පහුගිය දවසක සමාජ මාධ්‍ය පුරාම දැක්කෙ එකම රුවයි. ලස්සන ගෑනු ළමයෙක්, ලස්සන ඇක්සන්ට් එකකින් එයාගේ ජීවිතේ ජයග්‍රහණ ගැන කතා කරනවා. ඇය නමින් කවිනි නිම්තරා. කවිනි කියන්නෙ සෙලිබ්‍රිටි කෙනෙක්නම් නෙවෙයි. හැබැයි ඊටත් වඩා ඇය සහ ඇගේ කතාව බොහෝම වටින නිසයි ඇය අපේ කතා නායිකාවක් වෙන්නෙ. කවිනි මේ වෙද්දි ලෝකෙ ඉහළ පෙලේ ආයතනයක සිස්ටම් ඉංජිනේරුවරියක් විදිහට සේවය කරනවා. මේක සමහරවිට ඔබට සාමාන්‍ය දෙයක් කියලා හිතේවි. නමුත් ඇයට තවමත් වයස අවුරුදු 22 යි. ඉතින් ඇය විශේෂයි.
කවිනි මුලින්ම කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්
මගේ වයස අවුරුදු 22 යි. මම තමයි පවුලෙ එකම දරුවා. අම්මයි තාත්තයි ඉන්නේ ඩුබායිවල. මම ඉපදුනෙත් ඩුබායිවල. ඒ වුණාට දැන් ඉන්නේ එංගලන්තෙ. ඉගෙනගත්තේ ෂැෆීල්ඩ් යුනිවර්සිටි එකේ. අභ්‍යවකාශ සම්බන්ධ උපාධියක් තමයි මම හැදෑරුවේ. මගේ ප්‍රධානම ආසාව වුණේ රොකට් හදන එක. මට හිතුණා මගේ උපාධිය සම්පූර්ණ වෙන්න නම් මම රොකට් එකක් හදන්නම ඕනි කියලා. ඒ අධිෂ්ඨානයෙන් තමයි මම රොකට් එක හැදුවේ.
අපි කතා කරමු කවිනි මේ හදපු රොකට් එක ගැන…
මේ රොකට් එක ඇත්තටම මම හැදුවේ යුනිවර්සිටි එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදිහට. මේක ලේසි වැඩක් වුණේ නැහැ. මම මුලින්ම ඉලෙක්ට්‍රොනික්ස් ගැන යූටියුබ් එකෙන් ඉගෙනගත්තා. එහෙම ඉගෙන ගෙන පියවරෙන් පියවර තමයි මේක හැදුවේ. පළවෙනි රොකට් එක අසාර්ථක වුණා. පොඩි දුකක් ඇති වුණත් මං හිතුවේ මේ රොකට් එක කොහොමහරි සාර්ථක කරගන්න එක ගැන විතරයි.
දෙවැනි වතාවෙත් රොකට් එක ෆේල් වුණා. තුන්වෙනි පාර තමයි සාර්ථක වුණේ.මේක විශේෂ රොකට් එකක්. ඒක උඩ යද්දි ස්වයංව ස්ථාවර වෙනවා. සාමාන්‍ය රොකට් එකක් උඩට යනකොට මොකක් හරි ෆයර් වර්ක් එකක් වුණොත් පුපුරනවනෙ. නමුත් මේ රොකට් එකට ඇවියොනික් සිස්ටම් එකක් තියෙනවා. ඒකෙන් තමයි ස්වයංව ස්ථාවරභාවයට පත්වෙන්නේ. අපිට ලෑන්ඩ් කරන්න ඕන තැනටම රොකට් එක ගිහින් ආපහු අපේ තැනට එනවා.
කොහොමද මේ ප්‍රොජෙක්ට් එකට යුනිවර්සිටි එකෙන් ලැබුණ ප්‍රතිචාර?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද මුළු යුනිවර්සිටි එකෙන්ම මෙහෙම ෆයිනල් ප්‍රොජෙක්ට් එකට රොකට් එකක් හදලා තිබුණ එකම කෙනා මම. අනිත් පියවරෙන් පියවර මේක ලෝන්ජ් කරනකල්ම රොකට් එක මම තනියම හැදුවේ. ඉතින් ඒක මගේ ජීවිතෙත් ඇත්තටම වටින සිදුවීමක්. ඔය ප්‍රශ්නෙට මට තව දෙයක් එකතු කරන්න ඕනේ. මගේ වටේ හිටපු අය නැත්නම් මට මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න වෙන්නෙ නැහැ.
විශේෂයෙන්ම මගේ අම්මයි තාත්තයි. එයාලා තමයි මට මේකට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ අරගෙන දුන්නේ. ඒ වගේම මගේ පාට්නර් බලෑෂ් රිගෝ මාව ගොඩක් ගයිඩ් කළා. එයා ඩ්‍රෝන් ස්පෙෂලිස්ට් කෙනෙක්. එයත් මගේ යුනිවර්සිටි එකේමයි.
සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් මේ වගේ පැත්තකට යොමුවෙනවා අඩුයිනෙ කවිනි. ඇයි කවිනිට මේ වගේ ආසාවක් ඇතිවුණේ ?
මේ සමාජයේ මතයක් තියෙනවනේ ගෑණු ළමයි සෙල්ලම් කරන්නේ බෝනික්කෝ එක්ක, පිරිමි ළමයි සෙල්ලම් කරන්නේ කාර් එක්ක කියලා. එහෙම නෑ. කෙනාගෙන් කෙනාට තමන්ගේ ආසාවල් වෙනස් වෙන්න පුළුවන්. මං පුංචි කාලේ ඩුබායි ඉද්දි අපේ ගෙවල් තිබුණෙ ඩුබායි එයාපෝට් එක ගාවමයි. මං හිතන්නේ මම නිතරම ප්ලේන්ස් දැකල දැකලම තමයි සයින්ස් පැත්තට මෙච්චර කැමති වෙන්න ඇත්තේ. මම ගොඩක් Space එක ගැන පොත් කියෙව්වා. ඒවා ගැන තාත්තා එක්ක කතාකළා.
ලංකාවේ නොඉපදුණාට කවිනිට ලස්සනට සිංහල කතා කරන්න පුළුවන් නේද?
ඔව්. මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි මාත් එක්ක කතා කරන්නෙත් තාම සිංහලෙන්. ඒ වගේම ලංකාවේ ගොඩක් අයව මට ආශ්‍රය කරන්න ලැබුණා. ඒ නිසා මට සිංහල භාෂාව හොඳට පුළුවන්.
එතකොට අපි කවිනිගේ වර්තමානය ගැන කතා කළොත් කවිනි මේ වෙද්දි ජැගුවර් ලෑන්ඩ් රෝවර් ආයතනයේ සිස්ටම් ඉන්ජිනේරුවරියක්. කොහොමද මේ තැනට ආවෙ?
මම යුනිවර්සිටි එකෙන් අවුට් වුණාම මං කරපු ප්‍රොජෙක්ට්ස් එක්ක අත්දැකීම් ගොඩාක් මට ලැබිලා තිබුණා. ලංකාවේ වගේම එහේ කම්පනිවලත් මොන උපාධිය තිබුණත් Experiences තමයි බලන්නේ. මං රොකට් කම්පනි එකක Internship ගියා.
මේ දේවල් සේරම මං ලින්ක්ඩන් ප්‍රොෆයිල් එකක් හදලා දැම්මා. මාසෙකට විතර පස්සේ මට ඒකට මැසේජ් එකක් ආවා ජැගුවර් ලෑන්ඩ් රෝවර් කම්පනි එකෙන් ඉන්ටවීව් එකකට එන්න කියලා.
මට හිතාගන්න බැරිවුණා ඇත්තටම මෙච්චර ලොකු කම්පනි එකකින් මට කතා කළාම. මම ඉන්ටවීව් පාස් වුණා. දැන් ජැගුවර් ලෑන්ඩ් රෝවර් කම්පනි එකේ සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා. සරලවම කිව්වොත් එයාලා අලුතින් හඳුන්වලා දෙන කාර්වලට මම අලුත් ෆීචර්ස් එකතු කරනවා.
කවිනිගෙ අනාගත බලාපොරොත්තු මොනවද?
මට හැමදාමත් ඕන වුණේ Space Industry එකේ වැඩ කරන්න. එංගලන්තෙ ගොඩක් ඒ Industry එකට ගන්නෙ එංගලන්ත ජාතිකයන්වමයි. වෙනත් රටක කෙනෙක් ඒ ෆීල්ඩ් එකට යනවනම් අවුරුදු කිහිපයක අත්දැකීම් තියෙන්න ඕනෙ. මම තාම මේ කම්පනි එකට ඇවිත් මාස හයක් වගේ. ඉතින් බලනවා ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා.
කවිනි මෙහෙම කතා කරලා ඉවර වුණාම කවිනි ගැන අපූරු කතා ටිකක් තාත්තත් කිව්වා. ඔහු මෛත්‍රී ඉඳුරුව.
“දුව දැන් මේ ෆීල්ඩ් එකේ හිටියට එයා ගොඩක් අමතර ක්‍රියාකාරකම් කරලා තියෙනවා. දහම්පාසලේ කථික තරගවලට ඉදිරිපත් වෙලා පළමු ස්ථාන ගත්තා. දුවට හොඳට සින්දු කියන්න වගේම බැලේ නර්ථනයත් පුළුවන්.”
දුව ගැන දැනෙන සතුට වචන කළොත්…
හරිම සතුටුයි. දැන් එයා සමාජෙ ඉහළ තැනක හිටියත් එයාට එංගලන්තෙට හුරුවෙන්න ටික කාලයක් ගියා. අපි ඩුබායි ඉඳන් එයාව එංගලන්තෙ නවත්තලා එද්දි එයා ඇඬුවා දාලා යන්න එපා කියලා. නමුත් කාලෙත් එක්ක එයා හුරුවුණා. යුනිවර්සිටි එකෙනුත් මුල් කාලේ සෑහෙන්න එයාව බුලි කරලා තිබුණා කළු හම නිසා. දුව මුල් කාලේ ඒ ගැන අපි එක්ක හරි දුකෙන් කතාකළා.
නමුත් පස්සෙ මෙයා එක්ක ඉගෙනගත්ත අනිත් ළමයින්ට තේරිලා තිබුණා කොච්චර බුලි කළත් කවිනිව වට්ටන්න බෑ, එයා අනිත් අයට වඩා දක්ෂයි කියලා. කොහොමහරි පස්සෙ දුව රොකට් එක හැදුවට පස්සෙ ඒ බුලි කරපු හැමෝම දුවට සුබපතලා තිබුණා. දැන් එයා තනියම එයාගෙ ගමන සාර්ථකව යනවා.
එරංදි කෞශල්‍යා ✍️