මව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම අපි හඳුන්වන්නේ සංසාරගත බන්ධනයක් විදිහටයි. ඇට, මස්, ලේ, නහර ඔස්සේ පවා දිවෙන මේ සම්බන්ධතාවය නිසාම මව්පියන් විසින් දරුවන්ට සැලකිය යුතු ආකාරය ගැනත් අප විසින් අමතක කළ යුතු නැහැ. බුදුරජාණන් වහන්සේ මව්පියන් විසින් දරුවන්ට අනුකම්පාවෙන් සැලකිය යුතු ආකාර පහක් ගැන දේශනා කර තිබෙනවා. දරුවෙකුගේ උපත සමග ඔබ දෙමව්පියන් බවට පත් වුණත් එතැනින් සෑහීමට පත් වීමට බැහැ. ඔබ දරුවාගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. එසේ නම් මව්පියන් ලෙසින් ඔබ දරුවාට අනුකම්පාවෙන් කළ යුතු යුතුකම් මොනවාද?
පාපා නිවාරන්ති
හපත් පුද්ගලයා පවට බියයි. ඔවුන් බිය නිසාම පාපයට යොමු වන්නේ නැහැ. නමුත් පව් පින් ගැන වූ සංකල්ප අනුව දරුවා බාල කාලයේ පටන්ම හැඩ ගැසීම ඉතාම වැදගත්. බුදුදහමේ දේව ධර්ම ලෙසින් අපට කියා දෙන “හිරි”, “ඔතප්” ලෙස පාපයට බිය සහ ලැජ්ජාව තිබීම වැදගත්. දරුවන්ට අනුකම්පාවක් දක්වන දෙමව්පියන් විසින් දරුවා පාපයෙන් මුදා ගැනීම ඔවුන්ගේ වගකීමක් ලෙසින් සලකති. ඒ නිසා බාල කාලයේ පටන් දරුවා පවෙන් ගලවා ගැනීම වැදගත්. අපේ බෝසත් කතා අතර තල අහුරක් හොරා කෑ රාජ කුමාරයාට ගුරුවරයා විසින් එදා දඬුවම් නුදුන්නා නම් ඔහු රජෙකු නොව සොරෙකු බවට පත් වෙන බැව් ගුරුවරයා විසින් පහදා කියා දුන්නේය.
මව්පියන් ලෙසින් ඔබ දරුවා කෙරෙහි අනුකම්පාවක් දක්වනවා නම් පාපයෙන් දුරස් කරන්න. දරුවා කරන පව් සුරතලයක් ලෙසින් නොසිතන්න.කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ මේ බැව් කුඩා මනසට තදින්ම ඒත්තු යන අන්දමින් කියා දී දරුවා බාල කාලයේ පටන් කුසලයට යොමු කරන්න.
කළ්‍යාණං නිවාසන්ති
දරුවා ගැන අනුකම්පාවෙන් කටයුතු කරන මව්පියන් ලෙසින් ඔබ දරුවා යහපතෙහි යොදවන්න. දරුවාට කරුණාව පුරුදු කරන්න. තවත් අයෙකුගේ දුක ඉදිරියේ සංවේදී වන චරිතයක් ගොඩනගන්න. තරගයක් අවශ්‍ය නැත. ඔබ යා යුත්තේ ඔබට යා හැකි දුරක බැව් කියා දෙන්න. දක්ෂයාට ඊර්ශ්‍යා කිරීමෙන් ලැබෙන දෙයක් නැති බවත් ඊර්ශ්‍යාව නිසා මෙලොව පරලොව දෙකම දුකට පත් වෙන බැව් පහදා දෙන්න. පන්තියේ දක්ෂයාට සාපේක්ෂ කරමින් දරුවන්ට දොස් නැගීම කිසිසේත්ම නොකළ යුතුය.
ඔබ දරුවා ගැන අනුකම්පාවෙන් කටයුතු කරනවා නම් කිසිම දිනක තවත් දරුවෙකු සම සංසන්දනය කරමින් දරුවන්ට දොස් නැගීම සුදුසු නැහැ. ඔබේ එම ක්‍රියාදාමය නිසා දරුවා ඊර්ශ්‍යාව, වෛරය සමග ජීවත් වෙන තමා ගැන අවතක්සේරුවෙන් සිතන පතන චරිතයක් බවට පත් වෙනු ඇත.
සික්ඛා සික්ඛන්ති
දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න. ධර්මයට අනුකුල වීම කෙසේ වෙතත් අද දවසේ දෙමව්පියන් තමන්ගේ හැකියාවටත් වඩා උත්සාහයක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරති.නමුත් මෙතැනදී සැබැවින්ම අධ්‍යාපනය යනු කඩදාසි සහතිකයක් නොවේ. දරුවාගේ නමට කොතරම් උපාධි අකුරු එකතු වුණත් ඔහු යහ චරිතයක් නොවේ නම් එයින් ලැබෙන ආලෝකයක් නැත. උසස් තානාන්තරයක් දැරුවත් මානව දයාවක් නොමැති චරිතයක් නම් රාජ්‍ය දේපල සොරා කන, අල්ලස් දූෂණයන්හි නිරත අයෙකු නම් ඔවුන් ලද අධ්‍යාපනයෙන් අර්ථයක් නැත. ඒ නිසා අධ්‍යාපනය සමග ශික්ෂණය ඉතාම වැදගත්.
සුදුසු කාලයේදී ආවාහ විවාහ කර දීම විවාහයක් යනු ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්. මේ නිසා දරුවන්ගේ නිසි වයසේදී ඔවුන් වෙනුවෙන් ආවාහ විවාහ කටයුතු කර දීම අනුකම්පා සහගත සිතින් විය යුත්තක්. බොහෝ මව්පියන් මේ ගැන නිරන්තරව කතා බහ කරනු ඔබ අසා ඇත. අපේ ඇහැ පියවෙන්න ඉස්සර පෙළවහක් කර දෙන්න ඕන. අපි නැති කාලයක වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් ඉන්න එපායැ. මව්පියන්ගේ මුවින් නිකුත් වන මේ වචනවල සැබැවින්ම ඇත්තේ දරුවා ගැන අනුකම්පාවයි. මව්පියන් සැමැදා ජීවත් නොවන නිසා ඔවුන්ගේ නැති කාලයක දරුවාගේ ජීවිතයට යම් ශක්තියක් අවශ්‍ය බැව් ඔවුන් දනිති. දුර දක්නා මව්පියන් නිසි කල වයස සපිරි දරුවන් වෙනුවෙන් ආවාහ විවාහ කටයුතු කර දීමට උනන්දු වන්නේද මේ නිසාය.
සමහර අවස්ථාවලදී දෙමව්පියන්ද මේ ගැන උනන්දුවක් නොදැක්වීම නිසා අවිවාහකව ජීවිතය ගෙවන ඇතැම් දරුවන් සිටිති. විවාහයක් වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් ඇතැත් ඔවුන්ගේ ජීවිතයට ගැළපෙන සුදුසු සහකරුවෙක් නොලැබීම ඊට හේතුව වී තිබෙනවා. සමහර දරුවන්ගේ ජීවිත මව්පියන්ගේ ආධිපත්‍යයට දැඩි සේ නතුව ඇත. ඒ නිසා ඔවුන් තම දරුවන්ගේ ආවාහ විවාහයන්දී දරුවාගේ ජීවිතයට ගැළපෙන සහකරු නොව මව්පියන්ගේ නිර්නායකයන්ට ගැළපෙන මනාල මනාලියන් සෙවීම නිසා විවාහය ප්‍රමාද වෙන හෝ විවාහ වීමට නොහැකි වන දරුවන් සිටිති. එවැනි අවස්ථාවලදී දරුවන් විසින්ද අපේ අම්මා තාත්තා නිසා තමයි මට මෙහෙම වුණේ යැයි චෝදනා නගන අවස්ථාවන්ද අප අසා ඇත.
දායාද ලබා දීම
මව්පියන්ගේ ඇවෑමෙන් ඔවුන් සතු දේපල අනිවාර්යෙන්ම දරුවන්ට ලැබීම සිදු වුණත් ඔවුන් ජීවත්ව සිටියදීම දේපල බෙදා වෙන් කරදීම දරුවන් ගැන අනුකම්පාව ඇති දෙමව්පියන්ගේ යුතුකමක් සේ සැලකේ.ඒ වගේම දේපල බෙදීමේදී ඉතා ප්‍රවේසම් වීමට සිදු වන බවත් අමතක කළ යුතු නොවේ. වෙරළු ගෙඩිය හරි අටකට බෙදා ගෙන කන දරුවන් අනාගතයේදී මහ ගෙයි බිම් උරුමයට ඇන කොටා ගන්නා බැව් රහසක් නොවේ. දෙමව්පියන් දරුවන් හත අට දෙනෙක් පෝෂණය කළත් වයස්ගත මව්පියන් පෝෂණය කිරීමේදී දරුවන් දේපල බෙදා දීමේදී ලැබුණ පංගුව මත ඒ ගැන තීරණ ගනිති. අද වන විට මෙය ඉතාම ශෝචනීය තත්ත්වයක් බවට පත්ව තිබේ. ඒ නිසාම දරුවන් ගැන අනුකම්පාව පෙරදැරිව මව්පියන් විසින් දේපල බෙදා දුන්නත් එහිදී බුද්ධිමත් ලෙසින් තීන්දු තීරණ ගැනීම ඉතාම වැදගත් බවත් මෙහි ලා සඳහන් කිරීමට සිදු වෙනවා.
ධර්මදේශක පූජ්‍ය
අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමින්වහන්ස
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල, බදුල්ල
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️