IVF (In Vetro Fertilization) කියන්නේ මොකක්ද?
IVF තාක්ෂණයේදී සිදුවන්නේ කාන්තාවකගේ ශරීරයේ ස්වාභාවිකව සිදුවිය යුතු ගැබ් ගැනීමක් කෘත්‍රිම පරිසරයක් තුළ සිදුකරන එක. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක් එම කාන්තාවගේ පැලෝපීය නාලය තුළට ස්වාභාවිකව ගමන් කරනවා.
එවිට පැලෝපීය නාලය තුළ සංසේචනය වෙන්න අවශ්‍ය කරන පරිසරය එම ඩිම්බයට තිබෙනවා. කාන්තාවක් සහ පිරිමියෙක් ලිංගිකව එකතුවීමේදී පිරිමියාගෙන් පිටවන ධාතු හෙවත් ශුක්‍රාණු පැලෝපීය නාලයට ඇතුළු වූ ඩිම්බය සංසේචනයට උදව් කරනවා. මේ සිදුවන සංසේචනය කාන්තාවකගේ සිරුරෙන් පිටතදී කිරීමේ සංකල්පය තමයි IVF හෙවත් නළ දරු තාක්ෂණය ලෙස අපි සාමන්‍යයෙන් හඳුන්වන්නේ.
කාන්තාවකගේ ඩිම්බකෝෂයෙන් පිටවන ඩිම්බ එකක් වෙනුවට එන්නත් කිරීම මගින් අධික උත්තේජනයක් ලබාදීමෙන් IVF තාක්ෂණයේදී ඩිම්බ ගණනාවක් ඩිම්බකෝෂවල නිෂ්පාදනය කරගනු ලබනවා. සමහර වෙලාවට ඩිම්බ විසි ගණනක් වුණත් මෙලෙස හදාගන්න පුළුවන්. ඉන්පසුව ඩිම්බකෝෂවල තිබෙන ඩිම්බ ස්වාභාවික ක්‍රමයට පිටවන්න කලින් සියුම් ඉඳිකුටුවක් වැනි උපකරණයකින් (නීඩ්ල්) ආධරයෙන් එකින් එක එම කාන්තාවගේ ශරීරයෙන් පිටතට ගනු ලබනවා.
මෙලෙස පිටතට ගත් ඩිම්බ විශේෂ මාධ්‍යයක තැන්පත් කිරීම සිදුකරනවා. මෙම මාධ්‍ය කාන්තාවකගේ සජීවි පැලෝපීය නාලය ඇතුළත තිබෙන පරිසර උෂ්ණත්වයට හා සංයුතියට සමානයි. මෙම මාධ්‍යයේ පාවෙමින් තිබෙන ඩිම්බ එම කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ ශුක්‍රාණු සමග කෘත්‍රීම මාධ්‍යය තුළදී එකතු කරනවා.
මෙය තමයි IVF හෙවත් නළ දරු තාක්ෂණයේදී කෘත්‍රිමව සිදුකරන සංසේචන ක්‍රියාවලිය.එම සංසේචනය ක්‍රියාවලියෙන් පසු ඇතිවන කලල අන්වීක්ෂයක් ආධරයෙන් නිරීක්ෂණය කරමින් හොද කලල වෙන් කරගැනීම සිදු කරනවා. ඉන් පසු එම කලල වර්ධනයවීමට ඉඩ හරිනවා. ප්ලාස්ටසිස්, මොඩියුලා ලෙස වර්ධක අවදිවලින් හඳුන්වන මෙම කලල හෝර්මෝනවලින් නිර්මාණය කරන ලද කාන්තාවගේ ගර්භාෂයේ සියුම් බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම හෙවත් එම Embryo transfer කිරීම කරනු ලබනවා.
නළදරු තාක්ෂණය යොදාගනීමට හොද කාලයක් තිබෙනවාද?
කලලයේ ගුණාත්මකභාවය හා කාන්තාවකගේ ගර්භාෂ බිත්තියේ ඇතිවන පරිසරය මත කලල විශේෂඥ වෛද්‍යවරයකු විසින් සුදුසු කාලය තීරණය කරනු ලබනවා.
ඉක්සි (ICSI) ක්‍රමය යනු කුමක්ද?
ඉක්සි (ICSI) හෙවත් Intracytoplasmic Dperm Injection ක්‍රමයේදී සිදුවන්නේ ශුක්‍රාණු ගණත්වය ගොඩාක් අඩු පිරිමින්ගේ එක් ශුක්‍රාණුවක් ඉදිකටුවක් වැනි උපකරණයකින් ලබාගෙන එය සාදාගත් ඩිම්බයක් තුළට එන්නත් කිරීමයි. මෙම ක්රමයේ සාර්ථකත්වය වැඩි නිසා බොහෝ කලල විශේෂඥවරු ඉක්සි ක්‍රමයට කලල සංසේචනය කිරීමට හුරුවෙලා තියෙනව.
තැන්පත් කළ කලලයෙන් ගැබ් ගැනීම සාර්ථක වීද නැද්ද යන්න දැනගන්නෙ කෙසේද?
තැන්පත් කරන කලලය ගර්භාෂ බිත්තියේ ඇලීමෙන් ඉම්ප්ලාන්ටේෂන් (Implantation) සිදු වුවහොත් එය සාර්ථක ගැබ් ගැනීමක් හෙවත් (Positive pregnancy) එකක් ලෙස සලකනවා. එම කලලය ගර්භාෂ බිත්තියේ තැන්පත් වීම සිදු නොවුණහොත් සාමන්‍ය ඔසප් වීමක් ලෙසට කාන්තාවගේ ගර්භාෂයෙන් පිටතට ඉවත් වෙලා යනව.
එලෙස වීමෙන් එම නළදරු උපත් ප්රතිකර්මය සාර්ථක වී නොමැති බව කලලවේදය පිළිබඳ විශේෂඥ්‍ය වෛද්‍යවරයා දැනගන්නවා.IVF ක්‍රමය සාර්ථක වුවහොත් ගර්භණී අවදියේදී කාන්තාවගේ රුධිරයේ වැඩිවන beta HCG හෝර්මෝනයෙන් දැනගන්න පුළුවන්.ඉන්පසුව කරන අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් පර්යේෂණයකින් එම ගර්භාෂය තුළ කලලය සාර්ථකව වර්ධනය වේදැයි බලාගත හැකිය.
එලෙස වර්ධනය වන කලලයට බලපාන ජාන සංයුතිය කෙසේ සකස් වේද?
කලලයට බලපාන ජාන සංයුතියෙන් 50% ක් මවගේ ඩිම්බයෙනුත් 50% ක් පියාගේ ශුක්රාණුවෙනුත් ලැබෙනවා. එය සාමාන්‍ය කලලයක ජනනය වීම හා 100%ක් ම සමානයි.සෑමවිටම කාන්තාවගෙන් හා පුරුෂයාගේ ජාන 50 % බැගින් කලලයට පැමිණීම හෙවත් වර්ණදේහ 23 බැගින් එකතුවීමක් සිදුවනවා.
මවගේ ඩිම්බය සමඟ පියාගේ ශුක්‍රාණුව නොගැළපෙන අවස්තාවක් පැමිණියහොත් එහිදී සිදු කරන්නේ කුමක්ද?
එහිදී 50% ජාන සහිත මවගේ ඩිම්බය හා පියාගේ ශුක්‍රාණු නොගැළපේ නම් වෙනත් අයකුගේ ශුක්‍රාණුවක් මගින් ඉතුරු 50% ක දායකත්වය ලබාගත හැකිය. ඒ සඳහා යුවලගේ කැමැත්ත විමසා සිටිනවා.
කාන්තාවගේ ඩිම්බ එයට සුදුසු නොවුණහොත් සිදුකරන්නේ කුමක්ද?
පරිත්‍යාගශීලි ඩිම්බ (Donor egg) ලබාදෙන පිරිසක් ඉන්නවා. එවැනි තරුණ කාන්තාවකගේ ඩිම්බ පිටතට රැගෙන එම ඩිම්බ සමඟ ශුක්‍රාණු මුසු කරමින් ගර්භාෂයේ තැන්පත් කිරීමට අවශ්‍ය කලලය කෘත්රීමව සංසේචනය කරනු ලබනවා.
මවගේ ඩිම්බ හා පියාගේ සුක්‍රාණු යන දෙකම නොගැළපෙන විට
මවගේ හෝ පියාගේ ඩිම්බ හා ශුක්‍රාණු යන දෙකම නොගැළපේ නම් වෙනත් කාන්තාවකගේ සහ පුරුෂයකුගේ ඩිම්බ හා ශුක්‍රාණු 50% බැගින් ලබා ගැනීම සිදුකළ හැකිය. එවැනි ක්‍රියාවලියක් සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ගේ කැමැත්ත මත පමණක් සිදු කළ යුතු වෙනවා.
ගර්භාෂය තුළ කලලය සාර්ථකව වැඩෙන බව ස්කෑන් පර්යේෂණයකින් තහවුරු වූ විට මවට පිටතින් හෝර්මෝන ලබා දිය යුතුද?
සාමාන්‍යයෙන් IVF දරු ගැබක් තහවුරු වූ විට එම මවට ලබාදිය යුත්තේ සාමාන්‍ය ගැබ් ගැනීමකදී මවකට ලබාදෙන ප්‍රතිකර්ම පමණයි. අනවශ්‍ය ලෙස පිටතින් හෝර්මෝන ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඇතැම් විශේෂ අවස්ථාවලදී එනම් ලේ කැටි ගැසීමකදී කලලය ගර්භාෂයෙන් ඉවත් විය හැකි බැවින් විශේෂ ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් ලබාදෙන අවස්ථා තිබෙනවා.
සියලුම නළ දරු උපත්වලට දරුවා බිහි කරන තුරු අධික ලෙස හෝර්මෝන පිටතින් ලබා දීමක් අවශ්‍ය නොවේ එවැනි අවශ්‍යතා තිබෙන නළ දරු උපත් සඳහා පිටතින් හෝර්මෝන ලබාදීම පිළිබඳව ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු තීරණය කරනු ලැබේ.
ඒ නිසා නළ දරු උපත්වලට යොමුවන අහිංසක රෝගීන් මෙම ක්‍රියාවලිය සදහා අනවශ්‍ය ලෙස මුදල් වැයවීමක් පිළිබඳව බිය යුතු නොවේ.එහෙත් කලලවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා නළදරු ගැබ් ගැනීම සාර්ථක වී ඇති බව තහවුරු කිරීමෙන් පසුව සාමාන්‍ය රජයේ ලියාපදිංචි ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට මෙම කලලය සදහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව තිබේ.
හරින්දී ලියනගේ ✍️