ගෙදර නිතරම විදුලි බල්බ දල්වගෙන ඉන්න සිදුවෙනවා නම් විදුලි බිල ඉහළ යනවා. මේ නිසා තමයි දහවල් කාලයේදී ඔබට නොමිලේ හිරුගෙන් ලැබෙන ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුත්තේ. දිවා කාලයේදී දල්වන විදුලි බල්බ ප්‍රමාණය හැකිතාක් අවම කිරීම සඳහා මේ උපක්‍රම ඔබට වැදගත් වේවි.
මුලින්ම මේ ගැන හිතන්න
ඔබේ නිවසේ තිබෙන ජනෙල්වල වීදුරු හොඳින් පිරිසිදු කර තබන්න. ඒවායේ අපිරිසිදු බව වැඩි නම් දූවිලි බැඳී ඇත්නම් ඒවා හරහා නිවස තුළට ඇතුළු වන ආලෝක ප්‍රමාණයද අඩුවනවා.
තිර රෙදි තෝරාගැනීමේදී සැලකිලිමත් වන්න
තිර රෙදි තෝරා ගැනීමේදී විනිවිද පෙනෙන සුළු තිර රෙදි තෝරාගන්න. මේවා Heer තිර රෙදි ලෙස හඳුන්වනවා. මේවා හරහා පහසුවෙන්ම ආලෝකය එහා මෙහා ගමන් කරනවා. හිරු එළිය අවහිර කරන රළු, බර හෝ අඳුරු තිර රෙදි තෝරාගැනීමෙන් වැළකිය යුතුය. නමුත් ගෙදර පෞද්ගලිකත්වයට හානියක් නොවෙන විදිහට මේ තිර රෙදි යොදාගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.
අඳුරු වර්ණවලින් ඈත්වන්න
ඔබේ නිවසේ බිත්ති සහ සිවිලිම්වලට වර්ණ ආලේප කිරීමේදී සුදු, ක්‍රීම්, පැස්ටල් වැනි සැහැල්ලු වර්ණ තෝරාගන්න. නිවස තුළ සැහැල්ලු වර්ණ තිබීමෙන් ස්වභාවික ආලෝකය පරාවර්තනය වී කාමරවල දීප්තිමත් බව වැඩි වී පෙනෙනු ඇත.
නිවසට කණ්ණාඩි එකතු කරන්න
නිවස තුළට එන ආලෝකය පරාවර්තනය කිරීම සඳහා ජනේල දොරවල් ආදිය ඉදිරිපිට බිත්තිවල කණ්ණාඩි සවි කිරීම ඔබට කළ හැකයි. ස්වභාවික ආලෝකය වැඩියෙන් වැටෙන ස්ථානවල කණ්ණාඩි රැඳවීමෙන් සම්පූර්ණ අවකාශයම දීප්තිමත් වනු ඇත.
ගැළපෙන ගෘහ භාණ්ඩ තෝරාගන්න
ගෘහ භාණ්ඩ තෝරාගැනීමේදී ආලෝකය අවශෝෂණය වන ආකාරයේ ගෘහ භාණ්ඩ තෝරා නොගෙන ආලෝකය පරාවර්තනය කිරීමට සමත් වන දිලිසෙන හෝ ලෝහ නිමාවකින් යුතු ගෘහ භාණ්ඩ තෝරාගන්න. කාමරවල මෙම භාණ්ඩ තැබීමෙන් අඳුරු තැන් දීප්තිමත් වනු ඇත.
කාමරවල දොරවල් විවෘතව තබන්න
නිවසේ කාමරවලට පිවිසෙන අභ්‍යන්තර දොරවල් දිවා කාලයේදී විවෘත කරන්න. නිවස තුළට ඇතුළු වන ආලෝකය නිවස පුරා ගලා යාමට සහ ඒකාකාරව බෙදී යාමට එය උපකාරී වෙනවා. එමෙන්ම කාමරවලට සවි කරන දොරවල් වීදුරුවලින් හෝ විනිවිද පෙනෙන වෙනත් අමුද්‍රව්‍යයකින් තෝරාගන්න. එයින් නිවස තුළ ඇති ආලෝකය කාමරවලටත් හොඳින් ඇතුළු වනු ඇත.
ජනෙල් නොමැති කාමරවලට
ජනෙල් නොමැති කාමරවල වහලයේ කොටසක් වෙනුවට විනිවිද පෙනෙන සෙවිලි තහඩු සවි කරන්න. ඒ මගින් ස්වභාවික ආලෝකය සෘජුවම කාමරය තුළට වැටෙනු ඇත. කාමර එකිනෙක වෙන් කිරීමට වීදුරු භාවිත කරන්න. එම උපක්‍රමය නිවස තුළට ඇතුළු වන ආලෝකය අවහිර නොවී නිවස පුරා ඒකාකාරීව ගලායාමට උපකාරී වනු ඇත.
ගෙබිමට ළා වර්ණ
බිමට ළා වර්ණ සහිත ටයිල් භාවිත කරන්න. එයින් ආලෝකය පරාවර්තනය වී නිවස ආලෝකමත් වනු ඇත. අඳුරු කාපට්, රග් ආදිය භාවිත කිරීමෙන් වළකින්න. ඒවා නිවසට වැටෙන ආලෝකය අවශෝෂණය කරගැනීම නිසා නිවසේ ඇති දීප්තිමත් ස්වභාවය නැති වී යනු ඇත.
නිසිපරිදි සංවිධානය කරන්න
නිවසේ ජනෙල්වලින් ඇතුළු වන ආලෝකය අවහිර කරන ගෘහභාණ්ඩ ජනෙල්වලින් ඈත් කර තබන්න. ජනෙල් ආසන්නයේ කුඩා ආසන ස්ථානගත කරන්න. දිවා කාලයේදී පොත් කියවීම, ලිවීම හෝ විවේකීව සිටීම වගේ දෙයක නිරත වීමට අවශ්‍ය වූ විට විදුලි බල්බ දල්වන්නේ නැතිව ස්වභාවික ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මෙම උපක්‍රම උදව් වනු ඇත.
අර්චිත ඉඳුවර