අපේ මුඛයේ ඇති දතක් ගැන කතා කරනවා නම් එය කොටස් තුනකින් යුක්තයි.
- මස්තකය හෙවත් විදුරුමසෙන් උඩ පිහිටා ඇති කොටස ( හිස )
- විදුරුමස තුළ හකු ඇටයට සම්බන්ධ වී ඇති මුල
- හිස සහ මුල සම්බන්ධ වන ග්‍රිවය
දතක වැඩි කොටසක් සැදී ඇත්තේ දන්තිනිය නමැති අස්ථිමය ද්‍රව්‍යකින්. දතක හිස ‘එනමල්’ නමැති ඉතා තද දීප්තිමත් ද්‍රව්‍යකින් ආවරණය වී තිබෙනවා. සෑම දතකම මැද කුහරය හෙවත් කල්ක කුහරය, දන්ත කල්කය (Dentel pulp) නමැති මෘදු ද්‍රව්‍යකින් පිරී තිබෙනවා.අපේ මුඛයේ ඇති ආම්ලික ස්වභාවය නිසා දතක එනමල් කොටසේ ඛණිජ ද්‍රාවණය වීමට පටන් ගන්නවා.
එනමලය දුර්වල වන තරමටම ඔබේ දත් සංවේදී වීම වැඩියි. මේ ගැන ඔබටත් අත්දැකීම් ඇති. වතුර ටිකක් සීතලට ගත්විට වගේම යම් දෙයක් රස්නයෙන් ගත්විට ඔබේ දත් සංවේදී වනවා නම් එයින් පෙනී යන්නේ ඔබේ එනමලය දුර්වල බවයි.දතක එනමල් කොටසට හානිවීම සමග කල්ක කුහරය මතුවනවා. කල්ක කුහරය ස්නායු සමග සම්බන්ධ නිසා වේදනාවක් ඇතිවනවා. අපි මේ අවස්ථාව දත් කැක්කුම යනුවෙන් හඳුන්වනවා.
එනමලය ශක්තිමත්ව තබාගැනීම
දුර්වල එනමලය නිසා දත්වල කුහර ඇතිවනවා. ඒ නිසා දත් ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. අද කුඩා දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ එනමලයේ දුර්වල වීම සුලබව දකින්න ලැබෙනවා. මේ ගැන විශේෂයෙන්ම සඳහන් කිරීම වැදගත්. අද සමාජයේ සෑම පුද්ගලයකුම වාගේ ආම්ලික ආහාර සහ පාන වර්ග වෙනුවෙන් දක්වන ආකර්ශනය එනමලයේ දුර්වලතාවන්ට බලපානවා. එය නොකියාම බැහැ. බෝතල් කරන ලද පලතුරු යුෂ, සෝඩා, අච්චාරු සහ විනාකිරි අඩංගු ආහාර වැඩි ප්‍රමාණයකින් පරිභෝජනයට ගැනීම ඊට හේතුවක්.
කෝපි වැනි පාන වර්ග වුණත් ආම්ලිකයි. නමුත් ඒවා මධ්‍යස්ථ ප්‍රමාණවලින් ගැනීම වරදක් නැහැ. ඒ වගේම ඔබ උදේ පානය කරන කෝපි හෝ තේ කෝප්පයට සීනි එකතු කිරීම නිසා ඔබේ මුඛයේ ඇති බැක්ටීරියා පෝෂණය වී දත් දුර්වල කරන අම්ලය නිපදවනවා. ඇත්තටම ආහාරවලින් දතට ඇති වන ඛාදනයටත් වඩා මේ තත්ත්වයෙන් දතට වෙනස්ම ආකාරයක හානියක් සිදුවනවා.
දිනකට දෙවරක් දත් මැද්දාට මදි
දිනකට දෙවරක් දත් මැදීමෙන් දීප්තිමත් සහ සුන්දර දත් දෙපෙළක් ලැබෙන බව අපි දරුවන්ට කුඩා කාලයේ පටන්ම කියනවා. ඔවුන්ටත් දැන් එය කටපාඩම්. නීරෝගි එනමලයක් ගැන කතාකිරීම එයින් ඔබ්බට සිදුවිය යුත්තක්. අපි වෙතට එන බොහෝ රෝගීනුත් කියන්නේ අනේ ඩොක්ටර් අපි හැමදාම දවසට දෙවරක් තුන්වරක් හොඳට දත් මදිනවා ඒත් අපේ දත් දිරනවා කියලා.
ඒ නිසා දවසට දෙතුන් වතාවක් දත් මැද්දාට මදි. දත් මදින ක්‍රමය වැරදියි. දත් මැද්දාටම දත් පරිස්සම් වෙන්නේ නැහැ. දත් හපන විට කැඩෙනවා. ගෙවෙනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවක දත් දිරායන්න පුළුවන්.
ඒ නිසා ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගොස් මාස හයකට වරක්වත් දත් පරීක්ෂා කරගැනීමත් වැදගත්.දතක එනමලයේ ශක්තිය ඔබේ දත්වල පිටත තටට්ුවේ ස්වභාවය මත රඳා තිබෙනවා. ඒ නිසා ඔබ විසින් ලබාගන්නා ආහාර සහ ඇතැම් ඖෂධ නිසා ඔබේ එනමලය ශක්තිමත් කරන ඛණිජලවණ ඉවත් කිරීමට හේතු වනවා.
ජානමය බලපෑම
යම් පුද්ගලයකුගේ එනමලයේ ශක්තිමත් බව සහ දත්වල කුහර ඇතිකිරීමේදී ඔබේ ජාන සහ මුල් ළමාවියේ අත්දැකීම්වලින්ද බලපෑමක් ඇති වෙනවා. සමහර පුද්ගලයන්ගේ එනමලය ඉතා සිහින්. ඒ නිසාම බිඳෙන සුළුයි.Melogenesis imperfecta වැනි දුර්වල ජානමය තත්ත්වයන් නිසා දුර්වල එනමල තත්ත්වයන් ඇතිවීමට පුළුවන්.
මේ ගැන තවදුරටත් ගෝලීය වශයෙන් පවා අධ්‍යයනයන් සිදුවනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ Dental Medicine හි ළමා දන්ත නේවාසික වැඩ සටහනේ අධ්යක්ෂ වෛද්‍ය ඉසබෙල් වේස් විසින් මේ පිළිබඳව අධ්‍යනයක් සිදුකළා. ඒ වාර්තාව අනුව දන්ත එනමලයේ ගැටලුවලට ගර්භාෂය තුළ හෝ මුල් ළමාවියේදී ඇතිවන පාරිසරික තත්ත්වයන් බලපාන බැව් පෙන්වා දී තිබෙනවා.
දුර්වල එනමලයක් ඇතිවීමට බලපාන හේතු
විටමින් “ D ” ඌනතාව, ගර්භණී කාලයේ ඇතිවන දියවැඩියාව වැනි දරු ප්‍රසූතියට පෙරාතුව පටන් මවට ඇතිවන සෞඛ්‍ය ගැටලු දරුවන්ගේ එනැමලයේ දුර්වලතාවන් ඇතිකිරීමට හේතු වනවා. ඒ වගේම ළදරු අවධියේ ඇතිවන මන්ද පෝෂණය, සරම්ප, නිව්මෝනියාව පමණක් නොව දරුවන්ට නිතර නිතර ඇතිවන උණ පවා එනමලයේ දුර්වලතාවන් ඇති කිරීමට හේතුවක්.
දන්ත එනමලය ප්‍රවේසම් කරගැනීම
- නිතර ඔබේ මුඛය හොඳින් පිරිසිදුව තබා ගන්න.
- රළු දේවල්වලින් දත් මැදීම සුදුසු නැහැ.ඇල්පෙනෙත්ති, කටු ආදියෙන් ආහාර කොටස් ඉවත් කිරීමේදීත් එනමලයට හානි විය හැකියි.
- තද උණුසුම් වගේ තද ශීතල තත්ත්වයෙන් ආහාර ගැනීමෙන් වළකින්න.
එහෙම නම් දතක දිරා යෑමේ ආරම්භක අවස්ථාව ඔබේ දතේ එනමලය වෙතින් ආරම්භ වනවා. ඒ නිසා දතක එනමලයේ නීරෝගීතාව ආරක්ෂා කරගැනීම ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️