අතීතයේ අපේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව අවුරුදු මාලයේ දක්වා ඇති පද්‍ය මගින්ද ප්‍රකට වන්නේ සිංහල අලුත් අවුරුද්ද සහ සුර්යයාගේ රාශි චක්‍රයේ ගමනත් අතර වූ සහසම්බන්ධතාවයයි.
බක් මහ ලත් මේසය යන රැසටා
සක් රජ ලෙස දිවසළු හැඳ තොසටා
සෙත් ආසිරි සලසා සව් සතටා
නික්මෙයි සුරිය දෙව් මේ ලෙසටා
ජ්‍යොතිෂයට අනුව වසරකට දින 365 ක් ඇති අතර එය මාස දොළහකට බෙදනු ලබයි. එක් රාශියක සුර්යයා මසක් ගත කොට ඊළඟ මාසයට ගමන් කරන අතර රාශි දොළහේ මුල්ම රාශිය මේෂ රාශියයි. අවසාන රාශිය මීනයි. සුර්යයා මීන රාශියෙන් මේෂයට මාරු වෙන අවස්ථාව සංක්රාන්තියයි.
රොබට් නොක්ස්ගේ සඳහනට අනුව සුර්යයා වටා ගමන් කිරීමට ගත වන කාලය වන දින 365 ක් ඇත. නියමිත ග්‍රහයන් අනුව සුර්යයා පිවිසීම අනුව අවුරුද්ද මාස දොළහට බෙදා ඇත. සිංහලයන්ගේ අවුරුද්ද ඇරඹෙන්නේ අපේ භාවිතයේ හැටියට මාර්තු 27 වන දා හෝ 28 දා දිනකය. එහෙත් ඉතා කලාතුරකින් විසි නව වැනිදා වුවද විය හැක. මෙයට හේතුව වශයෙන් මා සිතන්නේ අපේ අධික අවුරුද්ද මෙන් සුර්ය ගමනට අනුකූලව එය තබා ගැනීම සඳහා එය කරන බවයි.
සිංහල රජ දවසද අලුත් අවුරුදු චාරිත්‍ර වෙනුවෙන් නැකැත් පිළියෙල කළ අතර එම කටයුතු භාරව දෛවඥයෝ සිටියහ. සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා වූ ගමන අතර වූ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර වූ කාලය “සංක්‍රාන්ති කාලය” ලෙස හඳුන්වයි. එබැවින් නැකැත්කරුවන් විසින් කළ යුතු නැකත් අතරට ගැනුණේ,
- අලුත් අවුරුදු උදාවෙන දිනය සහ සුබ මොහොත.
- ඖෂධ යොදා හිස් සෝදා නෑමට නැකත.
- ආහාර අනුභවය.
- වැඩ ඇල්ලීම.
- ස්නානය
- රජතුමාට තෑගි බෝග පිළිගැන්වීම
මෙම අවස්ථාවන්ට සුබ මුහුර්තීන් අලළා නැකැත් පත්‍රයක් පිළියෙල කරනු ලැබේ.
1815 අප්‍රියෙල් 10 වන දින
‘මෙදින මඟුල් මඬුවේදී අදිකාරම්වරුන් දෙදෙනා මුණගැසුණෙමි. හෙට දින රජගෙදර පැවැත්වීමට නියමිත සිහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවයට අවශ්‍ය කටයුතු සංවිධානය කළෙමි.’රාත්‍රි නවයට නාථ දේවාලයට ගොස් එහි පැය භාගයක් ගත කළ අදිකාරම් දෙදෙනා සහ සෙසු ජනතා ප්‍රධානීහු එහි බෙහෙත් දියර පිළියෙල කරයි. එම බෙහෙත් දියර මැටි බඳුන්වල දමා පාවිච්චි කිරීම සඳහා උදෑසන මහනුවර සහ පිට පළාත්වල විහාර ස්ථානවලටද අදිකාරම්වරුන්ගේ වලවිවලටද යැවීම සිදු කෙරේ.
1815 අප්‍රියෙල් 11 වන දින
අලුත් අවුරුද්දට කලින් පිළියෙල කළ බෙහෙත් දියර කුඩා මුට්ටි දෙක බැගින් සෑම පන්සලකටම යවන ලද අතර එසේ යවන ලද්දේ ඉහළම ගරු සරු සහිත හේවිසි පෙරහැරකින්ය. උදේ බෙහෙත් මුට්ටි හයක් එවන ලදී. ඒ මුට්ටි සමග කොඳගමක් සහ වෙළුමක් විය.
සවස 6. 30 ට ඇහැලේපොල නිලමේ මඟුල් මඬුවට පැමිණියේය. ඊට පසුව අදිකාරම් දෙදෙනා සහ සෙසු ප්‍රධානීහු පැමිණියහ. සංක්‍රාන්ති වේලාව පෑතැටියෙන් සොයා බලා ප්‍රකාශ කරන ලද්දේ ගණිතයා විසින්ය. හරියටම නැකැත් වේලාවට නාථ දේවාලයේ හේවිසි නාද කළ අතර එවිටම එක් දිසාවකට දෙක බැගින් කොඩිතුවක්කු වෙඩි මුර අටක් තබන ලදී.
1815 අප්‍රේල් 12 වන දින
මෙදින අලුත් අවුරුද්ද එළැඹෙන වේලාවේ ආහාර ගත් අතර මේ දිනවල උඩරැටියෝ කිසිම ගමනක හෝ වැඩක නොයෙදිති. ආහාර අනුභව කිරීමේ නැකත් වේලාවට රජමාලිගයේ පිළියෙල කරන රසවත් ආහාරය දින භෝජමී නමින් හඳුන්වන රසවත් ආහාරයකි. රජතුමා නැකැත් වේලාවට මෙයින් කොටසක් අනුභව කොට මාලිගයට පැමිණ සිටින තමන්ගේ හිතෛෂින්ට මෙය පිළිගන්වනු ලබයි.
මෙදින රාත්රියේදී විශේෂ අවුරුදු රාජභෝජනයක් පවත්වන අතර නැකතට ආහාර ගත් සියලුදෙනාම රජතුමා සමග ආහාර භුක්ති විඳිනු ලබයි. (ගුණපාල, ඩොයිලිගේ දිනපොත :266- 267) වැඩ ඇල්ලීම වෙනුවෙන් වූ නැකැත් වේලාවට භාණ්ඩ හුවමාරු කර ගැනීමක් සිදු වේ. වැඩවසම් සමාජය භාණ්ඩ මත පදනම් වූ අතර නැකැත් අවස්ථාවටද භාණ්ඩ හුවමාරුවක් සිදුවිය.
නිලමේවරුන් සහ ඇමතිවරුන් හාල්, පොල, ධාන්‍ය සහ පලතුරු ගබඩාවට යවන ලද අතර ඔවුන්ට තමා රජතුමාට ත්‍යාග ලෙස දුන් දෙයට වඩා වැඩි ප්‍රමාණයක් තෑගි ලෙස ලැබෙයි. සාමාන්‍ය ජනතාවටද මෙදිනට රජමාලිගාවට ඇතුළුවීමට අවසර ලැබුණි. සිංහල රජ දවස අලුත් අවුරුදු උත්සවයේ අනතුරුව අවස්ථාව වන්නේ අලුත් අවුරුද්දේ වෙනුවෙන් ස්නානය කිරීමයි.
නාථ දේවාලයෙන් ලබා ගත් ඖෂධ යුෂ මිශ්‍ර මුට්ටියක් ස්නානය කරන අතර එයින් පසු සුවඳ පැන් ස්නානය කරනු ලබයි. දිය ස්නානය හමාරවී රාජාභරණ පැළඳ ගත් රජතුමාට රාජ කන්‍යාවියන් විසින් සුබ පතනු ලබයි. රජතුමා බැහැදැකීමේ අවස්ථාව අතීත සිංහල අලුත් අවුරුද්දේ අවසාන අවස්ථාව වේ.
නියමිත වේලාවට සිංහාසනයට සැපැත් වන මහරජතුමා බැහැ දකිනු සඳහා නිලමේවරු පැමිණෙන අතර තනතුරු ධුරාවලියට අනුව රජතුමා ඔවුන් පිළිගනු ලබයි. නිලමේවරුන් තමන්ගේ තනතුරට සහ වත්කමට සමානව ත්‍යාග රැගෙන එති. මෙම රැගෙන එන ත්‍යාග රජතුමාගේ දෙපතුල මුල තබා මහරජාණන් වහන්ස ඉර හඳ හිමි කොටගෙන අහස පොළව හිමි කොට ගෙන ජීවත්වන සේක්වා. රජ්ජුරුවෝ ඉස් සෝදා නාපියා ස්වර්නාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ ගැසී සිට ගත් බල සෙනග පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති.
එම මෙහොතේ ආචාර වෙඩිමුර කීපයක් පවත්වනු ලැබේ. රට සහ දිශා වශයෙන් අලුත් අවුරුදු පෙනුම් සඳහා ගෙනෙන ද්‍රව්‍ය අතර රත්රන් ආභරණ, ලෝහමය තැටි, අවි ආයුධ පිහියා සහ වස්ත්‍රාදිය වෙයි. මහරජුට පරිත්‍යාග කිරීමට මෙබඳු වස්තුව නැති තැනැත්තෝ ඒ වෙනුවට මුදල් ප්‍රධානය කරති.
ගිහි සමාජය අතර පමණක් නොව සංඝ සමාජය අතරද අවුරුදු චාරිත්‍ර අතීතයේ පටන්ම අවිච්ජින්නව පැවතේ. සංඝ සමාජයේ (පියදස්සි හිමි මහනුවර සැඟවුණ තොරතුරු:පි.103) අවුරුදු සිරිත් අතර අලුත් අවුරුද්ද සඳහා සඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය පුණ්‍ය කාලය තුළ දැහැත් පිළිගැන්වීම වේ.
අස්ගිරි මල්වතු විහාර මුල් කරගත් චිරාගත අවුරුදු සම්ප්‍රදායන් මෙසේය.ගරුතර මහා සංඝයා වහන්සේලා විසින් මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැක දැහැත් පිළිගන්වා වැරදි සමා කර ගැනීමට වේලාවක් නියම කර ගනිති. මෙම වේලාවට සියළුම ස්වාමින් වහන්සේලා අනුනායක හිමියන් පෙරටු කොටගෙන ආරාමයට වැඩම කරති.
දැහැත් පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අපරාධං ඛමථ මේ භන්තේ යන වැකිය කියත්ම මහා නායක හිමියන් ඛමාමි ආවුසෝ ඛමිතබ්බං වැකිය පවසති. වැඳ නමස්කාර කරන භික්ෂුන් වහන්සේලා ඕකාස ඛමාමි භන්තේ යන වාක්‍යය සඳහන් කරති.
පුණ්‍ය කාලයේදී තෙරුවන් වන්දනා කරන භික්ෂුන් වහන්සේලා විහාරස්ථානයන්හි කිරි උතුරවා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරති. හිස තෙල් නැකැත් වේලාවට ඇතිරිල්ලක් එලන ලද ආසනයක ධාතු කරඬුවක් හෝ බුදු පිළිමවහන්සේ නමක් තැන්පත් කරනු ලබයි.
ඒ මත මල් පහන් සුවඳ දුම් පුදා එය ඉදිරිපිට වූ කනප්පුවත් මත මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් එවන ලද නානු භාජනය සහ තෙල් භාජනය තබනු ලබයි. හිසට තබන කොළ අතු කැබැල්ල එල්ලා ඇති අතර පයට තබන කොළ අත කැබැල්ල පැදුර මත කබා ඇත.
සුබ මොහොතදී මහානායක හිමියන් වහන්සේ පළමුව කොළ අතු තබා ඇති ස්ථානයට වැඩමවා සිට කරවට සහ බුදු පිළිම වහන්සේට වැඳ මලක්ගෙන සුබ දිශාව දෙස බලා තෙල් සහ නානු හිස් මුදුනෙහි ආලේප කරගෙන එතැනින් ඉවත්ව වඩිති. සෙසු භික්ෂූන් වහන්සේලාද පෙර වූ පිළිවෙළටම තෙල් සහ නානු ආලේප කර ගනිති.
සංඝ සමාජය මුල් කරගත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අවසාන වන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සිදු කරන කිරි ආහාර පුජාවෙන්ය. හිසතෙල් ගෑම අවසානයේදී වූ දින දෙකක් තුළ මෙම පුජාව සිදු වේ.
සෑම පන්සලකින්ම කිරිබත් පාත්‍රා තුන බැගින් පිළියෙල කර නියමිත දින අලුයම දළදා මාලිගාවට වඩිති. මල් පුජාවෙන් අනතුරුව එක් පාත්‍රයක් දළදා වහන්සේටත් දෙවන කිරි ආහාර පාත්‍රය පල්ලේ මාලේ පිළිම වහන්සේටත් තුන්වන කිරිබත් පාත්‍රය නාථ දේවාලයේ විහාරයෙහි පිළිම වහන්සේටත් පුජා කරනු ලබයි.
(ඩොයිලිගේ දිනපොත සහ රොබට් නොක්ස්ගේ එදා හෙළදිව ග්රන්ථ ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️