෛද්‍ය පුෂ්පික අන්තර්ජාල දැනුම ඔස්සේ ලබාගත් පරිගණක දැනුම භාවිතයට ගනිමින් තැනූ මේ දත්ත පද්ධතිය නිසා වසරකට විශාල මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි වෙනවා වගේම රුධිර පාරවිලයන කටයුතු මනාව කරගෙනයාමේ හැකියාවත් උදාවෙලා තියෙනවා. දත්ත පද්ධතියකින් කොහොමද මෙයාකාර මුදලක් රජයට ඉතිරි කරදෙන්නෙ කියන පැනය ඔබට මතුවෙන්න පුළුවන්. එයට නිසි පිළිතුරු වගේම ඔහු වසර දහයක් පුරාවට වෙහෙස වී තැනූ දත්ත පද්ධතියේ වටිනාකම ඔහුගේ වචනවලින් අපි දැනගනිමු.
අවුරුදු දහයකට පස්සේ ජීව විද්‍යා අංශයෙන් A4 ක් ගත්ත එකම ළමයා…
මම ඉපදුනේ අම්බලන්ගොඩ. මගේ අම්මා විශ්‍රාමික විදුහල්පතිනියක්. තාත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියෙක්. ඔහු නම් මේ වෙද්දි ජීවතුන් අතර නෑ. මට ඉන්නේ අයියා කෙනෙක් විතරයි. අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයෙන් තමයි මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ. උසස් අධ්‍යාපනය හදාරන්න අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ විද්‍යාලයෙන් අවුරුදු දහයකට පස්සේ ජීව විද්‍යා අංශයෙන් A4 ක් ගත්ත එකම ළමයා මම. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙනගත්තෙ කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන්.
අදහස ආවේ මෙහෙමයි…
ජාතික රුධිර පාරවිලයන සේවය කියන එක නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය හා සම්බන්ධ වුණ ජාලයක්. දැනට ලංකාව පුරාම ලේ බැංකු 110 ක් තියෙනවා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් පාලනය වන. එතකොට ඔය ලේ බැංකුවලට යටිතල පහසුකම් සපයන්න ඕනේ ඒ රෝහලෙන්. නමුත් ඒකේ තාක්ෂණික පැත්ත පාලනය වෙන්නෙ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන්. ඉස්සර අපි බැංකු ගිණුමක් ඕපන් කළාම සල්ලි දාන්න, සල්ලි ගන්න බැංකුවටම යන්න ඕනනෙ.
ඒ වගේ තත්ත්වයක් තමයි ලේ බැංකුවලත් තිබ්බේ. ලේ බැංකු එකම ජාලයක් විදිහට සම්බන්ධ වෙලා තිබුණට තනි තනිවම තමයි පාලනය වුණේ. ක්‍රියාකාරිත්වයත් ඉතාම දුෂ්කරයි. සාමාන්‍යයෙන් රුධිර දායකයෙක් ලේ බැංකුවට ඇවිත් ලේ දුන්නම (ලේ බැංකුවට ඇවිත් හෝ ජංගම ලේ දන්දීමේ කඳවුරක ලේ දන් දෙන කෙනෙක්) ඒක ලේ බැංකුවේදී කොටස් විදිහට වෙන් කරනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා වගේ. ඒ කොටස්වලින් පරීක්ෂණ කරනවා රුධිර දායකයාට බෝවන රෝග එහෙම තියෙනවද කියලා.
ලිඛිතව මේ වැඩේ වෙන නිසා ලේ දෙන හැම වතාවෙම හැම විස්තරයම නැවත නැවතත් ලියන්න සිද්ධ වුණා. ලේ වර්ගය බලන්න පාවිච්චි කරන බෙහෙත්වලටම සෑහෙන වියදමක් යනවා. අවසානයේ කරන්නේ ලේ කොටස් නියමිත උෂ්ණත්වයේ ගබඩා කරන එක. ඊට පස්සේ ඒ ගබඩාවෙන් භාවිත කළ හැකි සංචිතයට ලේ සාම්පල් ටික මාරු කරනවා. සියලුම වාර්තා නිවැරදි නම් විතරයි ඒ කොටසට ලේ සාම්පල් මාරු කරන්නේ. අඩුම තරමින් මේ ක්‍රියාවලියට නිලධාරියෝ දෙන්නෙක්වත් ඉන්න ඕනේ. රෝගියෙකුට ලේ වර්ගය දෙන්න පුළුවන් සියලුම වාර්තා නිවැරදි වුණොත් විතරයි. ලෙඩාට ලේ දුන්නට පස්සේ ගැටලුවක් ආවොත් ආයෙමත් පරීක්ෂණයක් කරන්න ඕනේ.
බැරිවෙලාවත් ලේ දුන්නට පස්සේ දායකයා ඇවිත් කිව්වොත් තමන්ට බෝවන රෝගයක් තියෙනවා පස්සේ තමයි දැනගත්තේ කියලා, ඒ ලේ මොන ලෙඩාටද දුන්නේ, ඒ ලේ වලින් වෙනත් කොටස් කොහෙද තියෙන්නේ, තවත් තැනක මේ දායකයා ලේ දීල තියෙනවද කියලා හොයන්න ඕනේ. මෙහෙම දෙයක් වෙලා කොළ බල බල කරන්න ගියොත් සති ගණනක් ගතවෙනවා. මේ මම කිව්වේ ලංකාවේ ලේ බැංකුවල කලින් තිබුණ තත්ත්වය. මේ සේරම විසඳන්න අවශ්‍ය නිසයි මට තේරුනේ පරිගණක දත්ත පද්ධතියක් අවශ්‍යයි කියලා.
දත්ත පද්ධතිය හදන්න අවුරුදු දහයක් ගියා…
2009 තමයි මම දත්ත පද්ධතිය හදන්න පටන් ගත්තේ. ඔය කාලෙ මම රුධිර පාරවිලයන විශේෂඥ උපාධියක් හදාරන්න ගියා. මම රුධිර පාරවිලයනය සම්බන්ධයෙන් ගොඩක් දේවල් එතනදි ඉගෙන ගත්තා. ඒ දැනුම දත්ත පද්ධතිය සකස් කරන්න බොහෝ ප්‍රයෝජනවත් වුණා. මම දත්ත පද්ධතිය හදන්න කළින් රෝහලෙන් මෘදුකාංග ඉංජිනේරුවරුන්ට බාර දීලා තිබුණේ දත්ත පද්ධතිය හදන්න. මොකද ඒ වෙද්දි එකේ කාර්යභාරය අපහසුයි කියලා කාටත් තේරිලා තිබුණා.
නමුත් හදපු දත්ත පද්ධතිය අසාර්ථක වුණා. ඔවුන් මෘදුකාංග පැත්තෙන් කොච්චර දක්ෂ වුණත් සෞඛ්‍ය ක්ෂේත්රය ගැන අවබෝධයක් නැහැනේ. මමත් වෛද්‍යවරයෙක් වුණාට පරිගණක පිළිබඳ දැනුම ඉතාම අල්පයි. මම අන්තර්ජාලයෙන් පරිගණක දැනුම ලබාගෙන තමයි පියවරෙන් පියවර මේ වැඩේට අත ගැහුවේ. අවුරුදු හතක් විතර ගත වුණා මේ පරිගණක දත්ත පද්ධතිය හදලා ඉවර කරන්න. පාවිච්චි කරන්න පටන් ගත්තේ 2020 මැයි මාසේ.
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඇල්පිටිය රෝහලට මාරුවීමක්…
පශ්චාත් උපාධියෙන් පස්සේ මට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉඳලා ඇල්පිටිය රෝහලට පත්වීම ලැබුණා. මම මුලින්ම මේ ඩේටා බේස් එක Install කළේ ඇල්පිටිය රෝහලට තනිව පාවිච්චි කරන්න පුළුවන් විදිහට. අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි ප්‍රතිලාභයක් ඒකෙන් ලබාගන්න පුළුවන් වුණා. ගොඩක් සාර්ථක වුණා. නමුත් මේ ඩේටා බේස් එකේ රුධිර දායක අංශයක් තිබුණේ නැහැ.
අනිත් හැම අංශයක්ම තිබුණා. මුලින්ම මම මේක නම් කළේ වර්ෂන් 1 විදිහට. මේ ඩේටා බේස් එක ගැන දැනගත්තම රෝහල් කිහිපයකින් ඇරයුම් ආවා ඒ රෝහල්වලටත් මේක Install කරලා දෙන්න කියලා. මම ඒ රෝහල්වලට ගිහින් මේක Install කරලා දේශන පවා පවත්වලා ඩේටා බේස් එක පාවිච්චි කරන්න එයාලව උනන්දු කෙරෙව්වා.
අපේක්ෂා රෝහලට දුන් දත්ත පද්ධතියේ වෙනස්කම් රැසක් කළා…
එන්න එන්නම පරිශීලකයින් සංඛ්‍යාව වැඩි වෙනකොට මට ඒක වැඩි දියුණු කරන්න ඕන වුණා. පස්සේ වර්ෂන් 2, වර්ෂන් 3 විදිහට මම ඉස්සරහට ගියා. මහරගම අපේක්ෂා රෝහලේ ලේ බැංකුවේ විශේෂඥ වෛද්‍යවරයෙකුත් මේ ඩේටා බේස් එක මගෙන් ඉල්ලුවා. අනෙකුත් රෝහල්වලට වඩා අපේක්ෂා රෝහල වෙනස් නිසා දත්ත පද්ධතියේ වෙනස්කම් කිහිපයක්ම කරන්න සිද්ධ වුණා.
කොරෝනා වලින් පස්සෙ ඩේටා බේස් එකේ අවශ්‍යතාව වැඩි වුණා…
2019 අවසාන කාලේ වෙනකොට ලංකාව පුරා ලේ බැංකු දහයක මම ඩේටා බේස් එක Install කළා. ඊට පස්සේ 2020 කොරෝනා ව්‍යසනයත් එක්ක රුධිර දායකයින් ප්‍රමාණය අඩු වුණා. ඒ නිසා අපිට ලේ ලැබීමත් ගොඩක් අඩු වුණා. තියෙන රුධිර සංචිත උපරිමයෙන් පාවිච්චි කරන්න සිද්ධ වුණා. මේ කාරණාව නිසා මං හදපු ඩේටා බේස් එක රට පුරාම ජාතික වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගුණා.
මේ වෙද්දි IT ඩිප්ලෝමාවක් හදාරනවා…
මම මේ වෙද්දි රෝහල් ක්‍රියාවලියෙන් බැහැරව තොරතුරු තාක්ෂණය පිළිබඳව වැඩිදුර හැදෑරීම සඳහා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකට සූදානම් වෙමින් ඉන්නවා.
බිරිඳ ගැනත් පුංචි හැඳින්වීමක්…
මගේ බිරිඳ සඳමාලි. ඇය වෘත්තියෙන් නීතීඥවරියක්.
විෂය පථයෙන් බැහැරව තමන්ට කරන්න පුළුවන් උපරිම දේ රට වෙනුවෙන් කරන්න
මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ජාතික වශයෙන් රුධිර පාරවිලනය සම්බන්ධයෙන් මගේ ඩේටාබේස් එක භාවිත වෙනවා වගේම සෞඛ්‍ය ක්ෂේත්රයේ අනිත් අංශවලටත් පරිගණක දත්ත පද්ධති නිර්මාණය කරන එක. ඒ සඳහා පරිගණක දත්ත පිළිබඳව හැදෑරීමේ ඩිප්ලෝමා පාඨමාලාවකට යොමුවීමට මම තීරණය කළා. ඒ තුළින් කාලය, ශ්‍රමය සහ වඩා නිරවද්‍යතාවෙන් යුතු කාර්යක්ෂම සේවයක් සේම පිරිවැය අඩු කරගන්න පුළුවන්. මං හිතන්නෙ වෛද්‍යවරයෙක් වුණා කියල තමන්ට අදාළ දේම විතරක් කරන්න උවමනා නෑ. තමන්ට කරන්න පුළුවන් උපරිම දේ රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කරන්න ඕනෙ. මං හිතන්නෙ ඒක තමයි ඇත්තම සිස්ටම් චේන්ජ් එක කියන්නෙ.
එරංදි කෞශල්‍යා ✍️
Good stuff