එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනාවරණයක්
දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ වේගය දිනෙන් දිනම වැඩි වෙන බව කාලාන්තරයක පටන්ම නැගෙන චෝදනාවක්. මෙය අතීතයටත් වඩා වැඩි වේගයකින් දැන් සිදු වෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන අන්දමට ගෝලීය වශයෙන් සෑම තත්පර භාගයකටම වරක් එක් දරුවෙකු අන්තර්ජාල පරිශීලනයට යොමු වීමේ ප්රවනතාවයක් තිබෙනවා.
යුනිසෙෆ් ආයතනය විසින් පෙන්වා දෙන අන්දමට සයිබර් හිරිහැර නිසා රටවල් 30 ක යෞවනයන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් දරුණු ලෙසින් පීඩාවට පත් වන අතර ඒ නිසාම සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු පාසල් හැර යන තරමටම තත්ත්වය අහිතකර වී තිබෙනවා.
ගෝලීය දත්ත අනුව 2023 වසරේ පටන් වයස අවුරුදු 15 සිට 24 අතර දරුවන්ගෙන් 79% ක් අන්තර්ජාල ඔස්සේ සම්බන්ධතාවයන් පවත්වා ගෙන යන අතර විශේෂයෙන් අඩු ආදායම් පවුල්වල දරුවන් නාඳුනන පුද්ගලයින්ගේ නුසුදුසු සහ අනවශ්‍ය ඉල්ලීම් වෙනුවෙන් ගොදුරක් බවට පත් වීමට වැඩි අවදානමක් තිබෙනවා.
මේ බැව බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ තරුණ සහ දරා ගැනීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය සහ Save the children රාජ්‍ය නොවන සංවිධානය මඟින් සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.
තමන්ට සිදුවන අන්තර්ජාල තර්ජන ගැන පැමිණිලි නොකිරීම ඔවුන් අවහිර නොකිරීම නිසා අනාගතයේදී අනවශ්‍ය සම්බන්ධතාවයන් ඇති කර ගැනීමේ වැඩි අවදානමක් සිදු වෙනවා.
ආරක්ෂණ පනතක් අවශ්‍යයි…
ලෝකය පුරා බොහෝ රාජ්‍යන් විසින් Online ආරක්ෂණය සහතික කිරීම වෙනුවෙන් නීති පනවා තිබෙනවා. එක්සත් රාජධාණියේ මාර්ගගත ආරක්ෂණය වෙනුවෙන් තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන ඇති නීති සකස් කර තිබුණත් ඒවා 2025 වසර වෙන තෙක් ක්‍රියාත්මක නොවීමත් ගැන විචාරකයන් විසින් චෝදනා නගනවා.
දරුවන් අතර අන්තර්ජාල පරිශීලනය වැඩි වීමත් සමඟ ඔවුන් නිරන්තරව වෙනස්වන ඩිජිටල් පරිසරයට අනුව ආරක්ෂිතව හැසිරීමේ මාර්ගෝදේශ දැන ගැනීම ඉතාම වැදගත් බැව් සිඩ්නිහි තරුණ සහ දරාගැනීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සම අධ්යක්ෂ ඇමන්ඩා තර්ඩ් සඳහන් කරනවා.
වෛරී ප්රකාශනයන්ට නිරාවරණය වීම, ප්‍රචණ්ඩකාරී අත්දැකීම් සහ අන්තවාදී කණ්ඩායම් වෙනුවෙන් බඳවා ගැනීම, කුමන්ත්‍රණ න්‍යායන් සහ සාවද්‍ය තොරතුරු ඩිජිටල් වේදිකාවක තිබෙන ඔබ නොදකින පැත්තක් විය හැක.
ලිංගික අපයෝජනය…
මේ අතර ලිංගික සූරාකෑම, අපයෝජනය, ළමා ලිංගික අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වීම, ලිංගික උද්දීපන රූප සටහන්, වීඩියෝ බෙදා හැරීම වැනි සියුම් ලෙස දරුවන් ග්‍රහණය කරගැනීම ඩිජිටල් වේදිකාවකින් සිදු වෙන බවත් යුනිසෙෆ් ආයතනය විසින් පෙන්වා දෙනවා.
ඔවුන්ගේ අධ්‍යනයට සම්බන්ධ රටවල් 25 ක දරුවන්ගෙන් 80% ක්ම අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට හෝ සූරා කෑමට පත්ව සිටින බවත් අවධාරණයෙන්ම කියන්න අවශ්‍ය කරුණක්.
කථා කිරීම පමණක් ප්‍රමාණවත්ද…?
මාර්ගගත ආරක්ෂණයන් ගැන දැන් කතිකාවතක් ගොඩ නගා ගැනීම යුගයේම අවශ්‍යතාවය බවට පත්ව තිබෙනවා. මානසික වශයෙන් අයහපත් බලපෑම් ඇති කරන නුසුදුසු අන්තර්ගතයන් අවහිර කරන Filter නිර්මාණය වී තිබුණත් දෙමව්පියන් ඒවා භාවිත කිරීමට දැණුවත් වී නැහැ.
වයස අවුරුදු 9-17 දක්වා දරුවන්ගේ මව්පියන් වැඩි කැමැත්තක් දක්වා ඇත්තේ මෙම මෙවලම් අවභාවිතය ගැන සෘජු ලෙස දරුවන් සමග කථා කිරීමටයි. ඒ වෙනුවට තාක්ෂණික ලෙසින් අවභාවිතා කිරීම වළක්වා ගැනීමට ඔවුන් කැමැත්තක් නොදක්වන බව විසින් සිදු කරන ලද Global Kids Online සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් විසින් දරුවන්ට පැහැදිලිව කරුණු පහදා දීමට කැමැත්තක් දැක්වුවත් පිලිපීනය, දකුණු අප්‍රිකාව වැනි රටවල් සීමාකාරී මැදිහත් වීම්වලට වැඩි කැමැත්තක් දක්වති. ඒ අනුව ළමා දුරකථන වෙනුවෙන් මව්පියන් විසින් තාක්ෂණික උපක්‍රම භාවිත කිරීම 3% කටත් වඩා අඩු මට්ටමක පැවැති බැව් වාර්තා විය.
ඒ නිසා එක්සත් රාජධානිය පදනම් කර ගෙන පිහිටුවන ලද Internet Matters මගින් දෙමව්පිය මෙවලම් භාවිතය පිළිබඳව මාර්ගෝපදේශ ලබාදී තිබෙනවා. ඔවුන්ගේ පිළිගැනීමට අනුව YouTube , TikTok වේදිකාවන්හි දරුවන්ට ගැලපෙන වැඩසටහන් තෝරා දීමත්, වැඩිහිටි අන්තර්ගතයන් වෙනුවෙන් බාධක පැනවීමට හැකියාව තිබෙනවා.
ප්‍රධාන වෙබ් අඩවි භාවිත කරන වැඩිහිටි දරුවන් සඳහා මව්පියන් විසින් අධීක්ෂණය කරනු ලබන ගිණුම් සකස් කළ හැකි අතර එමගින් දරුවන් පරිශීලනය කරන වෙබ් අඩවි නිරීක්ෂණයට ඉඩ ලැබේ.
facebook සහ මෙසෙන්ජර් වෙනුවෙන් යෙදුම භාවිත කරමින් Family Centre විශේෂාංගය අධීක්ෂණය කිරීමට ඉඩ ලැබෙනවා. Instagram වේදිකාවකදී කාලය සීමා කිරීමේ යෙදුම් භාවිත කිරීමට මෙන්ම දරුවන් විසින් පරිශිලනය කරන ගිණුම් ලැයිස්තුගත කිරීමටත් හැකියාව තිබෙනවා.
ජංගම දුරකථන සහ පරිගණක මෙවලම්..
ඇන්ඩ්‍රොයිඩ් සහ පරිගණකවලදී දරුවන්ට ප්‍රවේශ වීමට නුසුදුසු වැඩසටහන් අවහිර කරන්න පුළුවනි. ඇපල් සමාගම විසින් Screen Time විශේෂාංගය සහ ගූගල් සමාගම විසින් Family Link විශේෂාංගය මේ වෙනුවෙන් හඳුන්වා දී තිබෙනවා. Netflix වැනි වෙබ් අඩවි මඟින් අන්තර්ගතය Filter කිරීමට මව්පිය පාලන මෙවලම් සපයා ඇති අතර වයසට ගැළපෙන ක්‍රිඩා පමණක් සහතික කිරීමට පරිගණක ක්‍රිඩා පාලක පුවරු සකසා තිබෙනවා.
අදාල රටවල් අනුව බ්‍රෝඩ් බෑන්ඩ් සහ රූපවාහිනී ග්රාහකත්ව සේවාවන්ද තිබෙනවා. අන්තර්ජාල ආරක්ෂාව වෙනුවෙන් දරුවන් ආමන්ත්‍රණය කිරීම NSPCC ආයතනය විසින් අන්තර්ජාල ආරක්ෂාව වෙනුවෙන් දරුවන් ආමන්ත්‍රණය කිරීමේ ක්‍රම කීපයක් ගැනත් මෙම ආයතනය විසින් සඳහන් කරනවා. අන්තර්ජාල ආරක්ෂාව ගැන දරුවන් සමග කථා කිරීම සහ ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන කටයුතු ගැන උනන්දු වීම’ මෙය බලන්න එපා යැයි දරුවන්ට තහංචි දැමූ විට ඔවුන් වෙනත් මාර්ගයකින් හෝ ඔබ තහනම් කළ වෙබ් අඩවියට පිවිසෙන බැව් සරේ විශ්ව විද්‍යාලයේ පරිගණක ආරක්ෂණ විශේෂඥ මහාචාර්ය ඇලන් වුඩ්බර්ඩ් සඳහන් කරනවා.
එපා කිව්වොත්
ඔබ එසේ තහංචි පනවන ලද සැනින් දරුවා ( virtual private networks )භාවිතා කිරීමෙන් හෝ වෙනත් පරිගණකයකින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට සූදානම්.
දරුවන් මුදා ගැනීම…
මේ අතර බ්‍රිතාන්‍ය තාක්ෂණ ලේකම් මිෂෙල් ඩොනලන් සඳහන් කරන්නේ දරුවන් අන්තර්ජාල ඇබ්බැහියෙන් මුදා ගැනීමට නීති පනවන තුරු ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ වගකීම අද ඉටු කරන්න.
බී.බී.සී පුවත් ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️