පසුගියදා පැවති ගංවතුර තත්ත්වයේදී පාදුක්ක වග, ඉරිදාපොළ ප්‍රදේශයේ ගංවතුරේ ගිලී ජීවිතය අහිමිවීමට ගිය අඹුසැමි යුවළක් බේරා ගැනීමට තම ජීවිතය පිළිබඳව හෝ නොතකා ක්‍රියාකළ අවුරුදු 17 ක් වයසැති චරිත්මා ජිනේන්ද්‍රි දිරිය දියණිය පිළිබඳව කාගේත් අවදානය යොමු වීී තිබුණා. ඒ නිසා ඇය පිළිබඳව සොයා බලන්නට “නවලිය” ට සිතුණා…
චරිත්මා මුලින්ම ඔයාගේ ආදරණීය පවුලේ විස්තර ටිකක් කියමු
මමයි, මල්ලියි, ආච්චියි, සීයයි තමයි පාදුක්ගේ ගෙදර ඉන්නේ. තාත්තා රැකියාව කරන්නේ කොළඹ නිසා අම්මයි තාත්තයි ඉන්නෙ කොළඹ. තාත්තා රියදුරෙක් විදියට තමයි වැඩ කරන්නේ. අම්මා නම් රැකියාවක් කරන්නේ නැහැ. මේ දවස්වල නම් අම්මයි තාත්තයි දෙන්නම ගංවතුර නිසා ගෙදර ඇවිල්ලා ඉන්නවා.
චරිත්මගේ සම්පූර්ණ නම?
එම්. චරිත්මා ජිනේන්ද්‍රි මායිටිපේ.
වයස?
අවුරුදු දාහතයි.
ඉගෙනුම ලබන පාසල?
මම ඉගෙන ගන්නේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉන්නෙ 12 වසරේ. උසස් පෙළ හදාරන්නේ කලා අංශයෙන්.
චරිත්මා එදා ගංවතුර වෙලාව ඇත්තටම මොකද වුණේ…
ආච්චියි, මමයි, මල්ලියි, සීයයි නිදාගන්න හැදුවේ රෑ එකොළහට විතර. ඒ වෙලාවේ අකුණු ගගහා හොඳටම වැස්සා. ඒ නිසා අපිට නින්ද ගියෙත් නැහැ. ඊට පස්සේ දොළහට විතර දොර ඇරලා බැලුවම පාරේ වතුර දාලා තියෙනවා දැක්කා. ඊට පස්සෙ අපි කලබලයෙන් බඩු අස් කරන්න පටන් ගත්තා. එතකොට එකපාරටම වතුර වැඩි වුණා. මම මගේ බඩු ටික අස් කර කර ඉන්නකොට පහළින් කෑගහනවා ඇහුණා “ගිලෙනවා” කියලා.
එතකොට අපේ ගෙදර බඩුත් පාවෙන්න ගත්තා. ඒත් මම බඩු අස්කරන එක පැත්තකින් තියලා ආච්චිට කියන්නෙත් නැතුව පහළට පීනගෙන ගියා. ඒ යද්දිත් අපේ ගෙදරත් මගේ උරහිස් මට්ටමට වතුර දාලා තිබුණා. මම පීනගෙන යනකොට ඒ ගෙදර නංගියි මල්ලියි බැම්මක් උඩ ඉඳගෙන කෑගහනවා දැක්කා.අපේ අම්මගේ පුංචියි බාප්පයි තමයි ගිලිලා හිටියේ.
එතන ළඟ තිබුණ කමියුනිකේෂන් එකේ පඩිය උඩ ප්ලාස්ටික් බටයක් තිබුණා. මම ඒක අරගෙන පීනලා ගිහින් ඒ ගෙදර ජනෙලේ එල්ලිලා ඉන්න ඒ නැන්දගෙයි මාමගෙයි පැත්තට දුන්නම ඒකේ එල්ලිලා ගොඩට ආවා. ඒත් මාමා ආයෙම ගිලුණා. ආයෙ මමයි තව දෙන්නෙකුයි පැනලා මාමව බේරගත්තා.
චරිත්මා ඇත්තටම තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නෙ නැතුව එකපාරට වතුරට පනින්න බයක් හිතුණෙ නැද්ද?
ඇත්තටම නැහැ. එහෙම කිසිම දෙයක් හිතුනේ නැහැ. ඒ නැන්දවයි මාමවයි බේරගන්න ඕන කියලා විතරයි මට හිතුණේ. ඒ වෙලාවේ මම ආත්මාර්ථකාමී නොවී මගේ බඩු ටික ගැනවත් හිතන්නෙ නැතුව ක්‍රියාත්මක වුණ නිසා ස්වභාවධර්මයෙනුත් අද මට පිහිට ලැබෙනවා.
රෑ දොළහට විතරනෙ මේ සිදුවීම වුණේ. කළුවරේ කොහොමද මෙච්චර දෙයක් කළේ?
ඔව් කළුවරයි කියන්නේ ඒ වෙලාවේ අපේ ගමටම කරන්ට් එක තිබුණෙත් නැහැ. ඒ වෙලාවේ හයියෙන් අකුණු ගැහුව නිසා ඒ අකුණුවල එළියෙන් තමයි කොහොම හරි ඔක්කොම කරගත්තේ.
චරිත්මා පීනන්න ඉගෙනගෙන තියෙනවද?
මම හතර පහ වසරේ ඉන්නකොට අපි පදිංචි වෙලා හිටියෙ ඇඹිලිපිටියේ. එහේ ගඟක් තිබුණා. ඉතින් අපි කට්ටිය හවසට ගඟේ නාන්න යනවා. එතකොට තමයි මම පීනන්න පුරුදු වුණේ.
රටේ හැමෝම අද දිරිය දියණියක් විදියට චරිත්මා ගැන කතා වෙනවානේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. මම බස් එකේ යද්දිත් ගොඩක් අය කතා කරනවා. ෆොටෝස් ගහනවා. ගොඩක් අය ස්තූති කරනවා.
මේ කරපු උතුම් ක්‍රියාවට පාසලෙන් මොකද කිව්වේ?
අපේ විදුහල්පතිතුමා ගෙදරට ආවා. මට පාසලෙනුත් විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබුණා.
අනාගතයේ කවුරු වෙන්නද කැමති?
යුද හමුදාවට යන්න හරි නැත්නම් හොටෙල් කෝස් එකක් කරලා රට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
චරිත්මා වගේ තැනට සුදුසු නුවණ තියෙන දුවක් හදපු අම්මයි තාත්තයි තමන්ගේ දුව ගැන නවලියට අදහස් දැක්වූවා
ගැහැනු ළමයෙක් විදියට දුව මේ කරපු වීරක්‍රියාව ගැන තාත්තාට මොන වගේ සතුටක්ද ආඩම්බරයක්ද අද දැනෙන්නේ?
ඒ ගැන නම් ඉතින් කියන්න වචන නැහැ. අපි හිටිය නම් සමහරවිට අපි යන්න දෙන එකකුත් නැහැ. දුව කියන්නේ එයාට හැමදේම නැති වුණාට කමක් නැහැ ජීවිත දෙකක්ම බේරගනිපු එකම එයාට ඇති කියලා. ඉතින් ඇත්තටම මගේ දුව ඒ වෙලාවේ කරපු වීර ක්‍රියාව ගැන නිහතමානී සතුටක් මට තියෙනවා.
ඒ වෙනුවෙන් රජයෙන් යම් අනුග්‍රහයක් දැක්වූවාද?
ඔව් අපිව විපක්ෂ නායක කාර්යාලයට කැඳවලා එහිදී දුවගේ බැංකු ගිණුමට ලක්ෂ දෙකහමාරක මුදලක් බැර කළා. පාර්ලිමේන්තුවේත් දුව ගැන කතාකරලා තිබුණා. තව අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ජනාධිපති අරමුදලෙනුත් උදව් කරනවා කියලා කිව්වා.
දුවගෙ අනෙකුත් දක්ෂතාවන් මොනවද?
එයා ක්‍රීඩාවට වගේම චිත්රවලටත් හරිම දක්ෂයි.
චරිත්මාගෙ අම්මේ දුව මෙහෙම දෙයක් කරා කියලා කොහොමද දැන ගත්තේ?
අපි ගෙදරට එනකම්ම දන්නේ නැහැ මෙහෙම දෙයක් වෙලා කියලා. ඉතින් ගෙදර ඇවිත් ටිකකින් දුව කිව්වා ඔයාගේ පුංචිලා ගිලෙන්න ගියා මම බේරගත්තා කියලා. ඒත් මට තේරුමක් තිබුණේ නැහැ.
ඊට පස්සේ පුංචිත් කිව්වා “අනේ පුතේ දෙයියෝ ආවා වගේ කෙල්ල ආවේ ඒ වෙලාවෙ” කියලා. ඊට පස්සෙ අපේ අම්මත් කිව්වා අපි කෑ ගගහා කෙල්ලව හෙව්වා බලද්දි එයා තමයි එහා පැත්තට ගිහින් පුංචිලව බේරගෙන තියෙන්නේ කියලා.
එතකොට තමයි අපිටත් තේරුනේ කොච්චර භයානක දෙයක්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒත් මම කිව්වා ඔයාට මොනවා හරි වුණා නම් එහෙම අපිට මොකද වෙන්නේ ආයේ ඔයා ඔහොම වැඩ කරන්නේ බලාගෙනයි කියලා. කොහොම වුණත් මට දැන් හරිම සතුටුයි දුව ඒ වෙලාවේ කරපු දේ ගැන.
චරිත්මා කියන්නේ මොන වගේ දියණියක්ද?
තමන්ගේ පාඩුවේ ඉන්න දරුවෙක්. ඇත්තටම ඔහොම දෙයක් කරා කියලවත් හිතන්න බැහැ. හැබැයි කිසිම දේකින් සැලෙන කෙනෙකුත් නෙවෙයි. අපේ ළඟ මුදල් නැත්නම් එයාගේ අඩුපාඩුවක් තිබුණත් අපිට කියන්නේ නැහැ. ඒ වගේ වදයක් දෙන්නෙ නැති හරිම පාඩුවේ ඉන්න ශක්තිමත් දරුවෙක්.
පාරමී කෞෂිකා ✍️