පහරදීම දඩුවම් ලැබිය හැකි වරදක්
ළමයින්ගේ රැකවරණය හා සුභසිද්ධිය වෙනුවෙන් සම්මුතියක් සකස්කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුනා ගන්නා ලද්දේ 1979 තරම් ඈත අතීතයේදීය. එහෙත් ළමයින් සම්බන්ධව සම්මුතියක් සකස් කිරීම තවත් වසර 10 ක කාලයක් දක්වා ඇදී ගිය අතර, 1989 නොවැම්බර් 20 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තිය අනුමත කරන ලදී. එම ප්‍රඥප්තියෙහි දක්වා ඇත්තේ “ නීතිය මඟින් අඩු වයසක දී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18 ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන් වන බවත් ඔවුන්ට මෙම ප්රඥප්තිය මගින් දක්වා ඇති සියළුම අයිතිවාසිකම් හිමිවිය යුතු බවත්ය.”
දරුවන්ගේ සංවර්ධනය, අභිවෘද්ධිය සහ යහපැවැත්ම පිළිබද සැලකිලිමත් වන සාමාජික රාජ්‍යයන් මෙම ගිවිසුම සමග එකඟ වූ අතර, ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක් මෙම විශ්ව ළමා ප්රඥප්තියට අත්සක් කරමින් එකඟතාවය දක්වා ඇත.විශ්ව ළමා ප්රඥප්තිය අනුව ළමයින් සම්බන්ධයෙන් ප්‍රධාන මූලධර්ම 04 ක් පදනම් කරගෙන ඇත.
- දරුවන් සම්බන්ධයෙන් වෙනස් කොට නොසැලකීම.
- දරුවාගේ උපරිම යහපත.
- පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය.
- ළමයාගේ අදහස්වලට ගරු කිරීම.
ශ්‍රී ලංකාව 1990.01.26 දින මෙම විශ්ව ළමා ප්රඥප්තියට අත්සන් කරන ලද අතර 1991.07.12 දින සිට එයට ශ්‍රී ලංකාව තුළ නෛතික වශයෙන් බලාත්මකභාවය ලබා දී ඇත.ශ්‍රී ලංකාවේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා නෛතික තත්ත්වය පිළිබඳව සලකා බලන විටදී, 1883 වර්ෂයේදී සිට ක්‍රියාත්මකව පවත්නා දණ්ඩ නීති සංග්‍රහය තුළ ළමා ආරක්ෂණය පිළිබඳ නෛතික ප්‍රතිපාදන දක්වා ඇති බව නිරික්ෂණය කළ හැකිය.
එහි 75 සහ 76 වන වගන්ති මගින් දක්වා ඇත්තේ වයස අවුරුදු 08 ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවුරුදු 08 ට වැඩි නමුත් 12 ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසලකන බවයි. තවද, වයස අවුරුදු 12 ට අඩු දරුවකුගේ දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් එම දරුවා අතහැර දැමීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.
ළමා හිංසනය යන්න ළමා අපයෝජනය ලෙසින්ද හදුන්වනු ලබන අතර, එමගින් අදහස් කරනු ලබන්නේ ළමයින්ට ශාරීරික, මානසික හා ලිංගික වශයෙන් අයෝග්‍ය ලෙසින් සැලකීමත්, ඔවුන්ව නොසලකා හැරීමත් වේ. ළමයින්ට ශාරීරික ලෙස හිංසනය යන්නෙන් ළමයා පෙලීම සහ දඬුවම් කිරීම හැඳින්විය හැකි අතර, මානසිකව හිංසාකිරීමෙන් හා නොසලකා හැරීමෙන් ළමයින්ගේ ජීවිත කාලය පුරාවටම මනසේ රැඳී පවත්නා කැළැල් ලෙසින් පවත්නා අමිහිරි මතකයන් ලෙසින් පවතී.
ළමුන්ට එරෙහිව කෲරත්වය මුලින් ම සිදු වෙන්නේ දරුවාගේ ආදරණීයයන් අතින් වන බවටත්, එම දරුවන්ගේ දෙමාපියන්, භාරකරුවන් තමන්ගේ ක්ෂණික කෝපය දරුවන් මත මුදා හැරීම නිසා දරුවන් බරපතල වශයෙන් ශාරීරික හිංසනයට ලක්වන බවටත් සමාජ විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව තුල මෑත කාලීනව අනුමත කර ක්‍රියාත්මකව පවත්නා පනත් කිහිපයකි.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
1998 අංක 27 දරන අධිකරණ (සංශෝධන) පනත
1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
2005 අංක 34 දරන ගෘහස්ත ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත
දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එන ලද 1995 අංක 22 දරණ සංශෝධනය මගින් දක්වා ඇති ආකාරයට වයස 18 අඩු යම් තැනැත්තකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂාව දරා සිටින අයකු එම දරුවාට වේදනාවක් විය හැකි ආකාරයේ හෝ ඇස් පෙනීම, කන් ඇසීම වැනි ආදියට හානියක් වන ආකාරයේ ක්‍රියාවක් හෝ ශරීරයේ යම් අවයවයකට හෝ ඉන්ද්‍රියකට සිදු කරන යම් තුවාලයක් හෝ සිදු කිරීම වරදක් බව දක්වා ඇත්තේය.
එසේම යම් මානසික ව්‍යාකූලතාවයක් ඇති කිරීමද, අඩන්තේට්ටම් කිරීමද, හිංසා කිරීමද, නොසලකා හරිනු ලැබීම හෝ අතරමං කරනු ලැබීමද වරදක් බව වැඩි දරටත් දක්වා ඇත. මෙයට අමතර වශයෙන් ළමයින් කූට්ටනය කිරීමද දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බව දක්වා ඇත. මෙම සියළුම වරදවල් සිදුකිරීම “ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද” ලෙසින් සංයුක්ත වන බව වැඩි දුරටත් දණ්ඩ නීති සංග්‍රහයේ “308අ(1)” වගන්තිය මගින් දක්වා ඇත.
එසේම එහි “308අ(2)” වගන්තිය මගින් දක්වා ඇති ආකාරයට ඉහත සඳහන් යම් ආකාරයක වරදක් සිදුකරන අයකුට වසර දෙකකට නොඅඩු හා වසර දහයකට නොවැඩි වූ කාලයකට බරපතල වැඩ ඇතිව හෝ බරපතල වැඩ නොමැතිව බන්ධනාගාර ගත කිරීමකින්ද, දඩයකින්ද දඬුවම් කල හැකි බව දක්වා ඇත.
මෙම දඬුවමට අමතරව කෘරත්වයට පත්කරන ලද ළමයාට සිදු වූ හානි සම්බන්ධයෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදල වන්දියක් ගෙවීමටද නියම කළ හැකි බව වැඩිදුරටත් දක්වා ඇත. මෙහිදී ළමයාට සිදුවන හානි සම්බන්ධව සැලකීමේදී මානසික හානිය සඳහාද වන්දි ලබාදිය හැකි බව දක්වා ඇත.
මේ අනුව යම් ළමයකුගේ භාරකරුවන් වන අයකු විසින් එම ළමයාට එරෙහිව සිදුකරන ලද කෘර ක්‍රියාවක් මත එම භාරකරුට එරෙහිව මෙම වගන්තිය යටතේ නඩු පැවරීමේ හා දඩුවම් නියම කිරීමේ හැකියාව ඇත.
නීතිඥ අංජුල බණ්ඩාර
anjulacab@gmail.com