මිදුලේ ඔක්කොම තණ කොළ ගැලෙව්වේ ඉස්සර කාලෙ
මනාව නඩත්තු කළ තෘණ පිට්ටනියක් නිවසකට ගෙන දෙන්නේ අපූරු පිළිවෙලක්. ඉතින් ඔබේ ගෙවත්ත තෘණ පිට්ටනියක් බවට පත් කර ගන්න කැමති නම් මේ විදිහට පටන් ගන්න...
වල් පැලෑටි ඉවත් කරන්න…
ඔබ මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි ගෙවත්තේ තියෙන අනවශ්‍ය වල් පැලෑටි සියල්ලම විනාශ කර දැමීම. අතින් වල් පැලෑටි ගලවලා දාන එක එතරම් සාර්ථක නැහැ. පසේ රැඳුනු මුල් සහ බීජවලින් නැවත ඒවා පැල වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම ක්‍රමය වල් නාශකයක් භාවිත කිරීම.
වල් නාශකයක් භාවිත කිරීමෙන් පසුව සියලු පැල මැරීයන තෙක් බලා සිටින්න. ඉන් පසුව පොළව හොඳින් උදලු ගාන්න. මැරී ගිය කොටස් සියල්ල ඉවත් කර ගන්න. ඉන් පසුව පස අඟල් 9ක් පමණ ගැඹුරට බුරුල් කර ගන්න. පස බුරුල් කිරීමේදී හමු වන ගල් කැබලි සහ මුල් ඉවත් කර ගන්න.
පස සකසාගැනීම…
ඔබේ ඉඩමේ පස රතුයි නම් කළු පස් මිශ්‍ර කරන්න. ඔබේ ඉඩමේ පස කළුයි නම් රතු පස් මිශ්‍ර කරන්න. පසේ වියලි ගතිය වැඩියි නම් කොහුබත් මිශ්‍ර කරන්න. පස මැටි සහිත පසක් නම් වැලි මිශ්‍ර කරන්න. තෘණ පිට්ටනියක් සඳහා ප්‍රමාණවත් ජල බැස්මක් අවශ්‍යයි. ඒ සඳහා බෑවුම අඩි 100ක් සඳහා අඟල් 2- 3 අතර ප්‍රමාණයක් තබන්න.
තෘණ පිට්ටනියක් සඳහා හොඳින්ම ගැලපෙන තෘණ වර්ග
Cynodon Dactylon
වියලි දේශගුණයට හොඳින් ඔරොත්තු දේ.
Digitaria Didactyla
වඩාත්ම ගැලපෙන්නේ ශීත, කඳුකර පෙදෙස්වලටය.
Zoysia matrella
වියලි කාලගුණයට සහ මුහුදු බඩ කාලගුණයට ගැළපේ.
Axonopus Compresus
සෙවන සහිත ස්ථානවලට හොඳින් ගැළපේ. පාංශු ඛාදනය වළක්වා ගැනීමට උපකාරී වේ.
Desmodium Triflorum
හීන් උඳුපියලිය ලෙස හඳුන්වයි. සැර ඉර එළියට ඔරොත්තු දීමේ හැකියාවක් නැත.
මීළඟට ඔබ තෝරා ගත් තෘණ වර්ගය සිටුවිය යුතුයි. මේ සඳහා භාවිත කළ හැකි ක්‍රම 3ක් තියෙනවා.
බීජ මඟින්
තෘණ බීජ වැලි සමඟ කලවම් කර සකස් කර ගත් පස මතට ඉසිය යුතුය.
දඬු මඟින්
තෘණ දඬු සිටුවීමේදී අඟල් 4- 6 අතර පරතරයක් තබා සිටුවිය යුතුය.
පිඩලි මඟින්
මෙය පහසු ක්‍රමයක්. කුඩා ඉඩමකට මේ ක්‍රමය හොඳට ගැලපෙනවා. පිඩලි අතර හිඩැස්වලට කොම්පෝස්ට් යොදා තැලිය යුතුය’ මෙම පිඩලි එකට යාවී, සවි වන තුරු පත්‍ර නොකැපිය යුතුය. තණකොළ පිට්ටනිය නඩත්තු කළ යුතුය.
වරින් වර ඇතිවිය හැකි වල් පැලෑටි අතින් හෝ අත්මුල්ලුවක් ආධාරයෙන් ගලවා දමන්න.
ප්‍රමාණවත් පරිදි ජලය යොදන්න. සැර හිරු එළිය ඇති අවස්ථාවලදී ජලය නොදැමිය යුතුය. අව්ව අඩු උදේවරුව, සවස්වරුව හෝ රාත්‍රිය මේ සඳහා ගැළපෙනවා.
වරින් වර පොහොර යොදන්න. ගොම අව්වේ වියලා කුඩු කර ඉසින්න.
තණකොළ කැපීම සිදු කළ යුත්තේ මාස දෙකකට පසුවය. කැපී යන තණකොළ කොටස් ඉවත් කරන්න ඕනේ නැහැ. ඒවා පස මත විසුරුවා හැරීමෙන් පොහොරක් බවට පත් කර ගන්න. තණකොළ කැපීමෙන් පසුව පොහොර සහ ජලය යොදන්න.
ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී
රංජිත් කළුආරච්චි
අර්චිත ඉඳුවර ✍️