පසුගිය කාලය පුරා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ඇසුණු කතාබහ ඒ තරම් හොඳ ඒවා නොවේ. නමුත් මේ කියන්නට යන්නේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයත් එකතු වී ගන්නට යන හොඳ තීරණයක් පිළිබඳවයි.මේ දෙගොල්ලන්ම එක්වී ඉදිරියේදී මේ රටේ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබාදෙන ආහාර වේල පෝෂණීය සහ වෙනස් ආකාරයකට ලබාදීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව අනාවරණය කරන ලද්දේ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයායි.
ඔහු අනාවරණය කරන්නේ ඉදිරියේදී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබාදෙන කෑම වේල බන්දේසියක තබා ආවරණය කළ ව්‍යංජන සමඟ රෝගීන් අතටම පත් කිරීමට ඔවුන් සූදානම් වන බවත් ඒ සඳහා අවශ්‍ය කෑම පිළියෙල කිරීමට තරු පහේ හෝටල්වල කෝකීන්ගෙන් පුහුණුවක් රෝහල්වල මුළුතැන්ගේ වැඩ කරන කෝකීන්ට ලබාදීමට සූදානම් වන බවයි. එපමණක් නොව කෑම ගෙන යන සේවකයන්ට විශේෂ ඇඳුමක් ලබාදීමත් රෝගියෙකු වෙනුවෙන් වැය කරන ප්රතිපාදනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියෙන් වැඩි කිරීමටත් ඔවුන් කටයුතු කරන බවයි. මෙහිදී කෑම වේල විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කිරීමේ සූදානමක් තිබෙන බවත් ඔහු පවසා තිබේ.
මෙම වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය ජුලි මාසයේදී මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරමින් ඉන්පසුව රට පුරාම ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තිබේ.කාලයක් ගතවී හෝ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ කෑම වේල පෝෂණයෙන් සහ ඔවුන්ට ප්‍රියමනාපව ආහාරයට ගත හැකි ලෙස ඉදිරිපත් කිරීමට ගත් තීරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයටත් සැබවින්ම ප්‍රශංසාව හිමිවිය යුතුය. මෙහි වැදගත්ම කාරණය වන්නේ රෝගීන්ගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් දායකවීමට මොවුන් තීරණය කර තිබීමය.
ආහාර යනු ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් එකක් වන අතර ආහාරවල පෝෂ්‍ය පදාර්ථවලින් ශරීර පටක වර්ධනයට, අලුත්වැඩියා කිරීමට සහ නඩත්තු කිරීමට මෙන්ම ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාවලීන් නියාමනය කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ශක්තිය සැපයීම සිදුවේ. විශේෂයෙන්ම රෝගී අවස්ථාවලදී ආහාරය පෝෂණයෙන් යුතුව ලබාදීමෙන් ඇතිවන බලපෑම තේරුම් ගෙන තිබීමම පැසසිය යුතු කාරණාවක් වන බැවින් බෙහෙත් ගෙන්වීමේ කාරණයට වූ දේ නොවී හොඳ අරමුණකින් ආරම්භ කරන වැඩසටහන වචනයේ පරිසමාප්තයෙන්ම අරමුණ කරා මෙහෙයවීමට ශක්තිය ලැබෙවායි අපේ පැතුමයි.