උඹ උඹම වෙයන්... ඉන්න අය ඉඳී... යන අය යයි...
තමන් තමන්ම වෙන්නනම් තමන්ට අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම හැම මනුස්සයෙක්ටම තමන්ට ආවේණික අනන්‍යතාවයක් තියෙනවා. නිවුන්නු දෙන්නෙක් වුණත් පෙනුම එකම වගේ වුණාට වෙනස්කම් තියෙනවා. එකිනෙකාට මානසික ස්වභාවයනුත් වෙනස්. පුද්ගලයෙක්ගෙ අනන්‍යතාවය ගොඩනැගෙන්නෙ නව යොවුන් වියේදි. නව යොවුන් විය කියන්නෙ ළමා වියත් නෙවේ, වැඩිහිටි වියත් නෙවේ.
ඒ දෙක අතර තියෙන අවදියක්. මේ අවදියෙදි ගොඩක් දරුවො උත්සාහ කරනවා තමන් කැමති යම් ගායකයෙක්, නළුවෙක්, නිළියක් වගේ තමන්ගෙ අනන්‍යතාවයත් හදාගන්න. නමුත් දරුවා ජීවත් වෙන සමාජයේ දරුවට හැඩගැහෙන්න හොඳ Role modle එකක් එහෙමත් නැත්නම් හරි අනුකරණයක් ලැබුණෙ නැත්නම් වැරදිවලට පෙළඹිලා නාස්ති වෙන්න තියෙන අවස්ථාව වැඩියි. එහෙම නාස්ති වුණ කෙනා වැඩිහිටියෙක් වුණාම අහිතකර අනන්‍යතාවයක් තමයි ගොඩනැගෙන්නෙ.
අද කාලෙ ඉන්න ළමයි ගොඩක් සමාජගත වෙනවා අඩුයි. උදේට නැගිට්ටා, ඉස්කෝලෙ ගියා, ටියුෂන් ගියා, ගෙදර ආවා, වීඩියෝ ගේම් එකක් ප්ලේ කළා, කෑවා, නිදාගත්තා. එක්කො හැමදේම කරලා දෙන අම්මා මතම තමයි යැපෙන්නෙ. එතකොට වෙන්නෙ දරුවා තමන්ම වෙනවට වඩා කවුරු මත හෝ යැපෙන්න උත්සාහ කරන එක. එහෙම අයට තමන්ගෙ හැකියාවන්, දුර්වලතා අඳුරගන්න විදිහක් නෑ.
මේ විදිහට සමාජය ඇතුළේ පැලවෙන්න බැරි වුණාම තමයි තව කෙනෙක් නිසා වෙනස් වෙන්න උත්සාහ කරන චරිත බිහිවෙන්නෙ. උදාහරණයක් විදිහට ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ට ඕන විදිහට ඕනවටත් වඩා හැඩගැහෙන්න උත්සාහ කරනවා. නමුත් එතන ඉන්නෙ තමුන් නෙවෙයි.
හැබැයි තමන්ට එතන රැඳෙන්න ඕන නිසා ඕනවට වැඩිය තමන්ව වෙනස් කරගන්න උත්සාහ කරනවා. හැබැයි මේක කරන්න පුළුවන් වෙන්නෙ ටික දවසයි. ඊටපස්සෙ මොනයම් හෝ හේතුවක් මත අර සම්බන්ධෙ නැති වුණාම මොකද වෙන්නෙ? වෙනස් වෙන්න උත්සාහ කරපු පුද්ගලයා කිසිම අනන්‍යතාවයක්, හැඩයක් නැති පුද්ගලයෙක් බවට පත්වෙනවා. සමහරවිට මානසික රෝගියෙක් වෙනවා. එක්කො සියදිවි නසාගන්න තත්ත්වෙට පත්වෙනවා. ඒ නිසා තමන් වැරැද්දක් කරන්නෙ නැත්නම් අනිත් අයගේ හිත සුව පිණිස වෙනස් වෙන්න යන්න එපා.
ඔය ප්‍රශ්නෙ තියෙන්නේ සාමාන්‍ය ජීවිතවල විතරක් නෙවේ. සමහර කාර්යාලවල ප්‍රධානියොත් ඉන්නවා තනතුරේ බලයෙන් හැම සේවකයම පාලනය කරන්න හදන. තමන්ට ඕන විදිහට හැම සේවකයම වෙනස් කරගන්න යනවා. ඕන එකයි එපා එකයි හැම එකම පාලනය කරන්න යනවා. දැන් කාලෙ තනතුරුවලට එන ගොඩක් මිනිස්සුන්ට ඒ පිළිබඳව හොඳ පුහුණුවක් නෑ.
එක්කො මොකක්හරි පේපර් කොලිෆිකේෂන් එකකින් හෝ පන්දමකින් එන්නෙ. නායකත්වය කියන දේ හැමෝටම පිහිටන්නෙ නෑ. ගොඩක් සේවකයන්ට රස්සාවල් එපාවෙන්න මේක හේතුවක්. ගොඩක් අය රස්සාවල් දාලා යන්නෙ තමන්ට හැකියාවක් නැති නිසා නෙවේ. වැඩ කරන තැන වැඩක් කරගන්න පුළුවන් වටපිටාවක් නැති නිසා. මේක හරි කෙනාට පිහිටියොත් හරි. නැත්නම් වඳුරට දැලි පිහිය අහුවුණා වගේ තමයි.
අපිට මේ ලෝකෙ හැමෝවම සතුටු කරන්න බෑ. ඒ නිසා තමන්ටත් තමන්ගෙ වටේ ඉන්න අයටත් හානිදායක නොවෙන විදිහට තමන්ට ඕන විදිහට තමන් ඉන්න. තමන් ගාව රැඳෙන්න ඕන පිරිස රැඳේවි. අනවශ්‍ය අය මැගහැරිලා යාවි. බැරිවෙලාවත් ඔයා උත්සාහ කළොත් මේ හැමෝටම හැඩගැහිලා හැමෝගෙම හිත හැදෙන විදහට ඉන්න, කවදාවත් තමන්ට සතුටක් ලැබෙන්නෙ නෑ. හැමෝවම සතුටු කරන්න උත්සාහ කරන කෙනා හැමදාම ඉන්නෙ දුකින් කියලා කතාවක් තියෙනවනෙ. රටේ ජනගහනය කෝටි දෙකහමාරක්නම් එයින් දහයක් හෝ ඔයා ගාව රැඳේවි. ඒ ගැන සෑහීමට පත්වෙලා සතුටු වෙන්න.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️