අපි අඳින පළදින ඇඳුම් සාමාන්‍යයෙන් හෝදන්නේ අතේ. එහෙම නැතිනම් වඩාත් පහසුවෙන් හෝදගන්න පුළුවන් වොෂින් මැෂින් එකේ. ඒ වගේ හෝදපු රෙදි වේලගන්නත් ඕන. දැන් ඔය ඔක්කොම කළත් අපේ අතින් නොදැනුවත්ව සිද්ධවෙන වැරදි කිහිපයක් තිබෙනවා. අන්න ඒ නිසා ඔබේ රෙදි ටික හරියට හෝදගෙන, වේලගෙන පිරිසිදු කරගන්න ඕන කරන ටිප්ස් කීපයක් කියල දෙනවා.
රෙදි වෙන් කරන්න
මුලින්ම කරන්න ඕන රෙදි හෝදන්න කලින් රෙදි වෙන් කරගන්න එක. එහෙම නොකරන එකේ ප්‍රතිඵල අපි හැමෝම අඩු ගාණේ ජීවිතේ එක පාරක් හරි අත්දැකලා ඇති. උදාහරණයක් විදියට පාට යන මොකක් හරි ඇඳුමක් අනික් සුදු ඇඳුම් එක්ක හෝදලා ඒ සුදු ඇඳුම්වලටත් ඒ පාට අල්ලලා තියෙන එක්ස්පීරියන්ස් එක ඇති. ආන්න ඒ නිසා සහ තවත් හේතු නිසා තමයි රෙදි හෝදන්න කලින් වෙන් කරගන්න කියලා කියන්නේ. සෑහෙන්න සිනිඳු රෙදි සහ ගොරෝසු රෙදි වෙන් කරලා හෝදන්න ඕන. එහෙම නැතිනම් සිනිඳු රෙදි ගොරෝසු රෙදි එක්ක හෝදලා සිනිදු රෙදිවලට හානි වෙන එක. ඒ වගේම පාට අනුව වෙන් කරන්නත් ඕන. කොහොමත් සුදු රෙදි වෙනමම හෝදන්න ඕන. පාට යනවා කියලා දන්න ඇඳුමක් එහෙම තියෙනවා නම් ඒක කොහොමත් වෙනම අතේ හෝදන එක හොඳයි. කොහොමත් අලුතින් ගත්ත ඇඳුමක් එහෙම වෙනම හෝදන එක නුවණට හුරුයි.
හරිම සේදුම් කුඩු
වොෂින් මැෂින්වල රෙදි හෝදනකොට සමහරු රෙදි ටිකයි වතුරයි දාලා සබන් කෑල්ලක් ඇතුළට දැම්මත් ඇති කියල තමයි හිතන්නේ. ඒවා හරි යන්නෙ නැහැ. හරි විදියට රෙදි ටික හෝදගන්න නම් හරි සේදුම් කුඩු හරි සේදුම් දියර හරි දාන්න ඕන. ඒවා තෝරගන්න අපහසුවක් නෑ. හැබැයි සේදුම් කුඩු සහ දියර වොෂින් මැෂින් එකේ වර්ගය අනුවත් වෙනස් වෙනවා. උඩින් රෙදි දාන මැෂින්වලට වෙනමයි, ඉස්සරහින් රෙදි දාන මැෂින්වලට වෙනමයි තමයි මේ සේදුම් කුඩු එන්නේ.
ඒක හොයාගන්න පුළුවන් පැකට් එකේ ටොප් ලෝඩින්, ෆ්රන්ට් ලෝඩින් කියලා ගහල තියෙන නිසා.ඒ වගේම කොයි තරම් සේදුම් කුඩු හෝ දියර රෙදි කොයි තරම් ප්‍රමාණයක් සඳහා යොදනවද කියන එකත් පැකට් එකේ ගහලා තියෙනවා. ඒක වැදගත් වෙන්නේ මේකයි. සේදුම් කුඩු හෝ දියර ඕනෑවට වඩා දැම්මොත් රෙදි ටික එලියට ගන්නකොට රෙදිවල කුඩු කුඩු විදියට හරි පැල්ලම් විදියට හරි ඒවා රැඳිලා තියෙනවා. ඒක රෙදිවලට හොඳත් නැහැ. ඉක්මනට රෙදි ඩැමේජ් වෙනවා ඒකෙන්. වැඩිපුර සේදුම් කුඩු හෝ දියර දැම්මා කියල වඩා හොඳින් රෙදි හේදෙන්නෙ නැහැ. හැබැයි ඒ වගේම සේදුම් කුඩු හෝ දියර අඩුවෙන් දැම්මත් වෙන්නේ රෙදි හරියට හේදෙන්නේ නැති වෙන එක.
ෆැබ්රික් සොෆ්ට්නර්
දැන් කාලේ ඔය ෆැබ්රික් සොෆ්ට්නර් රෙදි හෝදන කොට දාන එක සෑහෙන්න ජනප්‍රියයි. ඒකෙන් වෙන්නේ රෙදිවලට සිනිඳු බවක් ලබාදෙන එක. හැබැයි ඇත්තටම ෆැබ්රික් සොෆ්ට්නර් දාන එක අනිවාර්ය නැහැ. ඒක ඇත්තටම පුද්ගලික කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ. කොහොමහරි ෆැබ්රික් සොෆ්ට්නර් දානවා නම් ඒක දාන්න ඕන සේදුම් කුඩු හෝ දියර යොදලා රෙදි ටික හෝදගත්තට පස්සේ අන්තිම රෙදි හෝදන වටයේදී. එතකොට අතේ රෙදි හෝදනකොට? එතකොටත් ෆැබ්රික් සොෆ්ට්නර් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තිමට රෙදි හෝදන වටයේදී තමයි එතකොටත් ෆැබ්රික් සොෆ්ට්නර් දාන්නේ.
පැල්ලම්
ගෙදර පොඩි අය එහෙම ඉන්නවා නම් ඒ අයගේ ඇඳුම් ඔහේ වොෂින් මැෂින් එකට ලෝඩ් කරල හෝදලා ගන්නවට වඩා පොඩ්ඩක් පැල්ලම් ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද ඇඳුම්වල පැල්ලම් තියෙනකොට සාමාන්‍ය විදියට වොෂින් මැෂින් එකේ හෝදන එකෙන් ඒ පැල්ලම් යන්න ලොකු උදව්වක් වෙන්නෙ නැහැ. මෙතනදී මේ පැල්ලම් කියලා කියන්නේ තීන්ත පැල්ලම්, මඩ පැල්ලම්, තෙල් පැල්ලම්, ඉඳුල් පැල්ලම්, කහට පැල්ලම්, ලේ පැල්ලම් සහ සෙන්ට් පැල්ලම් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හොඳම දේ මේ පැල්ලම් කලින්ම ඉවත් කරල රෙදි ටික වොෂින් මැෂින් එකට දාන එක.
උදාහරණයක් විදියට ගත්තොත් තීන්ත පැල්ලම් යවන්න පුළුවන් දත් බෙහෙත් ටිකක් ගාලා තදින් ඇතිල්ලීමෙන්. විනාකිරි මද රස්නේ වතුරට දාලා, ඒකෙන් ටිකක් ගාලා ඇතිල්ලීමෙන් ලේ පැල්ලම් අයින් කරන්න පුළුවන්. සෙන්ට්වලින් ඇතිවෙන පැල්ලම් අයින් කරන්නත් ඒකෙන්ම පුළුවන්.
ඔය ගෙවල්වල එහෙම ආලේප කරන තීන්තවල පැල්ලම් යවන්න නම් තිනර් ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්. තෙල් පැල්ලම්වලට බේකින් සෝඩා ටිකක් දාලා තියලා හෝදලා යවාගන්න පුළුවන්. කෝපි පැල්ලම්වලටත් මද රස්නේ වතුරවලට පිඟන් හෝදන සබන් දියර එක්ක විනාකිරි පොඩ්ඩක් දාලා හදාගත්තු මික්ස්චර් එක හරි යනවා.
පොකට්
රෙදි හෝදන්න කලින් හැම රෙද්දක්ම හොඳට ගසලා, දිගඇරලා බලලා බේසමට දාගන්න ඕන. සමහර වෙලාවට සාක්කු අස්සේ අනං මනං තියෙන්න පුළුවන්. එතකොට කමිසයක්, කලිසමක් හෝදන්න කලින් අනිවාර්යයෙන්ම සාක්කු හොඳට චෙක් කරලා බලලා බේසමට දාගන්න ඕන. අපි නොදැනුවත්වම හෝ අමතක වෙලා හෝ අපේ සාක්කුවල සල්ලි, කාසි, පෙන් ඩ්‍රයිව්වල ඉඳලා නානාවිධ දේවල් තියෙන්න පුළුවන්.
මේ සමහර දේවල් එක්ක රෙදි හේදුවට පස්සේ ඒක නාස්ති වෙන්න පුළුවන්. ඒ වගේම ඔය දෘඩ දෙයක් වොෂින් මැෂින් එකේ කරකැවෙන එකෙන් මැෂින් එකට හානි සිද්ධ වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා රෙදි හෝදන්න කලින් රෙදි දිග අරින එක සහ පොකට්ස් පරීක්ෂා කරන එක පුරුද්දක් විදියට කරන්න ඕන දෙයක්.
වේලමු
රෙදි වේලනකොට නිකම්ම එක ගොඩේ දාලා හරියන්නෙ නැහැ. හොඳට දිග ඇරලා, එක පිට එක දාන්නේ නැතුව වනන්න ඕන. එළියේ වැලක් බැඳලා වනන එක අපි ගොඩක් වෙලාවට කරන දෙයක්නේ. එහෙම නැතිනම් රෙදි වේලන ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. කොහොම කළත් හුළඟෙන් රෙදි වේලගන්න එක තරම් සාර්ථක ක්‍රමයක් තවත් නැහැ.
ඒ නිසාම වොෂින් මැෂින් එකෙන් වේලගන්න රෙදි පවා ආයෙමත් හුළගෙන් වේලාගන්න එක සාර්ථකයි. ඊට පස්සේ රෙදි එතනින් ඉවත් කරගන්න ඕන තෙත ගතියක් කොහෙත්ම නැති වෙන තරමට හොඳටම වේලුනාට පස්සේ. අපට වැස්ස නිසා හරි රෙදි ටික තෙත නැති වෙන්න කලින් ගන්න වුණොත් ඒවා ගොඩක් වෙලා එක ගොඩේ දාලා තියන්නේ නැතුව ආයෙමත් වේල ගන්න ඕන. එහෙම නැතිනම් පුස් ගඳ ගහනවා. ඒ වගේම රෙදි වැලේ දාලා දවස් ගණන් අව්වේ තිබුණොත් එහෙම ඒත් රෙදිවල පාට පිච්චෙන්න බලනවා.
අහුරන්නේ කොහොමද?
හරි විදිහට රෙදි හෝදාගෙන, වේලගත්තට පස්සේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ වේලපු රෙදි ටික ගෙනැල්ලා පුටුවක් උඩ හරි දාලා තියන්න. ඊට පස්සේ ඉතින් සති ගණන් රෙදි ටික එතන. සමහර වෙලාවට අඳින්න ඕන ඇඳුම ඇඳුම ඒ රෙදි ගොඩෙන් අරගෙන අයන් කරගෙන ඇඳගෙන යනවා.
හැබැයි තමන්ගේ රෙදි ගැන සැලකිලිමත් වෙනවා නම් කරන්න ඕන හොඳ දේ තමයි රෙදි ටික වේලගෙන ගෙට ගත්තට පස්සේ හැකිතාක් ඉක්මනට ඒවා අයන් කරනවා නම් අයන් කරලා හරි තැන්වල අසුරන එක. සාමාන්‍යයෙන් ඔය ලේසියෙන් නැවුම් පහරවල් හිටින රෙදි පෙරෙදි නවලා අනික් රෙදි එක්ක අඩුක් කරන එක හරියන්නෙ නැහැ. ඒවා එල්ලලා තියන්න ඕන.
අර්චිත ඉඳුවර ✍️