ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය – දීපාල් පෙරේරා
මේ ලෝකෙ තියෙන අමාරුම වෘත්තියක් තමයි වෛද්‍ය වෘත්තිය කියන්නේ. ඒ අතරිනුත් පුංචි දරුවන් සම්බන්ධව ඉන්න වෛද්‍යවරුන් දිනපතාම ගන්නෙ විශාල අවධානමක්. හැම වෛද්‍යවරයෙක්ටම රෝගීන්ට බෙහෙත් කරන එක කලාවක් කරගන්න, ඒකෙන් වින්දනයක් ලබන්න බෑ. ඒත් එවන් අපූරු ඉසිවරයෙක්ව අපි හොයාගෙන ගියේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට. මේ නම, මුහුණ ඔබට නුහුරු වෙන්නට නම් විදිහක් නෑ. ඔහු ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍ය දීපාල් ‘හිත හොඳ දොස්තර’ කෙනෙක් වග රෝහලේ රැඳී සිටි කෙටි කාලය තුළ අපට පසක් වුණේ පුංචි දරුවෙක්ගෙ සීයෙක් දුවගෙන ඇවිත් ‘අනේ ඩොක්ටර් දරුවට දැන් හොඳයි. බොහොම පිං. අපේ දරුවන්ගෙ හදවත මිස් මේ. බුදු සරණයි.’ යැයි කියූ කාරුණික වදන් නිසා. අද සෙනෙහසක නවාතැන වෙන් වෙන්නෙ පුංචි දරුවන්ගේ මේ අපූරු දොස්තර මහත්තයාගේ පවුල වෙනුවෙනුයි.
වෛද්‍ය දීපාල් පෙරේරා ඔහුගේ කතාව මෙහෙම පටන්ගත්තා…
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. අම්මා හෙද නිලධාරිනියක්. මට ඉන්නේ අයියයි මල්ලියි නංගියි. මං පවුලෙ දෙවෙනියා. පහ ශ්‍රේණියට වෙනකල් මම ගියේ බණ්ඩාරගම වෑවිටි මෛත්‍රී විද්‍යාලයට. හයෙන් පස්සේ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළින් පස්සේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණා. එතනින් වෛද්‍යවරයෙක් වෙලා රෝහල් ගණනාවක මම වැඩ කළා. දැන් මගේ වෛද්‍ය සේවයට අවුරුදු 31 ක්. මුල්ම පත්වීම ලැබුණේ කළුබෝවිල රෝහලේ ළමා වාට්ටුවට.
පස්සෙ දකුණු කොළඹ මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙක් විදිහටත් සේවය කළා. ICU එකේ තමා වැඩි කාලයක් ගත කළේ. ඒ කාලේ බෝම්බ ගහන කාලයක්. ඉතින් ඇම්බියුලන්ස්වලත් බෝම්බ අටවලා එවයිද කියන සැකයකින් බයකින් අපි හිටියේ. අවුරුදු දෙකක් කොළඹ මහ රෝහලේ ඉඳලා තමයි මම ළමා රෝගවලට ආවේ. පොඩි කාලේ ඉඳන් මං පුංචි දරුවන්ට හරි ආසයි. ළමා රෝග තෝරගෙන අවුරුද්දක ඉන්ටර්න් එකට ගියේ මහනුවර ළමා රෝහලේ සේවයට. 2001 එංගලන්තෙ ගිහින් අවුරුදු දෙකක් එහේ හොස්පිට්ල් තුනක වැඩ කළා. ඔහොම තමයි මේ ගමන ආවෙ.
මාධ්‍යටත් ඇලුම් කළා…
රාජකීයේ ඉගෙනගත්ත කාලයේ ගුවන් විදුලි සංස්ථාවේ කටහඬ පුහුණුවටත් ගියා. ඉන්ටර්න් කරන කාලයේ පත්තරවලටත් ලිව්වා. දහම් පාසලෙත් ගොඩක් ක්‍රියාශීලී දරුවෙක්. මට හොඳට ලියන්න පුළුවන්. මම සාමාන්‍ය පෙළට ලියපු රචනා කටපාඩම් කරලා වෙන විභාගවලට ලියපු අයත් හිටියා. ‘ළදරු හා ළමා සුව සෙත’ කියලා මං දෙමව්පියන්ට පොතක් ලිව්වා. ඒකෙ තුන්වෙනි මුද්‍රණයත් දැන් සරසවි බුක්ෂොප් එකෙන් කරලා තියෙනවා.
තංගල්ල රෝහලේ Special Care Baby Unit එක හැදුවේ මම
එංගලන්තෙ ගිහින් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා ලංකාවට ආවට පස්සේ මම සේවය කළේ ඇඹිලිපිටිය මහ රෝහලේ. ඒ රෝහලේ දරුවන්ට මම සෙල්ලම් කරන්න තැනක් හැදුවා. තංගල්ල රෝහලේ Special care baby unit එක පටන්ගත්තෙත් මම. මං රෝහලකට යනවට වඩා එතනින් කවද හරි එළියට බහිද්දි ඒ රෝහල ලස්සනට තියෙන්න ඕනේ. මේ වෙද්දි රිජ්වේ ආර්යා රෝහලේ මගේ වාට්ටුවත් මං ලස්සනට තියන් ඉන්නවා.
මට කාලයක් යන්න ලැබුණා මහරගම පිළිකා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විදිහට. එතන අවුරුදු හතරක් වැඩ කළා. පිළිකා රෝහලේ දැඩි සත්කාර ඒකකය යුරෝපියානු ක්‍රමයට මම නවීකරණය කළා. මගේ ලොකු අදහසක් තිබුණා ඇටමිදුළු බද්ධය කුඩා දරුවන්ට කරන්න පටන්ගන්න. නමුත් ඒක කරගන්න බැරි වුණා.
රෝහලට මිලියන ගාණක ආධාර අරන් දුන්නා…
රිජ්වේ එකේ සේවයට බැඳිලා දැන් අවුරුදු හතරයි. මං එද්දි මේක ජරාජීරණ වෙලා තිබුණේ. මෙහේ ළමා වාට්ටුවත් මම ලස්සනට හැදුවා. බිත්තිවල ලස්සන ස්ටිකර්ස් අලවලා,දරුවන්ට TV, සෙල්ලම් බඩු දාලා දුන්නා. ජූනියර් ස්ටාෆ් එකත් හරිම හොඳයි. එයාලා මාත් එක්ක හරි සහයෝගයෙන් වැඩ කරනවා. පහුගිය දවසක මං ජූනියර් ස්ටාෆ් එකේ ළමයෙක්ගෙ උපන්දිනයක් සැමරුවා කේක් එකකුත් කපලා. ඒ ළමයා කිව්වා ජීවිතේ පළවෙනි වතාවටලු උපන් දිනේට කේක් එකක් කැපුවෙ. කොවිඩ් කාලෙත් මං මගේ යාළුවො හරහා රෝහලට මිලියන ගාණක ආධාර අරගෙන දුන්නා.
බිරිඳත් දුවත් වෛද්‍යවරියන්…
මගේ බිරිඳ සමන්මලී ගුණසේකර. ඇය මහරගම පිළිකා රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරියක්. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. ලොකු දුවට අවුරුදු 27 යි. ඇයත් වෛද්‍යවරියක්. තවම අංශයක් තෝරගෙන නෑ. පොඩි දුවට අවුරුදු 22 යි. එයා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්නවා.
පවුලක් විදිහට එකතු වෙන්නෙ කාලෙකින්…
පොඩි දුව මාස තුනක විතර නිවාඩුවකට ඇවිත් ළඟදි තමයි ආපහු ගියේ. එයාව ඉතින් බලන්න යන්නවත් මට නිවාඩුවක් නෑ. පොඩි දුවත් ලංකාවට ආවම අපි කරන්නෙ ඇවිදින්න යන එක.
වවන්න හරි ආසයි…
මම වවන්න හරි ආසයි. මං අපේ ගෙදර ආසම තැන තමයි අපේ වත්ත. අපේ වත්තේ ගොඩක් එළවළු, පලතුරු තියෙනවා. කොළ වර්ග නම් හැමදේම ගෙදර වවලා තියෙනවා. පහුගිය දවස්වල අවුරුද්දකට විතර ඇතිවෙන්න ලොකු කහ අස්වැන්නකුත් ගත්තා.
මේ වෛද්‍ය ජීවිතයේ අමතක නොවන අවස්ථා ගොඩයි…
අමතක නොවන සිදුවීම් නම් කිහිපයක්ම මේ අවුරුදු 31 ක වෛද්‍ය වෘත්තිය තුළ වෙලා තියෙනවා. ඒ අතරින් වැඩිපුරම වෙලා තියෙන්නේ එක බබෙක් කියලා හිතාගෙන නිවුන්නු ඩිලිවර් කරපු අවස්ථා. අපි ලෑස්ති වෙලා හිටියේ එක බබෙක් ගන්න. නමුත් පළවෙනි බබාට පිටිපස්සෙන් තව බබෙක් ආපු අවස්ථාවලට අපි මූණ දීලා තියෙනවා.
ඕක ගොඩක් වුණේ ස්කෑන් තාක්ෂණය ලංකාවේ තිබුණෙ නැති කාලේ. ඒත් ස්කෑන් තාක්ෂණය තිබුණත් හරියට ස්කෑන් එකේ පෙන්නලා නැතිව ඩිලිවරි එකේදි දෙන්නෙක් කියලා දැනගත්ත අවස්ථා තිබුණා. ඊට අමතරව ගොඩක් අමාරු වෙලා ආපු දරුවො බේරගෙන ඒ දරුවන්ගේ අම්මල තාත්තල ඇවිත් වැඳලා ගිය අවස්ථා එහෙමත් තියෙනවා.
පාසල් කාලයේ සෙල්ලක්කාර චරිතයක්…
හත ශ්‍රේණියට යනකල්ම මං හිටියේ සෙල්ලම් කර කරමයි. නමුත් අට ශ්‍රේණියේදි මට හිතුණා මම සෙල්ලම් කර කර හිටියොත් ජීවිතේ ගොඩයන්න අමාරු වෙයි කියලා. එතන ඉඳන් මං හොඳට පාඩම් කරන්න පටන් ගත්තා. දිගටම පන්තියේ පළවෙනියා වුණා.විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඉවරවෙනකල් මං අනාගතය හොඳට ප්ලෑන් කළා.
ළමයෙක්ට බෙහෙත් කරන එකත් මං විඳිනවා
ළමයෙක්ට ප්‍රතිකාර කරන එකෙනුයි, ජූනියර් ඩොක්ටර්ස්ලට උගන්වන එකෙනුයි මං ලොකු වින්දනයක් ලබනවා. රෑ 12 -01 වෙනකල් වැඩ කළත් මට මහන්සියකුත් නෑ. කොච්චර මහන්සි වුණත් මං ප්‍රතිකාර කරන්නෙ පුංචි දරුවන්ටනෙ කියන හැඟීම මට තියෙනවා.
එරංදි කෞශල්‍යා ✍️