විවාහය වූ කලී “මිනිස් දිවියේ දෙවන උපතයි”. එය සමාජීය මෙන්ම පුද්ගලික ජීවිතයේ පරිපුර්ණත්වය උදෙසා කාන්තාවක් හා පුරුෂයෙකු අතර පවත්නා ලිංගික, සමාජීය හා සදාචාරාත්මක සම්බන්ධතාවන් නීතිය තුළින් බලාත්මක කරනු ලබන ගිවිසුමක් ලෙසට දැක්විය හැකිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (12) ව්‍යවස්ථාව තුළින් පවා “පවුල” සමාජ සංස්ථාවේ මුලික ඒකකය ලෙස පිළිගන්නා අතර “පවුල” යන්න නිර්මාණයවීමේ පළමු පියවර විවාහය ලෙස ද හඳුන්වයි.
විවාහ විය හැකි නීතිමය වයස කුමක්ද?
විවාහ වීමේ හැකියාව සම්බන්ධයෙන් සැලකීමේදී නීතිය තුළ දක්වන හරයාත්මක අවශ්‍යතාවයන් කිහිපයකි. වයොපූර්ණත්වය, තහනම් විවාහ ඥාති සම්බන්ධතාවක් නොවීම, පවත්නා පූර්ව විවාහ නොපැවතීම සහ පාර්ශවයන්ගේ කැමැත්ත දැක්විය හැකිය. මෙහිදී විවාහවීමේ අවම වයස සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය කෙසේද යන්න විමසීමේදී 1989 යේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තිය (CRC) සඳහා 1991.07.21 වන දින ලංකාව පාර්ශවකරුවෙකුවීම තුළින් සම්මුතියේ 3 වන සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අප බැදී සිටී.
එසේම 1979 කාන්තාවන්ට එරෙහිව සියළු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය( CEDAW) 16 වන සම්මුතිය තුළින් “විවාහ වීම සදහා අවම වයස දැක්වීමේ රාජ්‍යමය වගකීම” දක්වයි. එසේම UN Recommendation on Consent to Marriage, Minimum Age for Marriage and Registration of Marriages 1965 හි 2 වන මුලධර්මය තුළින් දැක්වෙන්නේ “සෑම සාමාජික රාජ්‍යයක්ම විවාහවීමේ අවම වයස පැහැදිලිව දැක්විය යුතු සේම කිසිඳු අවස්ථාවක එය අවුරුදු 15 ට නොඅඩු නොවිය යුතුය” යන්න දක්වා තිබේ.
ඉහත දක්වන ලද අන්තර්ජාතික නීතියට ගරු කරමින් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහ පනතට 1995 වර්ෂයේ එක් කරනලද සංශෝධනයට සමගාමීව මුස්ලිම් නීතිය තුළ හැර අනෙකුත් නීතින් තුළ විවාහවීමේ වයෝපූර්ණත්ව වයස අවුරුදු 18 ක් දක්වා ඉහළ දමන ලදී. එහි මුලික අපේක්ෂාව වූයේ මාතෘත්වය සදහා කායික මෙන්ම මානසික වශයෙන් සුදානම් නොමැති ළමා විවාහ හා ළමා ගැබ්ගැනීම් අවම කිරීමයි.
විවාහ නොවී හෝ විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකිද?
අවුරුදු 16 ට අඩු තැනැත්තන් හට කැමැත්ත සහිතව වුවත් ලිංගික සම්බන්ධතාවයන් පවත්වන්න නීතියෙන් ඉඩක් නෑ. ඒක අපරාධ නීතියේ දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදක් වගේම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණ වගකීමටත් ලක්වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 16 – 18 අතර පසුවන්නන් ගේ තත්ත්වය මෙයට වෙනස්.
වයස අවුරුදු 16 ට වැඩි කාන්තාවන්ට සහ පුරුෂයන්ට විවාහ නොවී හෝ විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන්න නීතියෙන් තහනමක් නොමැත. ඔවුන් නීතිය තුළින් දරුවන් සේ සැලකුවත් ඔවුන්ට කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ බාධාවක් මෙරට නීතිය අනුව නොමැත. නමුත් ඔවුන්ට වයස අවුරුදු 18 පුර්ණය වන තෙක් විවාහ වීමේ හැකියාව නැත.
මෙහි ඇති ගැටලුව කුමක්ද?
අවුරුදු 16 – 18 කියන්නෙම තරුණ වයස. සමහර වෙලාවට 18 ට අඩු 16 ට වැඩි ගැහැනු ළමයි තමන්ගේ දෙමව්පියන්ගෙන් ඉවත් වෙලා 18 වෙනකම් විවාහවෙන්න බැරි නිසා තමන්ගේ පෙම්වතා එක්ක කැමැත්තෙන් එකට ජීවත් වෙනවා. ඒ වෙලාවට ඒකට බාධා කරන්න පොලිසියට හැකියාවක් නෑ. නමුත් අපහරණය පිළිබඳව චෝදනාවක් නම් පොලිසියට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බලය පැවරෙනවා. එතකොට චෝදනාව දරුණුයි. ඒ වෙලාවට අපරහණය සිදු නොවූ බවට සාක්ෂි නැත්නම් අපරාධමය වගකීමක් පිරිමි ළමයා මතට වැටෙනවා.
නමුත් කොයිම අවස්ථාවකවත් පොලිසියට බලය නෑ දරුවාගේ භාරකාරීත්වය තීරණය කරන්න. අවුරුදු 18 ට අඩු ගැහැනු ළමයෙක් නම් දෙමව්පිය භාරකාරීත්වයෙන් ඉවත්කළ බවට චෝදනා කරමින් ගැහැනු ළමයා පරිවාස නිලධාරියා සහ ළමයා කවුරුහරි ළඟ තියාගෙන හිටියානම් ඒ තැනැත්තාත් වගඋත්තරකරු කර සිවිල් නඩුවක් පැවරීමේ හැකියාවක් තියනවා. එහෙම අවස්ථාවක ගැහැනු ළමයා තමන්ගේ දෙමාපියන් ගාවට යෑමට අකැමැත්ත ප්‍රකාශ කළොත් අධිකරණය වෙනත් ඥාතියෙකු භාරයට හෝ පරිවාස භාරයට පත් කරන්න කටයුතු කරනු ලබනවා. එතකොට එකී භාරයේ ඉදලා තමන්ගේ
වයස අවුරුදු 18 සම්පුර්ණ වූවිට විවාහවීමේ හැකියාව තියෙනවා.
අවුරුදු 18 ට අඩු අය ව්‍යාජ ලෙස විවාහ වුවහොත් නීතියෙන් කුමක් සිදුවේද?
අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයෙක් මොන විදියකට හෝ අනීතික ලෙස විවාහ වෙනවා නම් අනිවාර්යෙන්ම පිරිමි පුද්ගලයාට ස්ත්‍රී දූෂණ නඩුවක් වැටෙන එක නතර කරන්නම බෑ. සමහර විට අපරාධ නීතිය යටතේ සිරදඬුවම් පවා ලැබෙන්න හැකියාවක් තියනවා.අවුරුදු 16-18 අතර දෙන්නෙක් එහෙම අන්‍යාකාරයෙන් නීත්‍යානුකුල නොවන ක්‍රමවේදයක් මත විවාහ කරගැනීම තුළ එම විවාහය කිසිඳු දිනක නීත්‍යානුකුල වෙන්නෙත් නෑ. ඒ විවාහය ශුන්‍ය සහ බලරහිත වෙනවා. ඒ විවාහයෙන් දරුවෙකු ලැබුණොත් ඒ දරුවා නීත්‍යානුකුල විවාහයකින් තොරව උපන් දරුවෙකු ලෙසයි සලකන්නේ.
ඒ වගේම ඒ වගේ අවස්ථාවක දරුවකුට පියාගේ උරුමය නොලැබී යාමේ ඉඩක් වුණත් පවතිනවා. එලෙසින්ම නීත්‍යානුකුල විවාහයක් නොමැති නිසා බිරිදට ස්වාමියාගෙන් ලැබිය යුතු විවාහක අයිතීන් ලබා ගන්නත් හැකියාවක් නැති වෙනවා වගේ ප්‍රශ්න ගොඩකට මුහුණදීමට සිදු වෙනවා.
නීතීඥ සුපුන් සිරිවර්ධන