ශුක්‍රාණුවක් ලබාදී ඩිම්බයක් සංසේචනය කිරීමට දායක වූ පමණින් පිරිමියකුට පිය සෙනෙහස දෝරේ ගලන වගවීමක් ඇති පියකු බවට පත්විය හැකි ද? මෙලෙස මතු කළ විද්‍යාත්මක කාරණයට එහා ගිය ලේ කිරි නොවුණාට මව් සෙනෙහසට සමාන හැඟීමක් සහ වගකීමක් පිය පදවිය තුළ ගැබ්ව ඇති බව එය විඳ ඇති ඕනෑම පිරිමියකු පමණක් නොව පියෙකුට දාව මෙලොවට බිහිවන ඕනෑම මනුෂ්‍යයෙක් නොදන්නවා විය නොහැක.
කලාතුරකින් වැටෙන ලොව වටිනාම කඳුළක නිහඬ හිමිකරු වන්නේ අපේ තාත්තාය. ඇතැම් පදරචකයන් පවා ස්වර්ණමාලි මහා සෑය සමාන කර ඇත්තේ ද තාත්තාටය. දරුවකු රජ වනු දැක ලොව්තුරු සුව විඳිනා එකම කෙනා ද මේ තාත්තාමය. මෙවන් කියවීමක් ලබා ඇති ඔහු මේ ගෙවෙමින් පවත්නා ජුනි මාසයේ තුන්වෙනි ඉරිදා, එනම් ජුනි මස 16 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරමින් පිදුම් ලබන්නට මත්තෙන්ම දැන් අසන්නේ අවලාදය.
ජුනි මස 16 වැනිදාට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වදක සුළු තාත්තා කෙනෙකුගේ වීඩියෝව පිළිබඳව ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ප්රජාවගෙ අවධානය යොමු වී තිබීම මහත් සතුටකි.
පිරිමින් හැමෝටම නොලැබෙන පිය පදවිය නාමිකව ලද මෙම පුද්ගලයාට ඔහුගේ ධාතුවෙන් නොවුවත් පිය පදවියට උරුමකම් ලබාදී ඇති දරුවාට අමානුෂික ලෙස පහර දුන් වීඩියෝව බලන සෑම කෙනෙකුට නිතැතින්ම කියවෙන්නෙ ‘අනේ අපෝ මෙහෙමත් තාත්තලා’ යන්නවීම පුදුමයක් නොවේ. මේ දරුවාට පහරදුන් සුළු පියා සහ ඔහුගේ බිරින්දෑවරුන් පුල්මුඩේ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම වීඩියෝව සමාජ මාධ්‍යට එකතු කර ඇත්තේ මෙම පුද්ගලයාගේම පුතෙකුවීම පුදුමයකි.
මෙම වීඩියෝව පිළිබඳව ගැඹුරින් බලන කළ දරුවා අමානුෂිකව පහරකෑමට ලක් කළ මුල් අවස්ථාව මෙය නොවන බව හොඳාකාරවම පැහැදිලිය. දරුවා මෙම වදකාර සුළු පියාගේ පහර කෑමට ලක්ව බිම වැටෙන වැටෙන වාරයක් පාසාම නැගිට නැවතත් ඔහු ළඟට යෑම වැනි කාරණාවලින් පෙනී යන්නේ දරුවාට මීට පෙරත් මෙවැනි අමානුෂික පහරදීම් කර තිබෙන බවය. දරුවා මේ වනවිටත් ඒවා දරා ගැනීමට තරම් ශක්තිවන්තයකු වී ඇති බවය. මෙවැනි වදක පියවරුන් සැබෑ පිතෘත්වයට නිගාවක් නොවන්නේද?
ශ්‍රී ලංකාවේ දරුවන් ගැන බලන, දරුවන් ගැන කතා කරන සියලු රාජ්‍ය ආයතන මෙන්ම සංවිධාන මෙවැනි කටයුතු සම්බන්ධයෙන් එකට සිටගත යුතුව ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමට උදව් කළ යුතුව ඇත. මෙවැනි පියවරුන්ට හෝ මව්වරුන්ට ඉහළම දඬුවම ලබා දෙන තෙක් පසුපසින් සිටිය යුතුව ඇත. දරුවකුට තියා තිරිසනෙකුටවත් මෙලෙස අමානුෂික ලෙස පහරදීමේ අයිතියක් නොමැති බව සමාජයට මතක් කළ යුතුව ඇත.