ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවුඩයක්
වයසත් සමග අපේ ශ්‍රවණය හෙවත් ඇසීමේ හැකියාව අඩුවීම සාමාන්‍ය දෙයක්. ලෝක ජනගහනය ගැන සලකා බැලුවත් වැඩිහිටි පිරිස අතරින් තුනෙන් එකක් පමණ ශ්‍රවණාබාධිත ගැටලුවලින් පසු වෙනවා. වයස අවුරුදු 65 පමණ වන විට ඇති වන ශ්‍රවණ දුර්වලතාවය වයස අවුරුදු 75 ක් පමණ වන විට තව දුරටත් වැඩිවීමට පටන් ගන්නවා. එය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඩිමෙන්ෂියා රෝග තත්ත්වය සමග රෝගියාගේ සංජානන (Cognitive) හැකියාවන් ක්‍රමයෙන් හීන වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දෙන දත්ත අනුව ඩිමෙන්ෂියා රෝගීන් මිලියන 55 ක් පමණ සිටින අතර මේ සංඛ්‍යාවෙන් යම් ප්‍රමාණයක් මිය යනවා. ඒ අතර වසරක් පාසා තවත් රෝගීන් මිලියන දහයක් පමණ අලුතෙන් එකතු වෙනවා. ඩිමෙන්ෂියාව නිසා පුද්ගලයෙකුගේ ආයු කාලය අඩු වෙනවා. ලෝකයේ සිදු වන මරණවලට ප්‍රධාන හේතු ලෙස සැලකෙන හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්වයන් අතර ඩිමෙන්ෂියාවත් ඇතුළත්. පුද්ගලයන්ගේ මරණයට හේතුවන රෝග අතර හත්වැනි තැනට ඩිමෙන්ෂියාව ඇතුළත්ව තිබෙනවා.
ශ්‍රවණාබාධ වෙනුවෙන් වූ විසඳුම් මොනවාද?
අපේ ඇසේ දෘෂ්ටිය පිළිබඳව ඇති වන දුර්වලතාවයන්හිදී ඒ ගැටලු විසඳා ගැනීමට අපි ඇස් කණ්නාඩි භාවිත කරනවා. එතැනින් පසුව යම් තාක් දුරකට අපට එදිනෙදා කටයුතු කර ගැනීමේ පහසුව ලැබෙනවා. ඒ ක්‍රියාවලිය මෙතැනටත් ආදේශ කරන්න පුළුවන්. අපේ ශ්‍රවණය පිළිබඳව දුර්වලතාවයක් අපට දැනෙනවා නම් ඒ වෙනුවෙන් ශ්‍රවණ ආධාරක (Hearing Aids) පාවිච්චි කරන්න හැකියාවක් තිබෙනවා.
නමුත් අපේ බොහෝ වැඩිහිටියන් මෙම ශ්‍රවණ ආධාරක පැළඳ ගැනීමට කැමැත්තක් නැහැ. ඒ වගේම තමන්ගේ අකමැත්ත වෙනුවෙනුත් ඔවුන් තමන්ට සාධාරණ හේතු පෙන්වා දෙනවා.සමාජයේ මම බිහිරි පුද්ගලයෙකු විදිහට හඳුන්වන්න පටන් ගනීවි පැළඳ ගත්තාම කනේ ඝෝෂාවක් වගේ මේ විදිහට තමන්ට සාධාරණ හේතු ඉදිරිපත් කරමින් ශ්‍රවණය පිළිබඳව ඇති වෙන ගැටලුවලට විසඳුමක් ලෙස ශ්‍රවණ ආධාරක පැළඳ ගැනීම ප්‍රමාද කිරීම නුසුදුසු බව පර්යේෂණ අධ්‍යයනයන් මගින් ඔවුන් පෙන්වා දෙනවා.
සමහර විට ඔබ කනේ ඇති වන ඝෝෂාව යැයි කියමින් මේ උපකරණය පැළඳීමට අකමැත්තක් දැක්වුවත් ඒ ගැන එතරම් දුරට සිතීම අනවශ්‍යයි. කෙසේ හෝ වේවා මෙම උපකරණය ඔබේ කනට ආගන්තුකයි.
ඒ නිසා යම් අපහසුවක් ඇති වීම සාධාරණයි. එහෙත් මාස හයක් පමණ කාලයක් මෙම ශ්‍රවණ උපාංගය සමග කටයුතු කරන විට ඒ තත්ත්වය සාමාන්‍ය බවට පත් වෙනවා.ඒ නිසා ශ්‍රවණය පිළිබඳ ගැටලුවක් ඇත්නම් විකල්ප විසඳුමක් ලෙසින් ශ්‍රවණ ආධාරක පැළඳීම ඉතා වැදගත් බවත් පර්යේෂණ අධ්‍යයනයන් මගින් හේතු සාධක සහිතව පෙන්වා දෙනවා.
ඩිමෙන්ෂියාව ඇතිවීමේ අවදානමක්
වයසත් සමග ශ්‍රවණය පිළිබඳ ගැටලු ඇති වෙනවා වගේම වයසත් සමග “ඩිමෙන්ෂියා” (Dementia) ) රෝග තත්ත්වය ඇති වීමටත් වැඩි අවදානමක් තිබෙනවා. ඊටත් වඩා වැදගත් කරුණක් දැන් සඳහන් කිරීමට පුළුවන්. වයස්ගත වීම සමග ශ්‍රවණය පිළිබඳව දුර්වලතාවයක් ඇති විට ඒ අපහසුව සමග ජීවත්වීම ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති වීමේ අවදානම තව දුරටත් වැඩි වන බැව් නව අධ්‍යයන වාර්තාවක සඳහන් වී තිබෙනවා.
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂකයින් විසින් මෙම අධ්‍යයනය වෙනුවෙන් පුද්ගලයන් 240 ක් සම්බන්ධ කර ගත්තා. ඒ පුද්ගලයන් අතරින් 50% ක් වයස අවුරුදු 65 ඉක්මව පුද්ගලයන් වූ අතර ඉතිරි 50% වයස අවුරුදු 80 ඉක්ම වූ පුද්ගලයන් වීමත් විශේෂයක්.
ඒ වගේම මෙම පිරිස අතරත් ශ්‍රවණය පිළිබඳව ඇති හැකියාවන් කොටස් තුනකට වර්ග කළා. දුර්වල සහ මධ්‍යම මටට්මින් ඇසෙන ලෙසින් කොටස් තුනකට බෙදා දැක්වූවා. අවසානයේදී ලබා ගත් දත්ත විශ්ලේෂණයෙන් පෙනී ගිය අන්දමට ඉතා දුර්වල ශ්‍රවණ තත්ත්වයක් ඇති පුද්ගලයන්ට ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති වීමට 61% ක අවදානමක් පැවැති බැව් පෙනී ගියා.
ඒ වගේම ශ්‍රවණ දුර්වලතාවයන් තිබුණත් ඒ වෙනුවෙන් ශ්‍රවණ ආධාරක පැළඳගෙන තමන්ගේ දුර්වලතත්ත්වය ජීවිතයට බාධාවක් කර නොගත් පුද්ගලයන් අතර ඩිමෙන්ෂියාව ඇති වීමේ හැකියාව 32 % කින් අඩු වී තිබුණා.
ඩිමෙන්ෂියාව සහ ශ්‍රවණ දුර්වලතාවය අතර ඇති සම්බන්ධය
ඩිමෙන්ෂියාව සහ ශ්‍රවණ දුර්වලතාවය අතර ඇති අන්තර් සමබන්ධතාවය පිළිබඳව පර්යේෂකයින් විසින් කරුණු පෙන්වා දී තිබුණා. ශ්‍රවණ දුර්වලතාවයන් ඇති වීම නිසා ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයේ පවා ගුණාත්මක බව නැති වෙනවා. අඩුම වශයෙන් නිවසේ දොරටවත් යම් අයෙකු තට්ටු කළ විට ඇසෙන්නේ නැහැ.
ඒ නිසාම තවත් අයෙකුගේ උපකාරය නිතරම අවශ්‍ය වීම සාමාන්‍ය තත්ත්වයක්. ශ්‍රවණ දුර්වලතාවයන් ඇති වීම නිසා පුද්ගලයන් සමාජ ආශ්‍රය සීමා කරනවා.
අපහසුතාවයන් ඇති විට පවුල තුළ වුණත් සන්නිවේදනය සාර්ථක ලෙසින් සිදු වන්නේ නැහැ. මේ හේතුව නිසා ඔවුන් හුදෙකලා චරිත ලෙසින් ජීවත්වීමත්, පෙර පැවැති සමාජ සම්බන්ධතා ජාලා අහිමි වීම සමග ඇති වන මානසිකව හුදෙකලා වීම නිසා ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති වීමට වැඩි ප්‍රවණතාවයක් ගොඩ නැගෙනවා.
පවුලේ වැඩිහිටියෙකු ශ්‍රවණය පිළිබඳ දුර්වලතාවයකින් පසු වන්නේ නම් ශ්‍රවණ ආධාරක ලබා දීම මගින් ඒ පුද්ගලයා අනාගතයේදී ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති වීමට තිබෙන අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකියාවක් තිබෙන බව ඒ නිසා පර්යේෂකයන් සඳහන් කරනවා.
( mail online ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️