එළවළු සහ පලතුරු වැඩි පංගුවකින් ආහාරයට ගන්න කියන උපදෙස් අපට හයහතර තේරෙන දවසේ පටන්ම අහන්න ලැබෙනවා. නමුත් ඒ ගැන බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමු වෙන්නේ නැහැ. පොඩි දරුවන් එළවළුවක ගුණ නොදන්නා නිසා ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මෑත කාලීනව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන වගේම රැකියාවල නිරත වන අපේ තරුණ පරම්පාරවත් එළවළු ආහාරයට ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ ගැන ඔවුන් විසින් සාධාරණීය කරන්නේ මෙහෙමයි.
- එළවළු උයාගන්න වෙලාවක් නැහැ
- එළවළුවලට වඩා පහසුවෙන් උයන්න පුළුවන් දේ තිබෙනවා
- අද නම් එළවළු මිලත් එකතු කරන්න පුළුවන්
මේ වගේ හේතු සපයමින් බොහෝ දෙනා එළවළු ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා ඒ වෙනුවෙන් අපුරු විකල්ප සොයන්න විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් අත්වැල් බැඳගත්තා. මේ ව්‍යාපෘතියේ නායකත්වය ගත්තේ ෆාතිමා අස්නාගේ කථාව අපි ඇගෙන්ම අසා දැන ගනිමු.මම අනුරාධපුර ගම්මිරිගස්වැව පදිංචියි. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් සමත් වුණාට පසුව රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. දැන් මම දෙවන වසරේ ශිෂ්‍යාවක්.
එළවළු ගැන උනන්දුව අඩුයි
මගේ විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් වුණත් එළවළුවලට කැමැති නැහැ. උයා පිහාගන්න වෙලාවක් වගේම පහසුකම් අඩුයි. ඒ නිසා බෝඩිමකින් හො කැන්ටිමෙන් ලබාදෙන ආහාරපාන මත යැපෙන්න වෙලා. පිටින් ආහාර ගන්නා අයටත් එළවළු බත් එකක මිල දරාගන්න අපහසු නිසා බනිස් ගෙඩියක් හෝ වෙනත් කෙටි කෑමකින් වේල පිරිමහ ගන්න තැනට පත්වෙලා. ඉතින් මට හිතුණා එළවළුවලට අකමැති අයට අලුත් නිෂ්පාදනයක් විදිහට දෙයක් ඉදිරිපත් කරන්න.
අපේ විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශයේ ප්‍රදර්ශනයක් තිබෙනවා. මේ “Foodex“ප්‍රදර්ශනය වෙනුවෙන් අලුත් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීම පාඨමාලාවේම කොටසක්. ඉතින් මම මේ නිෂ්පාදනය ගැන අත්හදා බැලීමට සූදානම් වුණා. මේ නිෂ්පාදනය එළිදක්වන්න මගේ විශ්වවිද්‍යාලයේ මිතුරියන් තුන්දෙනෙක් මට සම්බන්ධ වුණා. එම්. එස්. අයෙෂා, එම්. අයි. එච්. අකීලා සහ එම්. එන්. එෆ් රුෂ්ඩා මට සහයෝගය ලබා දුන්නා.
ඔබේ නිෂ්පාදනය ගැන කිව්වොත්…
“ Vego Bar ” නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම එළවළු යොදාගෙන නිපදවන ලද Bar එකක් කිව්වොත් නිවැරදියි. චොකලට් රෝල් එකක් වගේ මේක ගැන ආකර්ෂණය ඇතිවනවා. මම මේ නිෂ්පාදනය “ Vego Bar” යනුවෙන් නම් කළා.නිෂ්පාදනයට එළවළු වර්ග කීපයක්ම අමුද්‍රව්‍ය විදිහට එකතු කරනවා. බතල, වැටකොළු, ලූනු, සුදුලූනු, ලීක්ස්, කැරට් වගේ එළවළු අරගෙන ඒවා හොඳින් කැබලිවලට කපනවා. මේ මිශ්‍රණයට මඤ්ඤොක්කා කුඩු එකතු කරලා මිශ්‍රණය ගොරෝසු එහෙම නැත්නම් පේස්ට් එකක් වගේ හදා ගන්නවා.
දැන් රස අනුව බටර්, ලුණු, ගම්මිරිස් එකතු කරලා බාර් එකක හැඩයට අතින් හදනවා. සාමාන්‍යයෙන් මේ හැඩය අතින් ගැනීම අපහසු නැහැ. ඒ විදිහට රෝල් කරගත් එළවළු බාර් එක මතුපිටට රටකජු කුඩු උඩින් ඉහිනවා. එතැනින් පසුව උඳුනක දමා පුළුස්සා ගන්නවා. මේ නිෂ්පාදනය හරියට “ Ready to Eat ” නිෂ්පාදනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
පෝෂණ සංයුතිය…
මේ එක බාර් එකක ප්‍රෝටීන් ග්‍රෑම් 5.10 ක්, මේද ග්‍රෑම් 0.20 ක්, කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 71.20 ක්, ශක්තිය කැලරි 400 ක්, කැල්සියම් මිලි ග්‍රෑම් 20.20 ක් යකඩ මිලි ග්‍රෑම් 15.10 ක් සහ සින්ක් මිලි ග්‍රෑම් 0.68 ක් ඇතුළත් වෙනවා.
කල්තබා ගැනීම…
මේ නිෂ්පාදනයට කල්තබා ගැනීමේ හෝ රසය වෙනුවෙන් කිසිම කෘතිම ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ. සති දෙකක කාලයක් තබා ගන්න පුළුවන්. රසය අතිනුත් ඉහළයි.
මිල ගැන කිව්වොත්?
ඉතාම පහසු මිලකට මේ බාර් එකක් ලබාගන්න පුළුවන්. දැවටුමත් ආකර්ෂණීය විදිහට තිබෙනවා. කුඩා දරුවෙක් ඉන්න නිවසකට මේ බාර් එකක් අරගෙන ගියාම දරුවාට නොදැනීම පෝෂණ ප්‍රභවයක් ලැබෙනවා. එළවළු කන්න පුංචි දරුවන් අකමැති නිසා මේ වගේ දෙයක් අතිරේකව ලබාදීමට පුළුවන්.
ඔබේ අනාගත අපේක්ෂාව…
“ Vego Bar ” නිෂ්පාදනය විශ්වවිද්‍යාලයේ පැවැති ආහාර ප්‍රදර්ශනයේදී අවසාන වටයට තේරුණා. ඉතින් මගේ නිෂ්පාදනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ආහාර ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා
මගේ නිෂ්පාදනය මේ වෙන විටත්
සාර්ථක නිෂ්පාදනයක් විදිහට නිර්දේශ වුණා. මේ නිෂ්පාදනය තව දුරට සංවර්ධනය කිරීම වගේම වෙළෙඳපොළ තුළ සුලබ නිෂ්පාදනයක් විදිහට ලබාදීම මගේ බලාපොරොත්තුව විදිහට සඳහන් කරන්න පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️