අපි වැලන්ටයින් දිනය සමරන්නෙ අපිට ලෙංගතු අපි ආදරේ කරන අය එක්කනෙ. අවුරුදු 13 – 18 අතර දරුවන් අතර ඇතිවන ආදර සම්බන්ධතා තමයි වැඩියෙන්ම තියෙන්නේ. වැලන්ටයින් දිනේ දවසෙම විතරක් නෙවේ අනිත් හැම දවසකදිම තමන්ගේ හැඟීම් වගේම ආවේගය පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. වැලන්ටයින් කාලෙ ළං වෙද්දි විවිධ වෙළෙඳ උපක්‍රමත් එනවා ළමයින්ව විවිධ දේවල්වලට යොමුකරගන්න. ළමයින්ව ග්‍රහණය කරගන්න ගොඩක් පාර්ශව බලන් ඉන්නවා. මේ ග්‍රහණයන්ට අවනත වුණොත් දරුවට වෙන්නෙ අවැඩක්…
යොවුන් වියේ දරුවන්ගේ බුද්ධිය හොඳටම මෝරලා නෑ. මොළය හොඳටම මෝරන්නෙ අවුරුදු 23-24 කාලෙදි. ඉතින් ඒ වෙනකල් ළමයෙක් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ මොළයෙන් නෙවෙයි හැඟීම්වලින්. එයින් එක් තීරණයක් තමයි තමන්ගේ සහකරු, සහකාරිය ළමා වයසෙදිම තෝරගන්න එක.
දරුවන්ගේ වැඩිවිය පැමිණීමත් එක්ක හෝමෝන ක්‍රියාකාරිත්වයත් වෙනස් වෙනවා. ගොඩක් හැඟීම්වලින් කටයුතු කරනවා මිසක් කල්පනා ශක්තියක් පාවිච්චි කරන්නෑ. එහෙම වුණාම වෙන්නෙ කෙලින්ම තමන්ට ආපු ආකර්ෂණයට නතුවෙලා එය ආදරය කියල වරදවා වටහාගෙන රැවටීමකට ලක්වෙන එක.
කොණ්ඩෙ පීරන විදිහ, ඇඳුම් අඳින විදිහ වුණත් ඇති ආකර්ෂණය වෙලා ඒක ආදරයක් කියලා හිතාගන්නත් තමන්ගෙ සහකාරිය, සහකරු වෙන්න සුදුසුම කෙනා මෙයා කියල හිතාගෙනත් ඉවරයි. ආදරයක් ඇතිවෙන්නෙ මුලින්ම තමන්ට තමන් ගැන තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ.
තමන්ගෙ පෞර්ෂත්වය මොනවගේද?තමන්ගෙ හොඳ සහ නරක ගතිගුණ මොනවද? ඒ අනුව තමන්ට ගැළපෙන්නෙ මොනවගේ කෙනෙක්ද? දෙන්නා අතරේ ප්‍රශ්නයක් වුණොත් ඒක හොඳින් විසඳගන්න මෝරපු මනසක් තියෙනවද කියල අවබෝධයක් තියෙන්න ඕනේ.
ඒ වගේම මේ වයසේ දරුවො වෙනත් උදාහරණ හරහා තමන්ගෙ ජීවිතේ සංසන්දනය කරන්න හදනවා. පාසල් කාලයේ ප්‍රේම සබඳතාවක් පවත්වලා පසුකාලීනව විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන දෙන්නෙක් දැක්කොත් තමන්ට අනිවාර්යයෙන් එහෙම ඉන්න පුළුවන් කියල හිතනවා.
යොවුන් වයසේ දරුවන්ට මුලින්ම වෙන්නෙ තමන්ගෙ අධ්‍යාපන කටයුතු මගහැරෙන එක. හොඳට ලකුණු ගත්ත කෙනාගෙ එකපාරට ලකුණු අඩු වෙනවා. ඉක්මණින් තරහා යනවා. ඉගෙනගන්න වයසෙදි හැඟීම්වලට වහල් වෙලා ගමන යද්දි තමන්ගෙ මූලිකම අරමුණු ටික අමතක වෙලා යනවා.
මේක මේ වයසෙදි එන සාමාන්‍ය දෙයක්. අපි කියන්නෙ ‘වයසෙ වැරැද්ද‘ කියලා ඔන්න ඕකට. සමහර ළමයි ඉන්නවා තමන්ගෙ ඉගෙනීම් වැඩත් හොඳට කරගෙන ප්‍රේම සම්බන්ධත් පවත්වගෙන යන. ඒ අතරෙ වැඩිපුර ඉන්නෙ ඉගෙනීම් වැඩ කඩාකප්පල් කරගෙන ප්‍රේම පස්සෙම යන අය.
සමහර සම්බන්ධතා කල් පවතින්නෙත් නෑ. හොඳ යුග ජීවිතයක් වෙනකල් යන සම්බන්ධතා අපි දකින්නෙ බොහොම අඩුවෙන්. පාසල් වයසේ පසුවෙන සමහර ගැහැනු දරුවො සම්බන්ධයක් ගොඩනගා ගන්නෙ ඉතා වැඩිමහල් පුද්ගලයින් එක්ක. සමහරවිට ඔවුන් එන්නෙ තමන්ගේ ලිංගික ආශාව අර දරුවා හරහා මුදුන් පමුණුවාගන්න වෙන්න පුළුවන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලිංගිකව එකතු වෙන අවස්ථා වීඩියෝ කරලා අසභ්‍ය වෙබ් අඩවිවල පළකිරීමේ අරමුණින් සම්බන්ධතා පවත්වන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් වුණොත් සම්බන්ධය නවත්තන්න බැරිකමට, බයට දිගටම පවත්වගෙන යන්න සිද්ධ වෙනවා.
නව යොවුන් වියේ දරුවො සමහර වෙලාවට අවදානම් ගන්න බය නෑ. එයාලා හිතනවා මම රූම් එකකට ගිහින් තමන්ගෙ පෙම්වතා, පෙම්වතිය එක්ක ආරක්ෂා විරහිතව ලිංගික කටයුත්තක යෙදුණොත් මට අනිත් අයට වගේ ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙන එකක් නෑ කියලා.
එහෙම හිතලා අවදානම් අරගෙන විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ක්ෂණිකව හිතලා ක්ෂණිකව තීරණවලට එළඹෙන්න කලින් තරුණ දරුවො මොළේ පාවිච්චි කරන්නම ඕනේ.
ළමා හා යොවුන් මනස පිළිබඳ
ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී
ප්‍රභා විද්‍යාතිලක
උතුරු කොළඹ ශික්ෂණ රෝහල
එරංදි කෞශල්‍යා ✍️