ඕලු කී විට අපේ හිතේ ඇතිවන්නේ වැවක පිපෙන, සැදැහැ සිතින් මල් ආසනයට පූජා කරන සුන්දර මලක් ගැනයි. නමුත් ඕලු ආශ්‍රිතව නිෂ්පාදන හඳුන්වා දුන් නිර්මාණශීලී ව්‍යවසායකයෙක් ලෙසින් ඔහු හැඳින්වීම ඉතාම සාධාරණයි. මහව බලල්ල පදිංචි අජිත් දසනායක මහතාගේ හිතේ තිබුණ ව්‍යාපාරික සිහිනයට ඔහු පැමිණි ගමන්මග ගැන ඔහුගේ වචනයෙන්ම ඇහුවොත් වඩාත් රසවත් වේවි.
අපි වස ආහාරයට ගන්නා ජාතියක්…
මම වෘත්තියෙන් වෙළෙඳ නාවික නිළධාරියෙක්. ලෝකයේ බොහෝ රටවල්වලට යන එන විට මට එක දෙයක් තේරුම් ගියා. ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටට ආවේනික ආහාරපාන පිළියෙළ කිරීමට සහ පරිභෝජනයට වැදගත් තැනක් ලබාදෙනවා. නමුත් අපේ ලාංකීය සමාජයේ මානසිකත්වය තුළ “අපේ” කියන සංකල්පයක් එවැනි ගරුත්වයක් නැහැ. අපේ බොහෝදෙනා හිතන්නේ පිටරටෙන් එනවා නම් ඒ තමා හොඳම එක කියලා.
කොටින්ම ඕලු, කුරක්කන් වගේ දේවල් ආහාරයට ගන්නත් ලැජ්ජා හිතෙන සහ ඒවා ආහාරයට ගැනීම පවා මදිකමක් යැයි සිතන මානසිකත්වයකින් අප පසුවෙනවා. ඇමරිකාවෙන්, කැනඩාවෙන් තිරිඟු පොත්ත සල්ලිවලට ආනයනය කරලා බෝනොවන රෝග ඉල්ලලා ගෙන්වා ගත්තා.නමුත් අපට උරුම ආහාරපාන ප්‍රවර්ධනය කරන්න වගේම මහ පොළොවෙන් ලැබෙන අස්වැන්න වෙනුවෙන් අගයක් ලබාදෙන්න මට අවශ්‍ය වුණා. ඒ නිසා මම රැකියාවෙන් ඉවත් වෙලා ව්‍යවසායකයෙක් විදිහට නව නිර්මාණ පැත්තට යොමු වුණා.
ඔබ අලුත් දෙයක් ගැන හිතුවා
ඔව්. මම ඕලු යොදාගෙන බිස්කට් නිෂ්පාදනය කිරීමට තිබෙන හැකියාව ගැන හිතුවා. අපි ඕලු බත් ගැන දන්නවා. ඒවා ආහාරයට ගන්නවා. ඕලුු මලෙන් ගෙඩි හටගන්නවා. මේ ගෙඩි මෝරලා එය ඕලු බත් වෙනවා. ඕලු ගෙඩි ගෙනත් සාමාන්‍යයෙන් භාජනවල දාලා වතුර දාලා තියනවා. මේවා කුණු වුණාම ගෙඩිය හෝදනවා. එවිට ගෙඩිය පැලිලා ඇට ලැබෙනවා. ඊට පස්සේ සියඔලා කොළ, පොල් මුඩු දාලා වංගෙඩියක කොටලා ඕලු බත් සකස් කරගන්නවා.
ඕලුවලින් අලුත් නිෂ්පාදන හදන්න හිතුවා
ඕලු බත් සාදා ගැනීම දුෂ්කර කාර්යයක්. මේ විදිහට ලබාගන්න ඕලු බත් වෙළෙඳපොළේ අලෙවි වුණේ කිලෝවක් රුපියල් 40 ක් වගේ සුලු මුදලකට. නමුත් අද වෙන විට මම ඕලු කිලෝවකින් රුපියල් 1100 ක් වැනි මුදලක් ලබාගත හැකි අන්දමට අලෙවි කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළා. කොටින්ම මේ විදිහට ඕලු වගේ නිෂ්පාදනයක් වෙනුවෙන් වටිනාකමක් ලබාදුන් අපේ රටේ එකම පුද්ගලයා මම කියලා බය නැතුව කියන්න පුළුවන්.
ඔබ ඕලු වලට අගය එකතු කළේ?
මම ඕලු වලින් බිස්කට්, කේක්, කොකිස්, බනිස් වැනි විවිධ ආාහර සකස් කළා.මගේ පියා මේ ස්ථානයේ හෝටලයක් පවත්වා ගෙන ගියා. මම එතැනට එන අයට ඕලු ආශ්රිත නිෂ්පාදන නොමිලයේ දුන්නා. ඕලු ආශ්රිත ආහාර අනුභව කළ සෑම කෙනෙක්ම ඒ ගැන අගය කරමින් කතා කළා. බොහෝදෙනෙක් මට කිව්වේ ලෝකයේ කවුරුත් මේ වගේ දෙයක් තවම කරලා නැති නිසා මේ නිෂ්පාදන වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබාගන්න කියලා.
ඕලු ආශ්රිත නිෂ්පාදන සමග කටයුතු කරන අතරවාරයේ මම කුරක්කන්වලින් ආහාර නිෂ්පාදනයටත් යොමු වුණා. මගේ අම්මා දියවැඩියා රෝගයෙන් පෙළුණ කෙනෙක්. ඇය වෙනුවෙන් මම කුරක්කන් ආශ්රිත නිෂ්පාදන ගැන අවධානය යොමු කළා.ඒ විතරක් නොවෙයි තල, මුං ඇට, කුරක්කන් වැනි සියලුම ධාන්‍යවලින් මෙම නිෂ්පාදන කරන්න පුළුවන්.ඕලු මල් නෙළා ගත්තාම ඕලු ඇට ලබාගැනීම අපහසුයි. දැන් ඕලු පොහොට්ටුවේ පටන්ම නෙළා ගන්නවා. මලට ඉබේම පරවෙන්න ඉඩ දෙනවා නම් අමුද්‍රව්‍ය ගැටලු ඇතිවන්නේ නැහැ. අඩුම වශයෙන් සුදු ඕලු අලෙවිය වෙනුවෙන් බලපත්‍ර නොදී සිටිනවා නම් අපට මේ මල්වලින් ඇට ලබාගැනීමේ පහසුවක් ලැබෙනවා.
ධාන්‍ය වර්ග 30 කට පේටන්ට් ලබාගෙන තිබෙනවා
තල, කුරක්කන්, මෙනේරි, පොල්, කිතුල්, කළු හීනටි, සුවඳැල් ආශ්‍රිතව බේකරි නිෂ්පාදන වෙනුවෙන් මම පේටන්ට් බලපත්‍ර ලබාගත්තා.ඕලු, කළු හීනටි දියවැඩියාවට ගුණයි. සුවඳැල් කටහඬ මිහිරි වීම, ශක්තිය ලැබීමට ගුණදායකයි. කොල්ලු ශක්තිය වඩනවා. කොස්ඇටවල77% ක් පමණ අධික ප්‍රෝටීන් ප්‍රතිශතයකින් යුක්තයි. මම කොස්ඇටවලින් බිස්කට් හැදුවා. කොස් ඇට යොදාගෙන අධි ප්‍රෝටීන් පානයක් නිෂ්පාදනය කළා. එය Mediseed යනුවෙන් නම් කර තිබෙනවා. ජිම් යන තරුණයන්ට අවශ්‍ය අධි ප්‍රෝටීන පානයක් විදිහට මෙය හඳුන්වා දුන්නා.
ඔබ ලබාගත් සම්මාන ගැන සඳහන් කරනවා නම්
මට සම්මාන බොහෝ ලැබී තිබෙනවා. ඒවායින් කීපයක් ගැන සඳහන් කරනවා නම්
2010 නව නිපැයුම් කොමිසම විසින් පවත්වන ලද තරගයේදී රන් පදක්කම ලබා ගත්තා.
2012 වසරේ රන් පදක්කම් දිනා ගත්තා.
2008 කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හොඳම ව්‍යවසායකයා ලෙස ස්වර්ණ සම්මාන.
නව නිර්මාණ වෙනුවෙන් ජනාධිපති සම්මාන.
කොස්ඇට නිෂ්පාදන වෙනුවෙන් අපේ රටේ ඉල්ලුම
කොස් කියන්නේ අපි විවිධ විදිහට ආහාරයට ගත හැකි ජාතික සම්පතක්. අද කාර්ය බහුල ජීවන රටාවක් තුළ ආහාර සකස් කරගැනීමත් යුද්ධයක්. අද කාන්තාවන් රැකියාවල නිරත වෙනවා. ඒ නිසා කාලය පිළිබඳව විශාල අරගලයක යෙදෙනවා. මේ වගේ අවස්ථාවකදී ඉතා පහසුවෙන් සකස් කරගත හැකි කළු හීනටි නූඩ්ල්ස් නිෂ්පාදනයක් මම හඳුන්වා දුන්නා. මුරුංගා කුඩු මිශ්‍ර කළ රෝග 350 කට ගුණ ලබාදෙන මේ මුරුංගා නූඩ්ල්ස් ඇලෙන්නේ නැහැ. බෙරිවීමක් නැහැ. ඉතා පහසුවෙන් සකස් කර ගන්න පුළුවන්.
මේ නිෂ්පාදන මිලට ගැනීමට අවස්ථාවක් තිබෙනවාද?
ක්ෂණිකව සකස් කරගත හැකි ඉදිආප්ප විනාඩි තුනකින් සකස් කර ගන්න පුළුවන්. අපි ක්ෂණික නූඩ්ල්ස් සකස් කරගන්නවා වගේ ඉදිආප්ප සකස් කර ගන්න පුළුවන්. ගෑස්, විදුලිය විතරක් නෙවෙයි කාලයත් ඉතුරු වෙනවා. අපේ රටේ සුපිරි වෙළෙඳසල් ජාලය තුළ ශාඛා 506 ක මගේ නිෂ්පාදන මිලට ගැනීමට පුළුවන්. ඕස්ට්‍රේලියාව කැනඩාව සහ නෙදර්ලන්තය වැනි රටවලද ඒවා අලෙවි වෙනවා.
විදේශ රටවල හෝ අපේ රටේ පුද්ගලයෙකුට ඔබේ නිෂ්පාදන අලෙවි කිරීමට සම්බන්ධ වීමට හැකියාවක් තිබෙනවාද?
අපේ රටේ ඕනෑම කෙනෙකුම වගේම විදේශයක සිටියත් ඔවුන් අපේ රටේ. ඒ නිසා කිසිම වෙනසක් නැහැ.කිරිපිටි වෙනුවට විකල්ප පානයක් විදිහට “ මෙඩිසීඩ් ” නිෂ්පාදනය හඳුන්වා දීම කර තිබෙනවා.
මුං, කව්පි, දේශිය සහල් අමුද්‍රව්‍ය විදිහට යොදාගෙන රසය වෙනුවෙන් කොකෝ එකතු කරලා තිබෙනවා. කිසිම කල් තබාගැනීමේ ද්‍රව්‍යක් හෝ රසකාරක යොදාගෙන නැහැ. ඇට සේදීමට පවා යොදා ගන්නේ පිරිසිදු ජලය. වියැළීමත් ඉතාම සෞඛ්යාරක්ෂිත අන්දමට සිදු වෙනවා. ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතාම ගුණදායක කිරිපිටි ආදේශකයක්. කිසිම රසායනයක් හෝ සත්ත්ව තෙල් අඩංගු නැහැ.
සුප් – මම ක්ෂණික සුප් පැකට්ටුවක් වෙළෙඳපොළට හඳුන්වා දෙන්න අදහස් කරනවා. මේ සුප් පැකට්ටුවත් කිසිම රසකාරකයක් හෝ වර්ණකාරකයක් භාවිත කරන්නේ නැහැ. දේශීය සහල්, එළවළු වර්ග කීපයක් ධාන්‍ය සහ කොස්ඇට පිටි යොදාගත් නිෂ්පාදනයක්.
කැඳ – විදේශීය රටවල කැඳ වගේ ගුණදායක පාන වර්ග බහුලව පරිභෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය වෙනුවෙන් කැඳ පැකට්ටුවක් හඳුන්වා දුන්නා. වැල් පෙනෙල, හාතාවාරිය, කිතුල් පිටි වැනි කැඳ වර්ග කීපයක් තිබෙනවා. වැල් පෙනෙල පුරුෂ ශක්තිය වර්ධනය කරනවා. හාතාවාරිය කාන්තාවන්ට ඉතාම ගුණදායකයි.
කිතුල් පිටි ගර්භාෂගත රෝග වලට ප්‍රතිකාරකයක්. මේවායේ ගුණ දැන සිටියත් අද වන විට ශාක පත්‍ර සොයා ගැනීම අපහසුයි. ඒ වගේම කැඳ සකස් කර ගැනීමේ කාලය ගැටලුවක්. ඒ නිසා මේ කැඳ පැකට්ටුවක් ඉතාම පහසුවෙන් සකස් කර ගත හැකි විදිහට ඉදිරිපත් වී තිබෙනවා. පොල් පැකට්ටුවක් වෙනම තිබෙනවා සියල්ල මිශ්‍ර කරගෙන රත් කර ගෙන පානය කරන්න පුළුවන්.
ඊට අමතරව හාතාවාරිය කුඩු, ඉඟුරු කුඩු, මුරුංගා කුඩු විදිහට නිෂ්පාදන තිබෙනවා. මට අවශ්‍ය ගමේ ගොවියන්ට ජීවත් වෙන්න මඟක් පෙන්වන්න. දැන් අමුද්‍රව්‍ය වගා කිරීමට බොහෝ දෙනා උනන්දුයි. ඒ නිසා ආදායම් ලැබෙනවා. වස විස නැති ආහාර සංකල්පය ප්‍රායෝගිකව සමාජගත කරමින් අපේ ගොවි මහතුන්ගේ දහඩියට වටිනාකමක් ලබා දෙනවා නම් නැවතත් පැරකුම් යුගයක් නිර්මාණය කිරීම අපහසුවක් නොවෙයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️