අධික උණුසුම් කාලගුණය හෘද රෝගීන්ට බලපෑමක් ඇති කරනවාද?
උණුසුම් කාලගුණ තත්ත්වයන්වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරීබව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩුවලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා.
ඉතින් ඔබ දැනටමත් යම් හෘදරෝගී තත්ත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්ත්වයක් ඇති නොවීමට නම් ඔබ සිරුර සිසිල්ව තබාගත යුතු අතර එය හොඳින් ජලය පානය කිරීමෙන් විජලන තත්ත්වය ඇතිවීම වළක්වා ගත හැකියි.
උණුසුම් කාලගුණයෙන් සිරුරට ඇතිවන බලපෑම් ගැන තව දුරටත් කතා කරමු
කාලගුණය අසාමාන්‍ය ලෙස උණුසුම් වන විට සිරුර සිසිල්ව තබා ගැනීමට අපේ සිරුරෙන් වැඩි වශයෙන් දහඩිය ගලන බව ඔබ දන්නවා. මෙසේ දහඩිය වැඩියෙන් නිපදවෙන විට සිරුරේ ඇති ජලය ප්‍රමාණය වැඩි වශයෙන් පිටවෙනවා. එසේ විජලනය වූ විට රුධිර පීඩනය තිබිය යුතු අගයට වඩා අඩු වෙනවා.
මීට අමතරව හෘද ස්පන්දනය වේගවත්වීම සිදුවිය හැකියි. මෙලෙසින් හෘද ස්පන්දනය වැඩි වන විට හෘදයාබාධයන් ඇති වීමට, හෘද ස්පන්දනය අක්‍රමවත් වීමට සහ හෘදයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇණ හිටීමට ඇති ප්‍රවණතාවය වැඩි වනවා.
නමුත් කෙනෙක් නිතර ජලය හෝ සීනි රහිත වෙනත් බීම වර්ග පානය කරමින් සිරුරේ තිබිය යුතු ජලය ප්‍රමාණය රඳවා ගන්නවා නම් බිය විය යුතු නැහැ. මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වයෙන් වැඩිපුරම පීඩාවට පත් වීමට ඉඩ ඇත්තේ වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් සහ කුඩා දරුවන්.
හොඳින් ජලය පානය කිරීමට අමතරව අපගේ හෘදය ආරක්ෂා කර ගැනීමට තවත් දේ කළ හැකිද?
ඉතා උණුසුම් දිනවල එළිමහනේ ගැවසීම හැකි තරම් අඩු කිරීම. එළිමහනේ සිටීම ඔබගේ රැකියාවට අනුව අත්‍යවශ්‍ය දෙයක් නම් වරින් වර සෙවනක ගිමන් හැරීමත් නිතරම ජලය පානය කිරීමත් කළ යුතුයි. (ජලය පානය කිරීමට ඔබට තිබහ දැනෙන තුරු ඉන්න එපා. විනාඩි 20 කට 30 කට වරක් මතක තබාගෙන ජලය පානය කරන්න. එක් වරකට ජලය ලොකු වීදුරුවක් වත් පානය කළ යුතුයි.)
උදේ 10 ත් හවස 3 ත් අතර කාලයේ එළිමහනේ සිටීම හැකි තරම් මග හරින්න.
ජලය වැඩි වශයෙන් අඩංගු ආහාර, එළවළු, පලතුරු ආහාරයට ගැනීම.
සෝඩා වර්ග, පැණි බීම, මත්පැන් පානය නොකර සිටීමත් ඉතා වැදගත්. මන්දයත් ඒ නිසා සිරුරට ජලය අවශෝෂණය වීමේ ක්‍රියාවලියට බාධා ඇති විය හැකි නිසයි.
සම ආරක්ෂා කරගැනීමට හැකි වන පරිදි ඇඳුම් ඇඳීමත් හිස් වැසුම් පැළඳීමත් ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීමත් ඔබට කළ හැකි තවත් කාර්යයක්.
ඉතා අධික උණුසුමක් ඇතිවිට නිවසේ සිටී නම් නිවසේ ඇති සිසිල්ම ස්ථානයේ වැඩි වශයෙන් රැඳෙන්න.
ඉර අව්ව වැඩි පුර නිවස ඇතුළට ඒම වැළැක්වීමට පියවර ගන්න.
දිවා කාලයේ දැඩි ලෙස සිරුර වෙහෙසවන ව්‍යායාම කිරීමෙන් වළකින්න.
ඔබට කරකැවිල්ල, පපුවේ වේදනාවන් වැනි අපහසුතාවයන් දැනෙනවා නම් හැකි ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.
දැඩි උණුසුම නිසා තාප ආඝාත (heat stroke) තත්ත්වයට පත් වුවහොත් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
තාප ආඝාත තත්ත්වයේ ලක්ෂණ
අසාමාන්‍ය ලෙස දහදිය දැමීම.
සම සීතල වීම, තෙත සහිත සහ ඇලෙන සුලු වීම.
කරකැවිල්ල සහ ක්ලාන්ත ගතිය.
දෙපා ඉදිමීම.
මස්පිඬු පෙරලීම.
හුස්ම ගැනීමට අපහසුවීම.
ඔක්කාරය හෝ වමනය ඇතිවීම.
අධික රුධිර පීඩනය (High blood pressure ) සහ හෘද අකර්මණ්‍ය (Heart failure) වැනි රෝග තත්ත්වයන්ට ඖෂධ ලබා ගන්නා රෝගීන් අධික රස්නය ඇති දිනවල විශේෂයෙන් පරෙස්සම් විය යුතුයි.
එයට හේතුව එවැනි රෝග තත්ත්වයන්ට ලබා දෙන, මුත්‍රා වැඩිපුර පිටවීම සිදු කරන ඩයියුරෙටික්ස් ( Diuretics) නම් වූ කාණ්ඩයට අයත් වන Furosemide,HCT, Indapamide වැනි ඖෂධ ඔවුන්ට ලබා දෙන නිසයි.
මේ නිසා ඔවුන් හට විජලන තත්ත්වය ඇතිවීම. අධික උණුසුම් කාලගුණය නිසා අපගේ එදිනෙදා වැඩ කටයුතු නොකර සිටීමට බැහැ. නමුත් එයින් හදවතටත් පොදුවේ සිරුරටත් විය හැකි හානි පිළිබඳ හොඳින් දැනගෙන එම හානිකර තත්ත්වයන් මගහැර ගැනීමට කටයුතු කළ හැකියි.
යමුනා සරෝජනී ගුණවර්ධන ✍️