මලබද්ධය ළමා වයසේ දරුවන් මුහුණ දෙන ඉතාම හිරිහැරකාරී අත්දැකීමක්. අතීතයේදී මෙම රෝග තත්ත්වය එතරම් සුලබ නොවුණත් අද දරුවන් අතර මල බද්ධය ඉතා සුලබ රෝග තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම බොහෝ දරුවන් මලබද්ධ රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා. අපේ රටට සාපේක්ෂව බලන විට බටහිර රටවල දරුවන් අතර මලබද්ධය රෝග තත්ත්වය ඉතා වැඩි බව කිව යුතුයි…
මලබද්ධය ඇති වන්නේ ඇයි?
දරුවන්ට මලපහ කිරීමෙ පුරුදු කුඩා කාලයේ පටන්ම පුරුදු කිරීම වැදගත්. එය මාස 18 ක් වැනි කුඩා කාලයේදීම ආරම්භ කරන්න පුළුවන්. අතීතයේදී මව්වරුන් තම දරුවා කකුල මත තබා ගෙන වැසිකිළි යෑම හුරු කළා. එතැනින් පසුව දරුවා නිවසේ වැසිකිළියට හුරු කළා. මේ විදිහට හුරු කළාම දරුවාට වැසිකිළිය ආගන්තුක තැනක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මාස 30 ක් පමණ වන විට දරුවාට වැසිකිළි පාවිච්චි කිරීමේ පුරුද්ද ඇතිවුණා.
නිවැරදි ආහාර පුරුදු මලබද්ධය වළක්වා ගැනීමට බෙහෙවින් හේතු වනවා. දරුවන්ගේ ආහාරයේ තන්තු බහුල ආහාර ඇතුළත් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. එහෙත් බොහෝ විට දරුවන් වෙනුවෙන් මව්පියන් ලබාදෙන සකස් කළ ආහාර සහ ක්ෂණික ආහාර නිසා තන්තු අඩංගු ආහාර ලැබීම සීමා වනවා. මේ තත්ත්වයත් දරුවන්ගේ මල බද්ධය ඇති වීමට හේතුවක්.
දරුවකුට වුණත් නිවැරදි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. දාඩිය සහිත දිනවලදී වැඩියෙන් වතුර ලබාදීම අවශ්‍යයි. දරුවා පිපාසයෙන් වතුර ඉල්ලන තෙක් සිටින්න අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් අනුව දරුවාට නිවැරදි වතුර ප්‍රමාණය ලබාදීමත් වැදගත්.
එළවළු සහ පළතුරු වැඩි පංගුවක් ආහාරයට එකතු කරන්න.
මානසික ආතතිය දරුවන්ටත් මානසික ලෙසින් ආතතිමය තත්ත්වයන් ඇතිවනවා. එවැනි අවස්ථාවන්හිදී මලබද්ධය ඇති වෙන්න පුළුවන්.
මලබද්ධයේ රෝග ලක්ෂණ
මල බද්ධය ඇති දරුවකු මලපහ කරන වාර ගණන සතියකට දෙතුන් වතාවකට වඩා අඩු විය හැකියි.
මලවල ස්වභාවය ඉතා ඝන තත්ත්වයකින් යුක්තයි.
මලපහ කිරීමේදී වේදනාව ඇතිවීම.
මලපහ කුඩා ප්‍රමාණයකින් දරුවාගේ යට ඇඳුම්වල තැවරී තිබීම.
ඒ වගේම මල බද්ධය නිසාත් දරුවාට ආතතිමය තත්ත්වයක් ඇතිවීමට පුළුවන්.
අත, පය සහ සිරුරේ වේදනාව/වරින් වර ඇතිවන උදරයේ වේදනාව.
දරුවා මානසිකව ආතතිමය තත්ත්වයට පත්වීම- මලපහ කිරීම ආයාසයක් නොගෙන සිදුකළ යුතු ක්‍රියාවක් වුණත් මළ බද්ධය ඇති දරුවන්ට මලපහ කිරීමේදී දැඩි අපහසුතාවක් ඇතිවීම.
මේ අපහසුතාව නිසාම ඔවුන්ට මෙම කටයුත්ත පිළිබඳව මානසික බියක් ඇතිවීම. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී දරුවන් වැසිකිළියට ඇතුළු නොවී බියෙන් සැඟවී සිටින අවස්ථාවන් පවා තිබෙනවා.
ජීවිතයේ ගුණාත්මක බවට බලපෑමක් ඇතිවීම. මලබද්ධය නිසා දරුවාගේ ජීවිතයේ ගුණාත්මක බවට බලපෑමක් ඇතිවීමට පුළුවන්. පාසල් යෑමට පෙරාතුව වැසිකිළි යෑමේදී ඇතිවන ගැටලුව. ඒ වගේම මලපහ යට ඇඳුම්වල තැවරීම නිසා සම වයස් කණ්ඩායම් අතර අපහසුතාවට පත්වීම නිසා මානසිකවත් දරුවා ගැටලු සහගත තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙනවා.
මලබද්ධය හඳුනාගැනීම
මව්පියන් විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව මලබද්ධ තත්ත්වය හඳුනාගත හැකියි. ඒ නිසා මලබද්ධය පරීක්ෂා කිරීම වෙනුවෙන් සායනික පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ.මලපහ කිරීම වෙනුවෙන් ලබාගන්නා ඖෂධ මේ ගැන වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කර ලබාගන්න.
මෙම ඖෂධ වැඩි ප්‍රමාණයක් ශරීරයට උරා නොගෙන මල සමග පිටවන නිසා අතුරු ආබාධ රහිතව වැඩි කාලයක් පාවිච්චි කිරීමට පුළුවන්.පිටුපසින් අධෝමාර්ගයට කරල් ඇතුළු කිරීම (Suppostry) සාර්ථක ක්‍රමයක් නොවේ.
එය අපහසුම අවස්ථාවකදී පමණක් යොදා ගන්න.නමුත් දරුවන්ගේ මලබද්ධ තත්ත්වය වළක්වා ගැනීමේදී මව්පියන් විසින් අනුගමනය කළයුතු කරුණු කීපයක් තිබෙනවා.
දරුවන්ගේ ආහාර වෙනුවෙන් තන්තු බහුල රතු හාල්, පලා වර්ග, කොහිල, පොළොස් වගේම පැපොල්, අඹ වැනි පලතුරු පංගු වැඩි වශයෙන් එක් කරන්න.
පිරිසිදු පානීය ජලය වෙනුවෙන් දරුවන්ගේ වැඩි නැඹුරුතාවක් නැහැ. දිනකට ජලය ලිටර් 1.5 සිට 2 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම මල බද්ධයට විසඳුමක්.
වැසිකිළි යෑමට දරුවා හුරු කරන්න
මෙය දිනපතාම පුරුද්දක් කරගන්න. උදේ ආහාරයට පැය භාගයකට පසුව විනාඩි 10-15 ක් අතර දරුවා වැසිකිළි යෑමට හුරු කරන්න. කොමඩ් එකක හෝ අම්මාගේ කකුල් මත වාඩි කරවාගෙන මෙය කළ හැකියි.දරුවා මලපහ කළත් නොකළත් ප්‍රශ්නයක් කර නොගෙන මේ වැසිකිළි පුරුදු පවත්වා ගැනීම වැදගත්. මෙම විනාඩි 10-15 නිසා දරුවා පුරුද්දක් ලෙසින් වැසිකිළි යෑමට හුරු වනවා.
මල බද්ධය දින දෙක තුනකින් සුවය ලබන්නේ නැහැ
මල බද්ධය සහිත දරුවකු ප්‍රතිකාර ලබා දින දෙක තුනකින් සුවය ලබන්නේ නැහැ. ප්‍රතිකාර මතම යැපෙන්නත් බැහැ. ප්‍රතිකාර ලබන අතරවාරයේදීම මල බද්ධයට හේතුවන වැරදි පුරුදුවලින් දරුවා ආරක්ෂා කරන්න.ඒ නිසා ඔබේ දරුවා මල බද්ධය නිසා මානසිකව ආතතියේ ගොදුරක් බවට පත් නොකොට කුඩා කාලයේ පටන්ම නිවැරදි වැසිකිළි පුරුදු, ආහාර පුරුදු ගොඩනගන්න. එය මානසිකව සතුටින් සිටින දරුවකු ලෙසින් ගොඩනැගීම සඳහා ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️