ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතුවලදී ටිකක් වැඩි ප්රමාණයෙන් ලූනු කපන්න සිද්ධ වුණොත් තරමක අපහසුවක් දැනෙනවා. ඇස් දැවිල්ල, කඳුළු ගැලීම වගේ අපහසුතාවන් ඇතිවුණත් අපි අඬ අඬා හෝ අපේ කාර්ය කරනවා. මේ වගේ එදිනෙදා වැඩ කරනකොට ගෘහණියන්ට මුහුණ දෙන්න වෙන පුංචි පුංචි අපහසුතා තියෙනවා. මේ ලිපිය එවැනි අපහසුතා මැඩපවත්වාගෙන කුස්සියේ වැඩ කරගන්න පුළුවන් TIPS ටිකක් ගැනයි...
ලූනු කපද්දී…
ලූනු කපන විට එහි අන්තර්ගත Lachrymator සංයෝගය විසිරී යනවා. ඒ නිසා ඇස් වටා ඇති ලැක්රිමල් ග්රන්ථි කුපිත වීම නිසා කඳුළු ගලන්න පටන් ගන්නවා. ඉතින් මේ තත්ත්වය වළක්වා ගත්තොත් කඳුළු නැතුව ලූනු කපන්න පුළුවන්.ඒ වගේම ලූනු කපන්න පෙරාතුව ශීතකරණයක දමා මදක් සිසිල් කරන්න. එවිට ද Lachrymator නිදහස් වීම වැළකෙනවා.එහෙමත් නැත්නම් කපන්න පෙර වතුරේ පෙඟෙන්න තබන්න. එවිට ඇමයිනෝ අම්ල විසිරීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම පිහිනුම් කණ්ණාඩියක් පැළඳගෙන ලූනු කපන විටත් කඳුළු ගලන්නේ නැතුව වැඩේ කරන්න පුළුවන්.
කරවෙන විට කළු වෙන මාගරින්…
ඔබ මාගරින් තෙම්පරාදුවකට යොදාගන්නා විට එය ඉක්මනින් කර වෙනවා. ඒ නිසා ඔබ පිසින ආහාරයේ ලස්සන නැති වෙනවා. ඒ නිසා බටර් හෝ මාගරින් යොදා තෙම්පරාදු කරනවා නම් එයටම පොල්තෙල් බින්දු කීපයක් එකතු කරන්න. එවිට මාගරින් කර නොවී ලස්සනට වර්ණය රැකගන්න පුළුවන්.
ලීක්ස් කොළ ඉදෙනවා නම්…
ලීක්ස් ගෙනත් අපි ශීතකරණයේ තැබුවත් කොළ ඉක්මනින්ම ඉදෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්න ක්රමයක් තියෙනවා. ඔබ ලීක්ස් වෙළෙඳපොළෙන් ගෙනෙන විට ඒවා දෙකට නවලා ගේන්න එපා. ගොබේ ඇදී ගියාම කොළ ඉක්මනින් ඉදෙන්න පටන් ගන්නවා.
ඒ වගේම ශීතකරණයේ තැන්පත් කිරීමට පෙරාතුව කොළ වෙන්වෙන තැනින් කපා ශීතකරණයේ තබන්න. එවිට කොළ ඉදී අවර්ණ වීම වැළකෙනවා.බණ්ඩක්කා වුණත් ශීතකරණයේ තිබුණොත් මෝරන බව ඔබ දන්නවා. ඒවායේත් නැටි කපා තබන්න. එවිට මේරීමක් සිදුවන්නේ නැහැ.
කරාබු නැට්ටෙන් වැඩ…
සීනි බෝතලයට කූඹි එන එක වළක්වා ගැනීම ලේසි පහසු නැහැ. ඒ නිසා සීනි බෝතලයට කරාබු නැටි තුන හතරක් දමා තබන්න. තේ එකටත් අමුතු රසයක් ඇති වෙනවා. කෝපි බෝතලයටත් කරාබු නැටි දෙක තුනක් දමා තබන්න. කෝපි හදන විට කරාබු නැට්ට ඉවත් කරගෙන කෝපි විතරක් ගන්න. ඒ විතරක් නෙවෙයි කරාබු නැටි තියෙන තැනක කූඹි විතරක් නොවෙයි කැරපොත්තෝ වුණත් ගැවසීමට බයයි.
කරපිංචා මැළවෙනවා නම්
කරපිංචා කොළ ඉක්මනින් වියළෙනවා. ඒ නිසා මේවා හොඳින් සෝදා කොළ සූරාගෙන තෙත ඉවත් වූ පසුව ‘සිප් ලොක්’ මල්ලක දමා ශීතකරණයේ තබාගන්න. මෙයට උළුහාල් ඇට හතර පහකුත් එකතු කරන්න.‘සිප් ලොක්’ මල්ලක් නැත්නම් නැටි කඩා හොඳින් සෝදා කොළ සූරාගෙන කෝප්පයකට දාන්න.එයටත් උලුහාල් ඇට කීපයක් එකතු කරගත්තාම කොළ වියළෙන්නේ නැතුව තබාගන්න පුළුවන්.අමුමිරිස් වුණත් නැටි කඩා ශීතකරණයේ තබා ගත්තාම ගොඩක් කල් තබාගත හැකියි.
ආප්ප හදනකොට…
ඔබ නිවසේ ආප්ප පිළියෙළ කරනවා නම් පාන් මදයක් හෝ විස්කෝතුවක් වතුරේ පොඟවාගෙන පිටි මිශ්රණයට එකතු කරගෙන අනාගන්න. ඒ වගේම කලින් දවසේ පොල් වතුර තිබෙනවා නම් ඒවා යොදාගෙන මිශ්රණය අනන්න. නිවසේ පොල් වතුර විසි කරන්න එපා. ඒවා බෝතලකයට දමා ශීතකරණයේ තබාගෙන රොටි, ආප්ප පිළියෙළ කරන විට පාවිච්චියට ගන්න. ඒ වගේම ආප්ප පිළියෙළ කරන තාච්චියට පොල් තෙල් වෙනුවට තල තෙල් ආලේප කිරීමෙන් ඒවා පහසුවෙන් ගලවා ගන්න පුළුවන්.
ගැඹුරු තෙලේ වැඩවලදී…
ගැඹුරු තෙලේ බදින විට මාළු වගේ දේවල් ඉතා ඉක්මනින් කුඩු වෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් බදින තෙලට ලුණු ස්වල්පයක් සහ එනසාල් ඇට දෙකතුනක් එකතු කරන්න. මාළු තාච්චියේ ඇලෙන්නේ නැතුව බැදගන්න පුළුවන්.
තෙම්පරාදු බතක් සකස් කරන විට…
තෙම්පරාදු බතේ එළවළුවල පාට ඒ විදිහටම රැකගන්න ඔබ කැමති ඇති. එහෙම නම් තෙම්පරාදු කරන තෙලට සීනි හැඳි බාගයක් එකතු කරන්න. එළවළුවල ලස්සන පාට ඒ විදිහටම රැකේවි.හාල් මැස්සන් තෙම්පරාදු කරන විට මුලින්ම තෙලට ගොරක කැබැල්ලක් එකතු කරන්න. රසය ඉස්තරම්.
ඉඟුරු, සුදුලූනු
ඉඟුරු, සුදුලූනු මිල කාලයෙන් කාලයට වෙනස් වෙනවා. කාලයකට මේ මිල දරාගන්න බැහැ. ඉතින් ලාබ කාලයේදී ඉගුරු සුදුලූනු අඹරා ගත් මිශ්රණය අධිශීතකරණයක මාස හයක පමණ කාලයක් තබාගත හැකියි.
පුන්යා චාන්දනී ද සිල්වා ✍️