වතුර කියන දේ බොහෝ ආකාරවලින් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙනවා. බොන්න, පිරිසිදු වෙන්න විතරක් නෙවෙයි රූපලාවන්‍ය සත්කාර වෙනුවෙනුත් ජලය යොදාගන්නා අවස්ථා තියෙනවා. එහෙම එක් අවස්ථාවක් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් කියන්නේ. කිසිම වියදමක් නැතුව මුහුණට කරන්න පුළුවන් ඉතාම සාර්ථක සත්කාරයක් විදිහට මේ අයිස් කියුබ් සත්කාරය හඳුන්වන්න පුළුවන්. කුරුලෑ වගේම බ්ලීචින් ආසාදන, ඇස් යට කළු වීම් වගේ දේවලට අයිස් කියුබ් හොඳ විසඳුමක්. අපේ මුහුණෙ තියෙන විවිධ ගැටලුවලට ගැළපෙන විදිහට අයිස් කියුබ් මසාජ් එක කරගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ.
මුලින්ම මේ විදිහට සූදානම් වෙන්න
මසාජ් එක කරගන්න කලින් අත් දෙක හොඳින් සබන් ගාලා පිරිසිදු කරගන්න ඕනේ. නැත්නම් අපේ අත්වල තියෙන විසබීජ, කුණු, දූවිලි අයිස් කියුබ් එකත් එක්ක අපේ මූණේ ගෑවුණොත් පිම්පල්ස් එන්න පුළුවන්. ඊටපස්සේ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා මූණත් හොඳට පිරිසිදු කරගෙන තමයි අපි මසාජ් එකට ලෑස්ති වෙන්න ඕනේ.
සාමාන්‍ය අයිස් කියුබ් මසාජ් එක
අයිස් කැට කිහිපයක් පිරිසිදු භාජනයකට දාගෙන කැට එකින් එක අරගෙන මුහුණේ රවුම් ආකාරයට පිරිමැදගනිමින් මසාජ් කරගන්න. එකපාරටම අයිස් කියුබ් එක මූණට සීතල වැඩියි වගේ නම් අයිස් කියුබ් එක පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් ඔතලා මසාජ් කරගන්නත් පුළුවන්. නමුත් හරිම ක්‍රමය රෙදි කෑල්ලක ඔතන්නෙ නැතුව කෙලින්ම අයිස් කැටේ මූනේ පිරිමැදගන්න එක.
මූණ මෙහෙම මසාජ් කරගෙන යද්දි ටික වෙලාවකින් මූණ ටිකක් රතු වෙයි. එහෙම වෙන්නේ අයිස් සීතලත් එක්ක මූණේ රුධිර ගමනාගමනය වැඩි වුණාම. මේ මසාජ් එක සතියට හතර වතාවක් විනාඩි පහක්, හයක් කරන්න. ඒත් එකම තැන තප්පර පහකට වඩා මසාජ් කරන්න එපා. බ්ලීචින් ආසාධනයක් තියෙන කෙනෙක්ට කෝමාරිකා, පිපිඤ්ඤා යුෂ අයිස් කියුබ් හොඳින්ම ප්‍රතිඵලදායකයි.
පැහැපත් සමකට කොහොඹ, කහ අයිස් කියුබ්
මේ ට්‍රීට්මන්ට් එකට උවමනා අයිස් කැට හදාගන්න ඕනේ අමු කහ සහ පිරිසිදු කරගත් තෙත රහිත කොහොඹ කොළ කිහිපයක් විතරයි.ඉති හයක විතර කොහොඹ කොළ සහ අමු කහ කැබලි දෙකක් විතර බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් වෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මේ සේරම හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අයිස් කියුබ් එකට මිශ්‍රණය දාලා අයිස් වෙන්න දෙන්න.
ඇස් යට කළු වෙනවනම් ග්‍රීන් ටී අයිස් කියුබ්
සතියක කාලයකින් මූණ සුදු කරගන්න පුළුවන් අයිස් කියුබ් සත්කාරයක් තමයි ග්‍රීන් ටී අයිස් කියුබ් කියන්නේ. ඇස් යට කළු වීමට, මුහුණේ රැළි වැටීමට, අඳුරු ලප කැළැල් ඉවත් කරගන්න ග්‍රීන් ටී අයිස් කියුබ් ප්‍රයෝජනවත් වෙනවා. මේකට ඕන වෙන්නේ ග්‍රීන් ටී බෑග් තුනක් විතරයි. වීදුරුවකට ග්‍රීන් ටී බෑග් තුන දාලා හොඳින් ඉතිරූ උණු වතුර එකතුකර පැය භාගයක් පමණ තැම්බෙන්නට හරින්න.
නිවුනට පස්සේ අයිස් ට්‍රේ එකට වක් කරගෙන අයිස් වෙන්නට හරින්න. ග්‍රීන් ටී අයිස් කියුබ් මසාජ් එක නම් දවසට දෙපාරක් කරන්න පුළුවන් නම් ගොඩක් ප්‍රතිඵලදායකයි. මතක තියාගන්න මේ මසාජ් එක කරන්න කලින් ඔයාගේ මූණ හොඳින් පිරිසිදු කරගන්නම ඕනේ. විනාඩි තුනකට වඩා කරන එකත් එච්චර ගුණදායක නෑ.
නින්දට කලින් තක්කාලි අයිස් කියුබ්
තක්කාලි හොඳ කන්න විතරක්ම නෙවේ. මුහුණටත් ඉතාම ගුණදායක පලතුරක්. සම සිනිදු කරන්න වගේම සම ගැඹුරින් පිරිසිදු කරන්න, හිරු රශ්මිය නිසා ඇති වූ ලප කැළැල් මකල දාන්න වගේම තව ගොඩක් දේවල්වලට තක්කාලි කියන්නේ හොඳම විසඳුමක්. මේ දේවල්වලට අමතරව වයස්ගත වීම පාලනය කිරීමට උදව් වෙන විටමින් ක් තක්කාලි වල බහුලව අඩංගු වෙනවා.
හොඳින් ඉඳුනු තක්කාලි ගෙඩි දෙකක් පමණ පොතු ඉවත් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. අයිස් ට්‍රේ එකට තක්කාලි යුෂ දමා අයිස් වෙන්න හරින්න. මේ විදිහට අයිස් කියුබ් සත්කාරය සතියට හතරපස් වතාවක් කළොත් ඔයාට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
රූපලාවන්‍ය උපදේශිකා
යුෂාන්තිකා ද සිල්වා
එරංදි කෞශල්‍යා ✍️