කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් පණිවුඩයක්
තවත් හරියටම සති දෙකකින් සිංහල හා දමිළ අවුරුද්ද උදාවෙනවා. මේ වෙනකොටත් බොහෝ නිවාස අවුරුද්ද පිළිගන්න සූදානම් වෙමින් ඉන්නවා. ඒ නිසා නිවාසවලත් මගතොටෙත් සමස්ත සමජයෙත් වෙනදට වඩා කලබලකාරී ස්වරූපයක් නිතැතින්ම ඇතිවෙලා. මේ කලබලකාරී ස්වරූපය නිසා නිවසේදීත්, පාරේදීත් අප නොදැනුවත්වම අනතුරුවලට මුහුණදීමේ අවස්ථා වැඩිවෙලා.
ඒ නිසා අනතුරු වළක්වාගැනීම පිළිබඳවත් මොනයම්ම හේතුවක් නිසා අනතුරක් සිදුවහොත් එහි හානිය අවම කරගැනීම පිළිබඳවත් අපි කතා කරන්න සිතුවා. ඒ සදහා හොදම තැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය යැයි නවලිය තීරණය කළා…
අවුරුදු සමයේ අනතුරු ගත්තාම අපට කොටස් කිහිපයකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ අවුරුද්දට කලින් වන අනතුරු, අවුරුදු දවස්වල වන අනතුරු සහ අවුරුද්දෙට පස්සෙ වන අනතුරු ලෙසින්.මේ සියල්ලටම හේතු වෙන්නෙ ජනතාවගේ චර්යාවන්වල සිදුවන වෙනස සහ වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් ජනතාව තැන් තැන්වලට ඒකරශී වීමයි. ඒ නිසා අනතුරු ඇතිවීමත් එහි ප්‍රමාණය ඉහළ යෑමත් මේ කාලෙදි සිදුවිය හැකියි.
අවුරුද්දට කලින් සතියක දෙකක කාලයක් පුරා පාරේ වාහන වැඩි වීමත්, ජනතාව වැඩි වීමත් දැකගත හැකි වෙන්නේ ඔවුන් අවුරුද්දට අවශ්‍ය රෙදිපිළි, ආහාරපාන මිලට ගැනීමට පැමිණෙන නිසයි. ඒ අතරම මිත්‍ර සාද, ආයතනික සාද වැඩිවීම නිසාත් මේවායේදී ලබාගන්නා මත්පැන් නිසාත් මාර්ග අනතුරු වැඩි විය හැකියි.
සාප්පු සංකීර්ණවල මිනිසුන්ගේ තදබදය වැඩි වීම නිසාත් ඇතැම් අවස්ථාවල ඇතිවන ගිනිගැනීම් නිසාත් නොසිතන ආකාරයේ අනතුරු සිදුවිය හැකියි.මේ කිසිදු අවස්ථාවකදී මහජනතාව කලබල විය යුතු නොවේ. ආරක්ෂාකාරීව, වහාම ලැබෙන උපදෙස් අනුව එම ස්ථානවලින් ඉවත් වීම කළ යුතුවේ. එසේ ඉවත් වීම කළ යුත්තේ පොළොව මට්ටමට සමීපව, සමාන්තරවයි. එවිට විෂ වායූ ආග්‍රහණය අවම වේ.
විශේෂයෙන්ම අවුරුදු දවස්වල ගිනිකෙළි භාවිත කරනවිට ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් වන අතර පහුගිය අවුරුදු දෙක තුන තුළ ගිනිකෙළි භාවිතයෙන් සිදුවූ අනතුරු නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරූ රෝගීන්ගේ සංඛ්‍යාව අවම විය. එයට හේතු වුණේ වැඩිහිටියන් හෝ දරුවන් ගිනිකෙළි භාවිත නොකර සිටීම නොවන අතර එහි පූර්ණ ගෞරවය මාධ්‍ය ඔස්සෙ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට හිමිවිය යුතුයි.
කුඩා දරුවන්ට ගිනිකෙළි ලබාදෙන විට වැඩිහිටි අධීක්ෂණ යටතේ ලබාදීම හෝ හැකිතාක් දුරට එවැනි දේවල්වලින් දරුවන් ඈත් කර තබන ලෙස අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා.අවුරුද්දෙන් පසුව පවත්වන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, ක්‍රිකට් තරගවලදී මහජන ආරක්ෂාව ගැන සැළකිලිමත් වීමත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිමත් වැදගත් වෙනවා. ඒ සදහා ප්‍රදේශයේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් පාලන ආයතනවල සහයෝගයත් ලබාගත් විට ඇතිවිය හැකි අනතුරු අවම කරගත හැකියි.
විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේ සතුටුවීම්, සැමරීම්, සංස්කෘතික කාරණා මතක් කරගැනීම කළ යුතු බැවින් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වන අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනතුරු වළක්වා ගැනීම පිළිබඳව අවදානය යොමු කරමින් උත්සව සමය සතුටින් ගතකරන ලෙසයි.
උත්සව කාලයේදී සිදුවන අනතුරු පවා අපට කොටස් දෙකකට බෙදා හඳුනගන්න පුළුවන්.
- මග තොටේදී සිදුවන අනතුරු
- ගෘහස්ථව සිදුවන අනතුරු
මෙම අනතුරු වර්ග දෙකම උත්සව සමයේ සිදුවන්නේ මිනිසුන්ගේ කාර්යබහුලත්වය නිසාවෙන්. ඇතිවන කාර්යබහුලත්වය එක්ක මිනිසුන්ගේ ජීවිතවලට නැති කලබලයක් ආරෝපණය කරගන්නවා. විශේෂයෙන්ම බඩුමුට්ටු මිලට ගැනීම්, ගමන්බිමන් යෑම් වගේ දේවල්වලදී පවා වෙනදට නැති කලබලයකින් ජනතාව කරන්න යනවා. තව එකක් තමයි මේ දවස්වල තියෙන අධික රස්නේ දේශගුණයත් මේ කලබලකාරී මිනිස් හැසිරීමට බලපාන්න පුළුවන්. අනෙක තමයි ජනතාවගේ අතේ වෙනදට වඩා සල්ලි ගැවසීම නිසා ඇතිවන අවශ්යාවන් වැඩිවීමත් මේ සඳහා බලපානවා.
උත්සව සමයේ පොදු ප්‍රවාහන සේවාවල එල්ලිලා යන්න එපා
ලංකාවේ බොහෝ ආයතනවල අප්‍රේල් හතර, පහ හෝ දහය වෙනකොට අවුරුදු නිවාඩුව ලබාදෙනවා. එවිට තදාසන්න නගරවල ජීවත් වන බොහෝ ජනතාව සිංහල අවුරුදු සමරන්න තමන්ගේ ගම්බිම් බලා යනවා. විශේෂයෙන් මෙහිදී ඔවුන් තමන්ට පෞද්ගලික වාහනයක් නොමැති නම් භාවිත කරන්නෙ පොදු ප්‍රවාහන සේවාවන්. පැය 03 ක 04 ක ගමනක් සදහා සීට් එකක් ලබාගන්න ඉතාම කලබලයෙන් මගීන් පොදු ප්‍රවාහන සේවාවලට නගිනවා අපි දැකලා තියෙනවා. මෙවැනි අවස්ථාවලදී තමයි අතපය කැඩිලා එහෙමත් නැත්නම් ජීවිත හානිවන අනතුරු සිදුවන්නේ. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා පැය දෙක තුනක පහසුව ගැන නොසිතා තමන්ගේ ජීවිතය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න කියලා. විශේෂයෙන්ම දුම්රියේ එල්ලිලා යන්න එපා.
බීමත්ව රිය පදවන්න එපා
අප්‍රේල් අවුරුදු නිවාඩුව ළං වන විට ආයතනවල විවිධ අන්දමේ සාද පවත්වනවා. බොහෝ පිරිස් මේ සාද අතරතුර මත්පැන් පානය කරනවා. විනෝද වීම නතර කරන්න කියලා අපි කියන්නේ නැහැ. නමුත් තමන්ගේ පමණ දැනගෙන විනෝද වෙන්න.විශේෂයෙන්ම බීමත්ව රිය අතට ගන්න එපා. බොහෝ විට බීමත්කමින් රිය පදවන අවස්ථාවක එය ඔබ විතරක් නෙවෙයි මාර්ගයේ ගමන් කරන අන් අය පවා අනතුරකට ලක්වන්න තියෙන ඉඩකට වැඩියි. අනෙක් කාරණය තමයි මේ දවස්වල පාසල් නිවාඩුව ආරම්භ වන නිසා දරුවෝ පාරේ ක්‍රීඩා කරනවා. වෙනදට වඩා ඔවුන් පාරවල්වල ගැවසෙනවා. මේ නිසා ඔබේ ආරක්ෂාවටයි පාරේ සිටින ජනතාවගේ ආරක්ෂාවටයි මත්පැන් පානය කරමින් රිය පදවන්න එපා.
තමන්ගේ වාහනයක වුණත් උපරිමයට වඩා ගෙනියන්න එපා
මෝටර් සයිකලයක වුණත්, මෝටර් රථයක වුණත්, බසයක හෝ දුම්රියක වුණත් වරකට ගෙනියන්න පුළුවන් උපරිම මගීන් සංඛ්‍යාවක් තියෙනවා. ඊට වඩා රථයට නගින එකයි ඊට වඩා රැගෙන යන එකයි දෙකම අනතුරු ඇතිවෙන්න ප්‍රධාන හේතුවක්. සමහර වෙලාවට මගීන් තෙරපීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්නත් පුළුවන්. නැතිනම් ඇතුළත ඇතිවන පීඩනය නිසා තුවාල සිදුවෙන්නත් පුළුවන්.උත්සව නිවාඩුවලදී ලංකාවේ බොහෝ අවස්ථාවල පාපුවරුවේ ගමන් කිරීම, එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන සේවාවල වහලේ ගමන් කිරීම මගින් අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩියි. ඊට වඩා හොඳයි ටික වෙලාවක් ප්‍රමාදවෙලා හෝ ආරක්ෂාකාරීව තමන්ගේ ගමන යන එක.
නිදිමතේ රිය පදවන්නත් එපා
පිටරටකදි රිය අනතුරක් වුණොත් ඊට අදාළ රියදුරා මොනතරම් කාලයක් වැඩ කරාද නැද්ද කියල සොයා බලනවා. එවැනි අයෙකුට ඉන්ෂුවරන්ස් ලැබෙන එක පවා අත්හිටුවනවා. උත්සව සමයේ එක දිගට වැඩ කරලා හොද නින්දක් නොලබා ඊළඟ දවස ඉතුරු කරගන්න හිතාගෙන නිදිමතේ වාහනය පදවන්න එපා. වාහනය පදවාගෙන යනකොට නිදිමතක් දැනෙනවා නම් රථය පසකට කරලා නවත්තලා ටිකක් ඉඳලා නිදිමත නැති වුණාම නැවත රිය පැදවීමෙන් අනතුරු බොහොමයක් වළක්වා ගන්න පුළුවන්.
මගතොටේදී හෝ නිවසේදී සිදුවන හදිසි අනතුරකදී ඔබ කළ යුත්තේ කුමක්ද?
හදිසි අනතුරක් සිදු වූ විට මුලින්ම කළ යුත්තේ ඒ පුද්ගලයා හෝ එම පිරිස ආරක්ෂාකාරී තැනකට රැගෙන යෑමයි. උදව් කරන්නට යන පුද්ගලයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්විමත් වැදගත්.
දෙවනුව කළ යුත්තේ රුධිර වහනයක් සිදුවනවා නම් එය නවතා ගැනීමයි. ඒ සඳහා රැධිර වහනය වන තුවාලය මතට පීඩනයක් යෙදීමෙන් රුධිර වහනය වළක්වා ගත හැකි වේ. ඒ සඳහා Ternikey එකක් යෙදීම හෝ රැධිර වහනය වන තුවාලයට උඩින් පටියක් බැදීම කළ හැකියි.
අතක රුධිර වහනය සිදුවෙනවා නම් අත උස්සා තැබීමට උරමාවක් භාවිත කළ හැකියි. අස්ථි බිඳීමකට ලක්වී තිබෙනවා නම් එම අස්ථිය ඇදවීම වළක්වා ගැනීම සඳහා කෙලින් කර බැඳ ප්‍රවාහනය කිරීම කළ යුතුයි. අධික රුධිර වහනයක් සිදුවන අවස්ථාවක විනාඩි තුනක් හතරක් ඇතුළත ජීවිතය නැතිවීමට පවා ඉඩ තිබේ.
ඉක්මණින්ම කළ යුත්තේ රෝගියා පරෙස්සමෙන් ළඟම රෝහලට (මූලික රෝහලකට හෝ ජාතික රෝහලට) ප්‍රවාහනය කිරීමයි.
අනතුරකට මුහුණ දුන් ඕනෑම අවස්ථාවකදී රෝගියාගේ පිටත රුධිර වහනයක් නොතිබුණද ඇතුළත අක්මාව, ප්ලීහාව, ආමාශය වැනි ඉන්ද්‍රියන්වල හානී සිදුවිය හැකි බැවින් රෝගියා රෝහලට ගෙනගොස් අභ්‍යන්තර රුධිර වහනයක් හෝ බාහිර රුධිරවාහනයක් තිබේදැයි පරික්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වේ.
හරින්දී ලියනගේ ✍️