පංචනීවරණ ධර්ම අතරින් කුසල් කිරීම වෙනුවෙන් මිනිස් සිතේ ඇති වන උදාසීන බව නිවන් මාර්ගයට බාධාවක්. ඒ වගේම අපේ ලෞකික ජීවිතයේදීත් කම්මැලිකම එහෙම නැත්නම් උදාසීනත්වය ජීවිතයේ පැවැත්මට සැබැවින්ම බාධාවක්. කම්මැලිකම කියන්නේ අපේ හිතේ ඇති වන එක්තරා ආකාරයක සෘණාත්මක සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල එතැනින් නවතින්නේ නැහැ. කායික වශයෙනුත් එය බලපානවා. සමහර අය මෙහෙම කියනවා. ඒ මූණ දැක්කාම මටත් කම්මැලියි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ මතුපිටින් අපි දකින ඈලි මෑලි ගතිය. මේ සියල්ලම සිතේ උපදින කම්මැලිකම බාහිරවත් ප්‍රදර්ශනය කරන ගති ලක්ෂණ විදිහට සඳහන් කරන්න පුළුවන්.
කම්මැලියාට දිවැස් තියෙනවා
අපේ අතීත උදවිය කම්මැළියාට දිවැස් තියෙනවා. යැයි සඳහන් කරනවා. සැබැවින්ම එය ඇත්ත. කම්මැලියා වැඩ කටයුතු කල් තබනවා. බුදුරජාණන් වහන්සේ කම්මැලියාගේ ගති ලක්ෂණ ගැන සඳහන් කරනවා. කම්මැලියා දැන් උදෑසන… දැන් රාත්‍රිය… දැන් කුසගිනි… දැන් කුස පිරී ඇත… දැන් සීතල… දැන් උෂ්ණය කියමින් වැඩ මග හරිනවා. අපි අතර මෙවැනි චරිත ඉතාම සුලභයි. අපේ රටේ සංවර්ධන ආයතන ගැන සේවාලාභීන් ඉතා කලකිරීමෙන් කතාකරන්නේ මෙවැනි අද වැඩ හෙටට කල් තබන චරිත නිසා බැව් රහසක් නොවේ.
කම්මැලියා නිරමාණශීලී නැහැ
උදාසීන සිතක නිර්මාණශීලී සිතුවිලි අවදි වන්නේ නැහැ. අපේ බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන චුල්ල සෙට්ඨි ජාතක කථාවට අනුව පාරේ තිබුණ මී කුණකින් පසුකාලයක සිටුවරයෙක් බවට පත් වුන පුද්ගලයෙකු සිටියා. එය අලස නොවී නිර්මාණශීලීව ගිය ගමනක්. “මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳ ලා ගනීද” කියනවාට වඩා “මැණික් ගලේ පය හැපුනත් කම්මැලියා ඇහිඳ ලා ගනීද” කිව්වොත් සාධාරණයි. ඒ වෙනුවෙන් තමන්ගේ කොන්ද නැවීමට පවා ඔහු කම්මැලියි.
බුදුහාමුදුරුවෝ සිවුරු පරිහරණය කරන අන්දම ගැන උපදෙස් ලබා දී තිබෙනවා.අවසානයේදී ඒවා ගොම මැටිවලට එකතු කරන්න උපදෙස් තිබුණත් අද ඒ වගේ කරන්න බැහැ. ලංකාවට පැමිණි වෙලාවේ අපේ පොඩි හාමුදුරුවරුන්ගේ සිවුරු තිබුණා. ඒවා පරිහරණයෙන් ඉවත් කරපුවා. මම ඒ සිවුරු අරගෙන ගිහින් “Patch Bag” හැදුවා. එක මල්ලක් ඩොලර් 75 ක මුදලට අලෙවි කළා. ඒ මුදල් මගේ සමාජ සත්කාර්යන් වෙනුවෙන් යොදා ගන්නවා. කම්මැලි චරිතයකට කිසිම විදිහට අළුත් අදහස් ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් මුලින් සඳහන් කළා වගේ දිවැස් තියෙනවා. ඕවා කවුද ගන්නේ? සිවුරත් විකුණනවා කියලා දොස් අහන්න වෙයි. මේ වගේ තර්ක විතර්ක තමන් විසින්ම ගොඩනගා ගෙන නිහඬ වෙනවා.
දරුවන් කම්මැලියි
අපි වගේ නොවෙයි, අපේ දරුවන් හරිම කම්මැලියි. අතක් පයක් හොලවන්නේ නැහැ. මේ වගේ අඳෝනා නගන මව්පියන් අද සුලබයි. නමුත් එහි වරද තමන්ටම එල්ල කර ගැනීමට සිදු වෙනවා. දරුවන් හැඩ ගසන විට කම්මැලි චරිත විදිහට ගොඩනගන්න එපා.මම තවත් සිද්ධියක් කියන්නම් චිකාගෝවල මගේ පන්සලට භාවනා කරන්න අම්මෙක් සහ පුතෙක් එනවා. අම්මාගේ වයස අවුරුදු 65 ත් ඉක්මවා ගිහින්. පුතාට අවුරුදු 25 ක් විතර වුණා.
පුතා රැකියාවක් කරන්න කම්මැලියි. ජීවිතය බොහොම සුන්දරයි. ජීවිතය විඳින්න ඕන කියන අදහස මත අම්මාගෙන් යැපෙනවා මිසක අනාගතයක් ගැන හිතන්නෙම නැහැ. අම්මා විශ්‍රාමත් අරගෙන පුතා නඩත්තු කරන්න අතිරේක රැකියාවකුත් තෝරා ගත්තා. පුතාට ජීවිතය විඳින්න අම්මා මුදල් සොයන්න ඕන.
දවසක් මේ අම්මා මට ඔය සිද්ධිය කිව්වා. මම පුතා පන්සලට පැමිණි වෙලාවක මෙහෙම ඇහුවා. රස්සාවක් එහෙම කරන්න අදහසක් නැතිද? දැන් අවුරුදු 25 ක් වෙනවා නේද? නෑ ස්වාමින් වහන්ස රැකියාවක් කරන්න ගියාම කරදරයි. ඊට වඩා මේ ජීවිතය බොහොම සැහැල්ලුයි. මට නිදහසේ සතුටින් ගෙවන්න ඕන. එතකොට ඔයාගේ අම්මා දැන් වයස්ගත වෙලා තව අතිරේක රැකියාවකුත් කරමින් ඔයා නඩත්තු කරනවා. ඔබ ජීවිතය සතුටින් ගෙවනවා. අම්මා මුළු ජීවිත කාලයම මහන්සි වෙනවා.
පුතා ඒ ගැන හිතන්න පටන් ගත්තා. ඔහු රැකියාවක් සොයා ගත්තා. එතැනින් පසුව පශ්චාත් උපාධි ලබා ගෙන විවාහ වුණා. දැන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.දරුවන් කම්මැලියි කියමින් තනියම විඳවන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ කම්මැලිකම ඉදිරියේ මව්පියන් නිහඬ විය යුතු නැහැ. දරුවන්ට ඉලක්ක ලබා දෙන්න. මෙතැනින් පසුව ඔබ ස්වාධීන වෙන්න. මුදල් උපයන්න. අනාගතය සැලසුම් කරන්න. මේ විදිහට දරුවන්ට ඉලක්ක ලබා දුන්නාම ඔවුන්ටත් ඒ අනුව කටයුතු කරන්න සිදු වෙනවා.
කම්මැලියා රෝගියෙක්
අද ගෝලීය වශයෙන් බෝ නොවන රෝග ගැන අපි කතා කරනවා. අපේ මුතුන් මිත්තන් බොහොම නිරෝගීයි ජව සම්පන්නයි. යාන්තම් අවුරුදු විස්ස වෙන කොට ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් කියමින් ලතැවෙනවා. නමුත් අපට හිතන්න දෙයක් තියෙනවා. අපි ලෙඩ වුණේ ඇයි? මීටර් දහයක දුරක් ඇවිද යන්නේ නැහැ. කුලී රථයක් හොයනවා. පඩිපෙලක් නගින්නේ නැහැ. ලිෆ්ට් එක එනකම් ඉන්නවා. සිරුරට කිසිම ව්‍යායාමයක් නැහැ. මේදය ගබඩා වෙනවා. ධමනී ඇහිරෙනවා. හෘද රෝග, දියවැඩියාව ඇති වෙනවා. නමුත් කම්මැලිකම නැතුව එදිනෙදා ක්‍රියාශීලී ජීවිතයක් ගෙවනවා නම් නිදන්ගත රෝග බොහොමයකින් නිදහස් වෙන්න පුළුවන්. අතීතයේ පෞඪ අභිමානය, ඔවුන්ගේ ශිල්පීය හැකියාව ගැන ගුණ ගායනා කළාට වැඩක් නැහැ. අපිත් අත පය සොලවන්න ඕන. ගහක් කොළක් සිටුවන්න ඕන. රටක් වෙනුවෙන් අපේ දහඩිය පොළවට එකතු වෙන්න ඕන.
ධර්මය පොතට තිබුණාට බැහැ
බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය ගැන දේශනා කළාට වැඩක් නැහැ. ඇමරිකාවේ පශ්චාත් උපාධි ලත් ස්වාමින් වහන්සේනමක් ධර්මය දේශනා කිරීමෙන් පසුව විදේශිකයෝ මෙහෙම කිව්වා. බුදුදහම ගැන කරුණු අපට අන්තර්ජාලයෙන් සොයා ගන්න පුළුවන්. අපට ධර්මයෙන් ජීවිතය කියවන්න කියා දෙන්න. ඔවුන්ගේ ඉල්ලීම එයයි. පුද්ගලයන්ගේ උදාසීන බව ගැන කරුණු නොව, ඔවුන් ක්‍රියාශිීලී ජීවිතයකට යොමු කිරීම වැදගත්. මව්පියන් විදිහට ඔවුන්ගේ පෞරුෂයෙන් දරුවන්ගේ ජීවිතය ගොඩනැගීම වැදගත්. සංඝරත්නය විදිහට ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ චරිත ගොඩනැගීමේදීත් යම් වගකීමක් තිබෙනවා.
හැම අවුරුද්දකම ජනවාරි පළමු වැනි දින මම අපේ පන්සලේ ස්වාමින් වහන්සේලාට සුබ පැතුම්පතක් ලබා දෙනවා. එහි “Do it Now” යනුවෙන් සටහන් කරනවා. මම අද කළ යුතු වැඩ 100 ක් තිබුණොත් ඒවා හෙටට කල් තබන්නේ නැහැ. අදම අවසාන කරනවා. දුරකථන ඇමතුමක වැඩි කාලයක සිටිනවා නම් ඒ අතර තවත් කුමන හෝ වැඩක් කරනවා. ඒ නිසා පුද්ගල මනෝභාවයක් විදිහට අප දකින කම්මැලිකම නිසා පුද්ගලයෙක් විදිහට ඇති වෙන පිරිහීම එතැනින් නවතින්නේ නැහැ. ඔහුගේ පවුල පමණක් නොව මුළු මහත් සමාජයම එවැනි චරිත නිසා පසුගාමී බවට පත් වන බැව් අවසාන වශයෙන් සඳහන් කරන්න වෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ
“බ්ලුලෝටස්” බෞද්ධ විහාරාධිපති
පූජ්‍ය පේරාදෙණියේ සුජාත ස්වාමින් වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️