ජැක්ලින් ෆර්නෑන්ඩස් කිව්වම අපිට දැනෙන්නෙ හරි ආඩම්බරයක්නේ. අපේ රටේ තාත්තෙකුට සහ මැලේෂියානු මවකට දාව ඉපදුණ ජැක්ලින් මේ රටින් පිටවෙලා ගිහින් රැඳුණේ ඉහළම තැනක. ඒ ලෝකෙ ලොකුම සිනමා කර්මාන්තය පවතින ඉන්දියාවේ සුප්‍රසිද්ධ නිළියක් වෙලා.
ජැක්ලින් කියන්නෙ එක් රැයකින් ලෝකයක් දිනපු තරුණියක් නෙවෙයි. ඒත් ඇයට ඒ ගමන යන්න මංමාවත් ලස්සනට සැකසුණා. 2006 ඇය ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ දිනා ගත්තා. ඒ වසරෙදිම ලොස් ඇන්ජලිස්හි පැවැති විශ්ව රූ රැජින තරගයේද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළා.
එතනින් පස්සෙ ඉන්දියාවට ගොස් නිරූපණය සම්බන්ධව හැදෑරීමට ජැක්ලින්ට අවස්ථා හිමි වුණා වගේම ඉන්දියානු බොලිවුඩ් සිනමාවටද එකතු වීමට ඇයට හැකිවුණා. ඒ අනුව ඇගේ පළමු හින්දි චිත්‍රපටය වුණේ 2009දි තිරගත වුණ ‘ඇලඩින්’. එම චිත්‍රපටය සාමාන්‍ය ජනප්‍රියත්වයකට පමණක් සීමා වුණත් 2011 දී ‘මර්ඩර් 2‘ චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ විශිෂ්ට රංගනයත් එක්ක ඇය තුළ තිබුණු විශේෂ හැකියාවන් මුළු බොලිවුඩය පුරාම පැතිරී ගියා. ඉන්පසුව 2012 දී තිරගත වූ හවුස් ෆුල් 2 සහ 2013 දී තිරගත වූ රේස් 2 චිත්‍රපටයේද ප්‍රධාන නිලිය ලෙස රඟපාමින් ඇය බොලිවුඩ් සිනමාවේ අනෙකුත් සමකාලීන නිළියන් සමග කරට කර සිටිය හැකි ඉඩ ප්‍රස්ථාවක් තනාගත්තා.
ඒත් ජැක්ලින් අපේ රටේ කෙනෙක් කියලා කොච්චර ආඩම්බරයක් දැනුණත් දැන් දැන් ජැක්ලින් ගැන අල්ලපු රටෙන් ඇහෙන කතා නිසා ආඩම්බරයකට වඩා දැනෙන්නේ ලැජ්ජා සහගත හැඟීමක්. ‘ජැක්ලින් සතු ඉන්දියානු රුපියල් කෝටි 7 ක් රාජසන්තකයි’ මේ 2022 අවුරුද්දේ ජැක්ලින් ගැන හතරවටින්ම අහන්න ලැබුණු පුවත් සිරස්තලයක්.
ඒ සුකේෂ් චන්ද්‍රසේකර් නමැති ව්‍යාපාරිකයාට එරෙහිව සිදු කළ ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේ දී හෙළි වූ කරුණු මතයි. ජැක්ලින් ඒ දවස්වලම ඇප මත නිදහස් වුණත් සුකේෂ් මේ වනවිටත් ඉන්නෙ රක්ෂිත බන්ධනාගාරගතව. අදාළ මුදල්වලින් කොටසක් ඔහු ජැක්ලින් නමට තැන්පත් කර ඇති බවට විමර්ශකයන් විසින් සොයාගත්තා.
නමුත් මේ සිද්ධිය සිදුවී වසර දෙකක් ගතවෙන තැන නැවතත් කරලියට ඇවිත් තියෙන්නේ ජැකලින් එම මුදල් වියදම් කළේ අපරාධවලින් ඉපයූ මුදල් බව දැන දැනම බවයි. 2021 දි ජැක්ලින් ජූහු ප්‍රදේශයේ තිබුණු ප්‍රියංකා චොප්රාට අයත් මන්දිරයක් පවා ඇගේ මුදලින් මිලදී ගෙන තිබුණා. සුකේෂ් චන්ද්‍රසේකර් විමර්ශකයින් ඉදිරියේ මින් පෙර ප්‍රකාශ කර තිබුණේ ජැකලින් හා තමන් අතර අනියම් සම්බන්ධතාවයක් තිබූ බවයි.
නමුත් ජැක්ලින් එය එකහෙළා ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් සුකේෂ් කියා තිබුණේ ඔහු විසින් ජැකලින්ට ත්‍යාග ගණනාවක් ලබා දුන් බවයි. ඒ අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙක්, ලක්ෂ 9 ක පර්සියානු පූසෙකු ඇතුළත් වී තිබුණා.
ජැකලින් විසින් චූදිත සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවේ FIR සහ අතිරේක චෝදනා පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා තිබුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජැක්ලින් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විරුද්ධ වී ඇති බවයි.
මේ අතර සුකේෂ් චන්ද්‍රශේකර් සතු මුදල් අපරාධ මගින් උපයාගත් මුදල් බව දැන දැනම ජැකලින් ඒවා වැයකිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධව ‘බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය (ED) දිල්ලි මහාධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම චන්ද්‍රශේකර් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඇය කිසිවිටෙක සත්‍ය හෙළි නොකළ බවත් සාක්ෂි හමුවන තුරු සෑම විටම කරුණු වසන් කළ බවත් ED විසින් අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවා. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මුලින් ඇය තමන් සුකේෂ්ගේ ගොදුරක් වූ බව පවසමින් සත්‍ය වසන් කිරීමට උත්සාහ කළ බවයි.
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සුකේෂ් චන්ද්‍රශේකර් සිරගතව සිටින අතර ED හි දිවුරුම් ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් නැවත ප්‍රකාශයක් ගොනු කිරීමට ජැක්ලින් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කල් ඉල්ලා සිටීමෙන් පසු මහාධිකරණය මෙම නඩුව අප්‍රේල් 15 වැනි දින වැඩිදුර විභාගයට ගැනීමට නියම කළා. කෙසේවෙතත් මෙම මුදල් විශුද්ධිකරණ නඩුවට ජැක්ලින් වගේම නෝරා ෆතේහි වැනි බොලිවුඩයේ නමගිය පුද්ගලයින් කිහිපදෙනෙකුම සම්බන්ධ වී තිබුණා.
එරංදි කෞශල්‍යා ✍️