මල් කියන්නේ බොහොම සුන්දර දෙයක්. ආගමික කටයුතුවලට, උත්සව අවස්ථාවන් විසිතුරු කරන්න මලින් වටිනාකමක් ලැබුණත් ව්‍යාපාරයක් විදිහට නම් මල් කෙල්ලන්ගෙ මල් කොල්ලන්ගේ කතාව ඒ තරම් සුන්දර නැහැ. ඉතින් මේ දවස්වල හැමදෙනාම කතාබහ කරන දිලීප් මධුශංඛගේ කතාවත් අපි ඔහුගෙන්ම අසා දැන ගනිමු. ඔහුට තවම වයස අවුරුදු 17 යි. කොටින්ම ඉන්නෙ පාසල් යන වයසක.
ඉතින් ඔබ ඇයි මේ තරම් ඉක්මනින්ම ව්‍යාපාරයකට යොමු වුණේ?
අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. තාත්තා එළවළු විකිනීමෙන් අපව ජීවත් කළා. හදිසියේම තාත්තාගේ ඇස් පෙනීම නැති වුණා. ඒ වනවිට අක්කලා දෙන්නයි මමයි අපි තුන්දෙනාම ජීවත් කරන්න තාත්තාට සිදු වෙලා තිබුණා. ඉතින් මම පාසල් ගමන අතහැරලා මල් විකුණන්න පාරට බැස්සා. ලොකු අක්කා විවාහ වෙලා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචියි.
ඔබ ඉගෙනගත්තෙ?
මම පලාගොල්ල පාසලේ 10 වසරට ඉගෙනගත්තා. ඒ කාලෙත් මම පාසල් ඇරිලා ඇවිත් හවසට මල් විකුණනවා. පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දී ඉස්කෝලෙ නොගිහින්ම මේ බිස්නස් එක කරන්න මට සිද්ධ වුණා.
මල් හොයාගන්නෙ කොහෙන්ද?
අපේ පැත්තේ මල් විකුණන ගෙවල් තියෙනවා. ඒ තැන් වලින් මල් අරගෙන කැලෑවෙන් කොළ හොයාගෙන මල් බොකේ හදලා සංචාරක බස්වලට විකුණනනවා. මලක් රුපියල් 200-300 අතර වෙනවා. මල් කළඹක් නම් රුපියල් 3500 ක් විතර වෙනවා.
අලෙවි නොවුණොත්…
ඔව් එහෙමත් වෙනවා. අපි හයිඩේරන්ජා, ඩේලියා වගේ මල් අරගෙන මේ බොකේ සකස් කරනවා. දවසකට වඩා සමහර මල් තියා ගන්න බැහැ. එහෙම වුණාම විසි කරන්න වෙනවා. මාසයකට මල් පන්දාහක් පමණ විසි කරන්න වෙනවා.
මල් විකුණන අපි කණ්ඩායමක්ම ඉන්නවා. මුලින් මම නුවරඑළිය, ගම්පල පාරේ මල් විකුණන්න පටන්ගත්තෙ. දැන් මහනුවර – නුවරඑළිය පාරේ කොණ්ඩගල තමයි මම ඉන්නෙ. කිලෝමීටර් 4 ක් දුරක අපි ඉහළ පහළ දුව දුවා මල් විකුණනවා. හැබැයි අපි අතර සහයෝගය හොඳින්ම තිබෙනවා. කිසිම තරඟයක් නැහැ.
දුවන තරමට තමයි ආදායම නේද?
නැහැ. සමහර බස් පිටුපස්සේ අපි දිව්වාට ඒවා නවත්වන්නේ නැහැ. සමහර බස් නවත්තලා මල් ගන්නවා. ඒ විදිහට තමයි වෙන්නෙ. අපි මේ බස් පිටුපස්සේ දවසට කිලෝමීටර් 150 ක් 200 ක් විතර උඩට පහළට දුවනවා. දවස ඒ විදිහට ගෙවනවා.
“අපේ බස් එක වංගුවෙන් හරවන විටම ඔහු අත වන වනා අපේ බස් එක පස්සෙන් හඹා ආවා. මේ විදිහට මල් විකුණන අය අපේ බස් පිටුපසින් දුවගෙන එනවා. ඒක සාමාන්‍ය සිදුවීමක්. අපි බස් නතර නොකළම ඔවුන් නවතිනවා. ඒත් ඔහු නැවතුණේ නැහැ.”
මේ දිලීප් ගැන චීන සංචාරකයෙකුගේ සටහනක්.
ඉතින් ඔබේ ජීවිතයට පරිවර්තනයක් වුණ ඒ සිදු වීම ගැන කතා කරමුකො
සංචාරක බස් එකක් පසුපස මම දුවගෙන ගියා. ඒ බස් එකේ හිටියේ චීන සහ තායිලන්ත ජාතික සංචාරකයන්. අන්තිමේදී ඒ බස් එක නැවැත්තුවා. ඔවුන් මගෙන් මල් ගත්තා. මාව වීඩියෝ කරගෙන ගියා. එතැනින් නැවතුනේ නැහැ. කොටින්ම කිව්වොත් පටන් ගත්තේ එතැනින් කිව්වොත් හරි. චීනයේ මේ වීඩියෝව ප්‍රචාරය වුණාම කෝටි 13 ක් මේක බලලා කමෙන්ට් දාලා තිබුණා. ඊටපස්සේ චීන ජාතිකයෙක් අපේ රටේ මහත්මයෙකුට කතා කරලා මං ගැන හොයලා දෙන්න කිව්වා. ඒ චීන ජාතික මහත්මයා අපේ ගෙදරත් ආවා.
දැන් නිතරම චීන ජාතිකයන් ඔබේ නිවසට එනවද?
ඔව්. දැනට ලංකාවේ සංචාරයේ යෙදෙන විදේශිකයන් මේ වීඩියෝව අරගෙන ඇවිත් මගෙන්ම අහනවා මේ ඔයා නේද කියලා. චීනයේ ගොඩක් අය කමෙන්ට් දාලා තියෙනවා සංචාරයක් වෙනුවෙන් ලංකාව තෝරගෙන මාව බලන්න නුවරඑළියට එනවා කියලා.
ඔබ රටට ඩොලර් ගෙනෙන තැනටත් පත් වෙලා. විශේෂත්වය මොකක්ද?
මම එදා බස් එක පිටුපස්සේ නවතින්නේ නැතුවම දිව්වානේ. ඉතින් මගේ ධෛර්ය ගැන එයාලට පුදුමයි.
බලාගෙන ගියාම ඔබ චීනයට දැකුම්කළු තරුණයෙක්…
මට හැමෝම ආදරයට කියන්නෙත් ‘කළු’ කියලා. මාව නමින් දන්නෙත් නැති තරම්. ගමේ හැමෝම මට ආදරෙයි. මල් විකුණන අයත් මට ආදරෙයි. අපේ තාත්තා ඉස්සර පාරේ එළවළු විකුණපු නිසා හැමදෙනෙක්ම මාව දන්නවා. මට හැමදෙනාම ලොකු ශක්තියක් වුණා.
චීන සටහන් අතර මේ විදිහට කියනවා. දියුණු වීමට දුප්පත්කම බලපාන්නේ නැහැ. මහන්සි වී වැඩ කරන අය සුන්දරයි. මේ ගැන ඔබ මොකද කියන්නෙ?
ඇත්ත. එදා මම මහන්සිය බලලා අර බස් එක පසුපස දිව්වේ නැත්නම් අදටත් මම ප්‍රසිද්ධ චරිතයක් නොවෙයි. ඔවුන් මාව හොයාගෙන ආවේ මලක් විකුණගන්න මං ගත්ත උත්සාහය නිසා. අද ඉතින් මටත් ප්‍රසිද්ධියක් වගේම බොහෝ උදව් ලැබී තිබෙනවා.
චීන සංචාරකයන් උදව් එහෙම ලැබෙනවද?
ඔව්. අපේ නිවසට ඇවිත් අඩු පාඩු හොයලා බලනවා. මට තෑගි බෝග ගේනවා. ඔවුන් නුවරඑළියෙන් මල් පැළ මට ගෙනත් දුන්නා. ඒවා හදාගත්තාම මටම මල් තවානක් හදා ගන්න පුළුවන්.
මගේ ව්‍යාපාරය දියුණු කරගන්න මල් අලෙවියට තැනක් හදලා දෙන්න පොරොන්දු වුණා. ඒ වගේම මාව හොයාගෙන ආව චීන ජාතික මහත්මයා වෑන් රථයක් දෙන්න පොරොන්දු වුණා. ඊට අමතරව බයිසිකලයක්, ත්‍රීවිලරයක් ලබාදෙන්නත් යෝජනා වී තිබෙනවා. මම ජීවත්වන නිවස හදලා දෙන්නත් පොරොන්දු වුණා.
හදිසියේවත් චීනයට ඇවිත් පුතාට වැඩිදුර ඉගෙනගන්න ආරාධනාවක් ලැබුණොත්…
නැහැ. මම රට දාලා චීනයට යන්නෙත් නැහැ. මල් වෙළඳාම අතහරින්නෙත් නැහැ. මල් ව්‍යාපාරයෙන්ම අනාගතය ගොඩනගා ගන්නවා.
පුතාගේ ප්‍රසිද්ධිය ගැන දිලීප්ගේ පියාගේ අදහස මෙසේය..
මගේ නම ඩබ්. ජී. තිලකරත්න. වයස අවුරුදු 42 යි. මගේ ඇස් පෙනීම නැති වුණේ අවුරුදු 15 කට විතර ඉස්සර. දැන් නම් ටිකක් හොඳයි. තවම දුර පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමයි පුතා මල් විකුණන්න පාරට බැස්සෙ.
ඉතින් පුතා පවුලේ බර කරට ගත් නිසා එයම ආශිර්වාදයක් වෙන්නැති. මට දැන් හරිම සතුටුයි. මගේ පුතා ලෝකයෙම ප්‍රසිද්ධ වුණා. ඒ සතුටම මට ඇති.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️