බුදුදහම තුළ සරල ජීවන රටාවක් අගය කිරීම නිසා බොහෝ දෙනෙකු විසින් බුදුදහම යනු ජීවිතයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව මිනිසාගේ අභිප්‍රේරණය හීන කරවන බවට වූ අදහස් ගොනු කරනවා.
චුල්ල සෙට්ඨි ජාතකය
එක් දුගී පුද්ගලයෙක් කසළ ගොඩක තිබුණු මී කුණක් දකිනවා. එදා පොහොය දිනයක්. ඔහු මේ මී කුණ ගෙන ගොස් බළලුන් ඇති කරන නිවසක ගෙහිමියාට අලෙවි කරනවා. ඒ මුදලින් උක් හකුරු මිලට ගත් මේ පුද්ගලයා තණකොළ කපන තැනකට ගොස් ඇල් වතුර සහ උක් හකුරු අලෙවි කරනවා. ඔහුට මේ වෙනුවෙන් තණකොළ ලැබෙනවා. එය විකුණා වැඩියෙන් උක් හකුරු මිලට ගන්නවා.
මේ අන්දමින් තමාගේ ලාභය සහ ආදායම තරකර ගන්නා ඔහු අවසානයේදී භාණ්ඩ අලෙවියට යොමු වෙනවා. නැව්වලින් එන භාණ්ඩ මිලට ගැනීමට තරම් ධනවත් වන මේ පුද්ගලයා පසු කාලයකදී චුල්ල සෙට්ඨි ලෙස ප්‍රසිද්ධියට පත් වෙනවා. නමුත් ඔහුගේ ආරම්භය මිය ගිය මී කුණක් බැව් අමතක කරන්න එපා.
ව්‍යාපාරික ඥානය
මේ අනුව බලන විට මේ ජාතක කතාවෙන් සම්පූර්ණයෙන්ම නිරූපිත වන්නේ ව්‍යාපාරික ඥානය නොවේද? බුදුරජාණන් වහන්සේ විසින් කර්මාන්තයකදී අනුගමනය කළ යුතු ගුණාංග කීපයක් දක්වා තිබෙනවා.
වෘත්තිය පිළිබඳ මනා දැනුම
දැනුම යනු සමාජ පැවැත්මේ පදනම බැව් සඳහන් කිරීම ඉතාම සාධාරණයි. දැනුම කී සැණින් ඔබ සිතනුයේ පොත පත පරිශීලනයෙන් ලබා ගත් සහතික වලින් ලබා ගන්නා දැනුම ගැන සංකල්පයක් විය හැකියි. එසේ ලබා ගන්නා දැනුම ගැන අපට අවතක්සේරුවෙන් සිතන්නට බැහැ.
අප ජීවත් වන විට ලබා ගන්නා අත්දැකීම් පාදක දැනුමත් ව්‍යාපාරිකයාට ඉතා වැදගත්. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධි ලත් දරුවාට වඩා කඩදාසියෙන් තක්සේරු කරන දැනුමක් නොමැති ව්‍යාපාරික පියා පුතුට වඩා ඉදිරියෙන් සිටින්නට හැකියාව තිබෙනවා. මේ අන්දමින් යම් වෘත්තියක නියැළෙන විට ලැබෙන දැනුම ව්‍යාපාරිකයාගේ සාර්ථකත්වය ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරන බැව් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
අනලස්ව ව්‍යාපාරයේ යෙදීම
අනලස්බව දෙලොව දියුණුවට හේතු වන ධර්ම කාරණාවක් බැව් අප දන්නවා. ගොවිතැනක, කර්මාන්තයක නිරත වන්නා අද කළයුතු කටයුත්ත කිසිදු ලෙසකින් හෙට දවසට කල් තැබීම නොකළ යුතුය. කාලගුණ තත්ත්වය, කුසගින්න, කුස පිරුණ බව ඔබේ ව්‍යාපාරික කටයුතු තවත් වේලාවක් වෙනුවෙන් කල් තැබීමට අදාළ වන හේතු කරගත යුතු නැහැ. අද දෙය අදම කරන්න.
නිමා කරනු මිස වැඩ ඇති තමා අත – පමාවට කරුණු මට උවමනා නැත.
ඉන්දියාවේ මේ සටහන සෑම තැනකදීම දක්නට ලැබෙනවා. ඔබ ව්‍යවසායකයෙක් නම් කිසිවෙකුවත් ඔබෙන් ප්‍රමාදයට කරුණු විමසන්නේ නැහැ. නමුත් ඔබේ ප්‍රමාදය නිසා ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබ නොදකින ලෙසින් ක්‍රමයෙන් බිඳ වැටෙන තත්ත්වයට පත් වීමටත් හේතු වෙනවා.
සාර්ථක ලෙස සහායකයන් මෙහෙයවීම
ව්‍යාපාර කටයුතුවලදී ඔබ තනි පුද්ගලයෙක් විය යුතු නැහැ. ඔබේ කටයුතු සමග සහ සම්බන්ධතාවයෙන් ගොඩනගා ගත් තවත් සහායක පිරිසක් සිටිනවා. නිතරම ඔවුන් සමග සුහදව කටයුතු කරන්න. අන්තර් සම්බන්ධතාවයන් ඉතා හොඳින් පවත්වා ගන්න. එවිට ඔබේ සහායකයන් සහ ඔබ අතර ඉතා හොඳ විශ්වාසයක් ගොඩනගා ගැනීම ඉතාම පහසු වෙනවා.
දක්ෂ ව්‍යවසායකයෙකුගේ ලක්ෂණ
බුදුරජාණන්වහන්සේ දක්ෂ ව්‍යවසායකයෙකු සතුව පැවැතිය යුතු ලක්ෂණ තුනක් දක්වා තිබෙනවා.
චක්ඛුම
එදිනෙදා වෙළඳපොළ තත්ත්වය ගවේශනය කිරීම. පවතින මිල, ඉල්ලුමක් සහිත භාණ්ඩ සංසන්දනය කරමින් තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව.
විධුර
අදාළ වෙළඳපොළ තක්සේරුවෙන් පසුව ඔබ විසින් ලබා ගත් භාණ්ඩ අලෙවි කිරීමේ කුසලතාවයෙන්ද ඔබ සන්නද්ධ වීම වැදගත්. භාණ්ඩ රැස්කර ගැනීමෙන් පමණක් ඔබට ලාභයක් ලැබෙන්නේ නැත.
අත්කර ගත් භාණ්ඩ අලෙවිය මගින් ඔබට වැයවුණ මුදල මෙන්ම ලාභය ලබා ගැනීමට හැකි වෙනවා. ඒ නිසා භාණ්ඩ අලෙවි කිරීමේ උපායශීලීබවත් ව්‍යවසායකයෙකු ලෙසින් ඔබ සතුව පැවැතීම වැදගත්.
නිස්සය
ව්‍යාපාරිකයෙකුගේ ගමන්මග තනි ගමනක් විය යුතු නැහැ. එය ව්‍යාපාරික ජාලයක් සමග ගොඩනඟා ගත යුතුය. ව්‍යාපාරික ප්‍රජාව තුළ කළ්‍යාණ මිතුරන් අවශ්‍යයෙන්ම සිටීම වැදගත්.
ඒ වගේම අනාගත අවශ්‍යතාවයන් වෙනුවෙන් බැංකු හා මුල්‍ය ආයතන සමග මෙන්ම ව්‍යාපරික උපදෙස් සහ දැනුම ලබා දෙන ආයතන සමග ජාල සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීම ඉතාම වැදගත්.
අතීතයේ අන්තර්ජාතික විද්‍යුත් සන්නිවේදන නොතිබුණ යුගයකදී පවා අපේ බුදුරජාණන් වහන්සේ ව්‍යාපාරික ප්‍රජාවක සතු වියයුතු අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව ලබා දුන් උපදෙස් කොතරම් අගනේද යනු ඔබට වැටහෙනු ඇත.
මානසිකව සමතුලිත වෙන්න
ව්‍යාපාරිකයන්ගේ සැලසුම් අනුව ඔවුන් නිතරම අතීතය පාදක කරගෙන වර්තමානය ගොඩනඟා ගන්නවා. එතැනින් නවතින්නේ නැහැ. නිරන්තරවම අනාගත වෙළෙඳපොළ ගැන සිහින මවනවා.
මේ නිසාම ව්‍යාපාරිකයාගේ මානසික සමතුලිතතාවය පිළිබඳව ඔහුගේ හිත තුළම ගැටුම් ඇති වීමට පුළුවන්. මේ නිසා බුදුරජාණන් වහන්සේ අපට කියා දුන් ධර්ම මාර්ගය වයාපාරික ප්‍රජාව විෂයෙහි වටිනාකම් සමූහයක් ගොඩනඟා ගැනීමට හේතු වී තිබෙනවා.
අතීතං නානු සොචන්ති
නප්පජ්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තෙන වණ්ණෝ පසීදති
අර්ථය – පසුගිය දේ ගැන ශෝක කිරීම අවශ්‍ය නැත. අනාගතය ගැන චකිතයක් අවශ්‍ය නැත. මේ මොහොතේ ජීවත් වෙන්න. එයින් ඔබේ වර්ණය, ශරීර සෞඛ්‍ය ආරක්ෂා වේ.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ ධර්ම මාර්ගය අනුගමනය කරන ව්‍යාපාරික ප්‍රජාව තුළ මානසික සන්සුන් බව නිරන්තරයෙන්ම ගොඩනැඟෙනු ඇත.
ව්‍යාපාරයේදී සීමාවන් තිබෙනවා
බෞද්ධ ව්‍යවසායකයා ධාර්මිකව ධනය ඉපයීම ඉතාම වැදගත්. “ධම්මිකා ධම්ම ලද්දා බෝගා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළේ සාධාරණ ලෙසින් උපයන ලද ධාර්මික ධනයයි. සමාජයට අහිතකර ලෙසින් බලපාන වස විස, අවි ආයුධ වැනි වෙළඳාම වෙනුවෙන් බුදුදහමේ අවසරයක් නැත. සම්මා ආජීව යනුවෙන් බුදුරජාණන් වහ්නසේ සමාජයට හිතකර වෙළඳාම් අනුමත කර තිබෙන සේක.
ඔබට ව්‍යාපාරයක නිරත වීමට බුදුදහමේ කිසිදු සීමාවක් නැත. සීමාවන් ඇත්තේ නම් ඒ අධාර්මික වෙළඳාම සඳහා පමණි. ව්‍යාපාරයක් සාර්ථක ලෙසින් පවත්වා ගැනීමට අවශ්‍ය ධර්ම මාර්ගයත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක.
කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️