පසේනදි කොසොල් රජතුමා එදා දුටු සිහින බුද්ධකාලීන සමාජයට වඩා අද අප ජීවත්වන සහඝ්රයට වඩාත් ගැළපෙන බැව් බොහෝ දෙනාගේ අදහසයි. අධාර්මික දේශපාලනය නිසා සියල්ල උඩු යටිකුරුවන අන්දම ගැන අර්ථ දක්වන මෙම සිහින ගැන බුදුරජාණන්වහන්සේ ලබා දුන් අර්ථ කතනය මෙසේය.
සිහින- 1
භාග්‍යවතුන්වහන්ස… කළුපාට ගොන්නු සතර දෙනෙක් සතර දිසාවෙන් ගොන් පොරයට පැමිණෙනවා. ජනතාව ඔල්වරසන් දුන්නත් ගොන්නු සතර දෙනා ඇවිත් ඔවුනොවුන්ගේ මුහුණු බලා ගෙන සිට නැවත හැරී යනවා. මහරජතුමෙනි, මෙය අද සිදු වන්නක් නොවේ. අනාගතයේදී අධාර්මික පාලකයන් නිසා කාලගුණය වෙනස් වෙනවා. අහසේ වැහි වලාකුළු පවා වැස්ස නොදී ඉවතට යනවා.
සිහින -2
ස්වාමිනී… මම සිහිනෙන් දුටු අන්දමට මිදුලේ වියතක්, දෙකක් පමණ උස ගස්වල පවා මල් පිපී, විශාල ගෙඩි හටගෙන තිබුණා. රජතුමෙනි, අනාගත මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. කුඩා කාලයේදීම විවාහ වෙනවා. ළදරු වියේදී දරුවන් ලබා අඩු ආයුෂ ලැබ මිය යනවා. බුදුරජාණන්වහන්සේ දෙවැනි සිහිනය එසේ විස්තර කළ සේක.
සිහින -3
එදිනම උපන් වහු පැටියානේ මහ වැස්සිය කිරි බොන අන්දම මම සිහිනෙන් දුටුවා. කොසොල් රජතුමා එසේ කී විට බුදුරජාණන්වහනසේ මෙසේ එය විග්රහ කළ සේක.අනාගත දරුවන් දෙමව්පියන්ට සලකන්නේ නැහැ. තම දරුවන් ළඟ ඔවුන් දාසයන් සේ වැඩ කරනවා. එසේ වැඩ නොකළොත් දරුවන් තම දෙමව්පියන්ට සලකන්නේ නැහැ.
එදා බුදුරජාණන්වහන්සේ අර්ථය ලබා දුන් අන්දමටම අද මව්පියන්ගේ ඉරණම ශෝචනීය බැව් ප්‍රසිද්ධ රහසක් වී තිබෙනවා. දරුවන්ගේ දරුවන් රක්ෂා කිරීම මව්පියන්ගේ කාර්ය භාරය වී ඇති අතර එසේ නොහැකි වූ තැන මහළු නිවාසයන්ගේ පිහිට පතන්නට තරම් මේ බෞද්ධ රටේ දෙමව්පියන් අසරණ වී ඇත.
සිහින -4
ගැල් අදිනා ගොනුන් පේළියේ ඉදිරි රථවල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල්වල ජව සම්පන්න ගොනුන් බැඳ තිබුණා. ඉදිරියේ සිටි ගොනුන්ට ගැල් ඇදගැනීමට නොහැකි නිසා ගැල් සියල්ල නැවතී තිබුණා. භාග්‍යවතුන්වහන්ස… මේ සිහිනයේ අර්ථය දැන ගනු කැමැත්තෙමි… රජතුමෙනි, අනාගත පාලකයන් බුද්ධිමත් සහ අත්දැකීම් ඇති පුද්ගලයන්ට රාජ්‍ය පාලනයේදී තනතුරු නොදී, බාලයන්ට තනතුරු හා වගකීම් ලබා දීම නිසා පාලනය අවුල් වීමක් විය හැකියි.
මහරජ මෙය අද ඔබේ පාලනයේදී සිදු වන්නක් නොවේ. නමුත් අනාගතයේදී සිදුවන්නක් බැව් උන්වහන්සේ වදාල සේක. වර්තමාන දේශපාලන රටාවේදී මෙය අපට ආගන්තුක නැත. රාෂ්ට පාලනයේ පවතින පුද්ගල දූෂිත බව නිසාම රට අරාජික වීමට තරම් බරපතල තත්වයන් ඇති විය කොසොල් රජතුමා දුටු අතීත සිහින වර්තමාන දේශපාලන ව්‍යුහය තුළ සැබෑ වූ සිහින බවට අද අපේ රටේ පත්ව ඇත.
සිහින -5
පෙර හා පසුපස යන දෙපැත්තෙහිම හිස් දෙකක් ඇති අශ්වයා ඉදිරියෙන් හා පසුපසෙන් ආහාර ගන්නා අන්දම සිහිනෙන් දුටුවා. මහරජ, අනාගතයේදී අධාර්මික පාලකයන් නිසා නීතිය අනීතිය බවටත්, යුක්තිය අයුක්තිය බවටත් පත් වෙනවා.
නීතිඥයන් සහ විනිශ්චය කරුවන් දෙපාර්ශවයෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. එදා කොසොල් රජතුමාගේ සිහිනය අද අපේ සමාජයේදී සැබෑ වුණ සිහිනයක් බවට පත්ව අවසානය.
සිහින -6
මහළු ජරාවට පත් හිවලෙක් රන්තලියක මුත්‍රා කළා. ස්වාමිනී ඒ සිහිනය මට පහදා දෙනු මැනවැයි කළ ඉල්ලීමට අනුව බුදුන්වහන්සේ මෙසේ පිලිතුරු දුන්හ. සම්භාවනීය පුද්ගලයන් පිරිහී ගොස් ඔවුන්ගේ සම්පත් නැති වීම නිසා අයථා ක්‍රමවලින් දූ දරුවන් ධනවතුන්ට සරණ පාවා දීම සිදු වෙනවා.
සිහින -7
මිනිසෙක් අසුනකට වී සම් පටවලින් ලණුවක් අඹරමින් සිටියා. හිවල් ධේනුවක් ඒ ලණුව කමින් සිටි අන්දම සිහිනෙන් දුටු බව කී විට බුදුරජාණන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ. අනාගත මිනිසුන් කාමයේ ඇලීම නිසා අනියම් අඹුවන් සහ පිරිමින් සොයා යන පිරිස් වැඩි වෙන බැව් වදාළහ.
සිහින -8
රජ මිදුලේ කළ ගෙඩි සතරක් තිබුණා. ස්ත්රින් සහ පුරුෂයන් ඇවිත් පිරී තිබුණ කළයටම වතුර පුරවනවා මම සිහිනෙන් දුටුවා. මහරජ, අනාගත පාලකයන් රට සංවර්ධනය නොකිරීම නිසා ජනතාව දිළින්දන් බවට පත් වෙනවා.
ජනතාවට බදු බර පටවා ධනවතුන් තවත් ධනවත් වෙනවා. නිර්ධනයින් පීඩාවට පත් වෙනවා. එදා කොසොල් රජතුමා දුටු මේ සිහිනයේ අවාසනාවන්තම ප්‍රතිඵල ලබන පිරිසක් බවට පත්ව ඇත්තේ අප නොවේදැයි දැන් ඔබට සිතෙනු ඇති.
සිහින -9
දිය පිරුන පොකුණ මැද බොර වී තිබුණා. නමුත් සතුන් ඇවිත් වතුර බොනවා. දගලනවා. ඒ තැන් නිල්පාටයි. මේ සිහිනය මට පහදා දෙනු මැනව ස්වාමිනී යැයි කී විට මහරජ… අනාගත පාලකයන්ගේ අධාර්මික පාලනය නිසා රට දූෂණය වීම ගැන කළකිරුන බුද්ධිමතුන් රට හැර යනවා. සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා ඔවුන් කළකිරෙනවා. මේ ගැන තවත් විස්තර කීමට අද පට අටුවා ටීකා අවශ්‍ය නැත.
බුද්ධිගලනයේ ප්‍රතිවිපාක අපේ ඇස් ඉදිරියේම දැන් ලැබී ඇත. වෛද්‍යවරුන්ගේ හිඟයෙන් අසරණ ජනතාව පීඩාවට පත්ව අවසානය. සෙසු වෘත්තිකයන් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේ බැව් අමුතුවෙන් කිව යුතු නැත. මේ අනුව කොසොල් රජතුමා එදා සිහිනෙන් දුටුවේ අද අප මුහුණ දෙන ශෝචනීය තත්ත්වය දැයි ඔබට නොසිතෙන්නේද… ?
සිහින -10
ළිපක් මත ඉදෙන බතක පැත්තක නොපිසුන සහල් සහ තවත් පැත්තක ඉදුණ, තවත් තැනක බෙරි සහ තවත් කොටසක ඇට්ටකුනා වුණ බත් තිබුණා… මහරජ, පාලකයන් අධාර්මික වනවිට සෘතුවලට අනුව වැසි ලැබෙන්නේ නැහැ. අස්වනු බොල් වෙනවා. නියඟය නිසා අස්වනු පාළු වෙනවා. සමහ තැනක පමණක් හොඳ අස්වනු ලැබෙනවා.
සිහින -11
සුවඳ සඳුන් කොටයක් ගෙන එය පිළුණු වූ කුණු මෝරු කළයකට හුවමාරු කරනවා මම සිහිනෙන් දුටුවා… මහරජ… අනාගත ශාසනයේ බොහෝ භික්ෂුන්වහ්නසේලා ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප වෙනුවෙන් සිවුරු දරනවා. ධර්මය ලාභයට මුදලට යටත් වෙනවා. මේ සිහිනයේ අර්ථය එයයි.
සිහින -12
සැහැල්ලු ලබු කබල් දියේ ගිලෙනු දුටුවා. ස්වාමිනී එහි තේරුම දැන ගනු කැමැත්තෙමි… මහරජ, පහත් ගති ඇත්තන්ගෙන් රාජ සභාව පිරෙනවා. පූජණීය ස්ථානයන්හි පවා හිස් දේවල් රජවෙනවා.
සිහින -13
භාග්‍යවතුන්වහන්ස, විශාල ගල් ජලයේ පාවෙන බැව් මම සිහිනෙන් දුටුවා… මහරජ, අනාගත පාලකයන් ප්රජාවගේවත්, බුද්ධිමතුන්ගේවත්, පූජ්‍ය පක්ෂයේවත් අදහස් ගරු කිරීමක් නැහැ… මෙහි අර්ථය එයයි.
සිහින -14
මී පුප් වැනි මැඩියන් විසින් සර්පයන් පන්නා ගෙන යනු සිහිනෙන් දුටුවා. මහරජ, අනාගත පිරිමින් අඩු වයසේ ස්ත්‍රින්ට වසග වීම සහ අඩු වයසේ ස්ත්‍රින්ද ධනයට ආශාවෙන් වියපත් පිරිමින් සමග විවාහ වීම සිදු වෙනවා.
සිහින -15
කපුටෙක් ඉතා ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටි සිහිනය මට පහදා දෙනු මැනව… රජතුමෙනි, පහත් වැඩ කරන මිනීමරුවන්, දාමරිකයන් වෙත පාලකයන් විසින් සම්මානීයත්වය ලබා දීම නිසා ඔවුන් ඉහලින් වැජඹෙනවා.
උගත් බුද්ධිමතුන් ඔවුන්ට යටත්ව ජිවත් වීමට සිදු වෙනවා. මේ සිහිනයේ අර්ථය පැහැදිළිව දැන ගැනිමට අපේ සමාජ රටාවේ ප්‍රායෝගික තත්වයම ප්‍රමාණවත් බැව් අමුතුවෙන් කිව යුතු නැත.
සිහින -16
භාග්‍යවතුන්වහන්ස, එළුවන් විසින් දිවියන් අල්ලා ගෙන කන ආකාරය මම සිහිනෙන් දුටුවා… රජතුමෙනි, දාමරිකයන්ට රජයෙන් ලැබෙන වරප්‍රසාද ඉඩකඩම් කොල්ල කනවා. අධිකරණයේ පිහිට පතන්නට ගිය විට මැරයන් විසින් ජීවිතය පවා අනතුරට පත් කරන නිසා ඔවුන්ට බියෙන් අයුක්තිය අසාධාරණය සමග ජීවත් වීමට සිදු වෙනවා.එසේනම් එදා කොසොල් රජතුමාගේ සිහින අද අපට සැබෑවක් බවට පත්ව ඇති බැව් පින්වත් ඔබට සිතෙනවා ඇති.
කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රි ධර්ම මහා සංඝ
සභාවේ අනුනායක ධුරන්ධර
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️