අපේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දුකට වෛද්‍යවරයෙක් බවට පත් වූ සේක. අපේ ජීවිතයට දුකක් නැති අවස්ථාවක් නැහැ. දුක ගැන සඳහන් කරනවා නම් එක් එක් අයට ඇති වන දුක විවිධයි. ආර්ථික අපහසුතාවක් ඇති පුද්ගලයෙක් හිතන්නේ මට මුදල් නැති නිසා මේ ප්‍රශ්න ඇතිවනවා මුදල් ඇත්නම් ප්‍රශ්න සියල්ලම අවසානයි කියලා. මුදල් තියෙන පුද්ගලයෙක් තමන්ගේ රෝග තත්ත්වය නිසා දුකට පත් වෙන්න පුළුවන් මහරහතන් වහන්සේලාට වුණත් ප්‍රශ්න තිබෙනවා. නමුත් ප්‍රශ්න ඉදිරියේ උන්වහන්සේලා අකම්පිතයි. ඒ වගේ හැම පුද්ගලයකුටම හිතේ දුක ඇතිවනවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධයි.දුකක් දැනුනාම අපි ඉක්මන් විසඳුම් සොයනවා. නමුත් මේ විසඳුම් සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්. සමහර විට බොහොම ආවේගශීලී විසඳුම් විය හැකියි. එහෙම නම් අපේ හිතට දුකක්, ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වුණාම එය විසඳා ගන්නේ කොහොමද?
හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි
අපේ ජීවිතයේ ප්‍රශ්නයක් ඇතිවුණාම ඒ දුක තවත් කෙනකු සමග බෙදාගන්න තිබෙනවා නම් හිතට සැහැල්ලුවක් ඇතිවනවා. නමුත් ඒ සවන් දෙන්නා කළ්‍යාණ මිත්‍රයෙක් විය යුතුයි. බොහෝ දෙනෙක් තවත් අයකුගේ ප්‍රශ්නවලට සවන් දෙන්නේ ඔවුන්ට සහනයක් දීමට නොවෙයි, ඒ ප්රශ්නය මුල් කරගෙන රස විඳින්න. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් ඇතිවුණාම ඒ ගැන කියන්න කළ්‍යාණ මිත්‍රයෙක් සිටීම වැදගත්.
මනස ශක්තිමත් කරගන්න
ඔබට දුකක් ඇති වුණාම ඔබේ සිත ශක්තිමත් කරගන්න. අපේ බුදු හාමුදුරුවෝ අපට දුක ගැන දේශනා කළ ධර්මය ගැන සිතන්න, දුක – දුකට හේතුව – දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අනුව “පරිඥානව පිරිසිඳ” දැනගන්නා ලෙස දේශනා කළහ.
අපට දුක ඇතිවන විවිධ හේතු තිබෙනවා. අපි වයසට යනවා. ශක්තිය පිරිහෙනවා. මහාපරිනිබ්බාන සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ ආනන්ද මම දැන් දිරාපත් කරත්තයකට සමානයි යනුවෙන් වදාළහ.ඒ වගේම අපි රෝගාබාධයන්ට පත්වනවා. ඒ නිසා දුක්විඳිනවා. බුදුරජාණන් වහන්සේ පවා හිසේ රුදාව, කොන්ද වේදනාව සහ අවසානයේදී ලේ අතීසාරය යන රෝග නිසා පීඩා වින්ද බැව් බුද්ධ චරිතයේ සඳහන් වනවා. ඒ නිසා රෝග තත්ත්වයක් ඇතිවුණාම ඒ ගැන පසුතැවෙන්න එපා. මටමයි වෙන්නේ, මගේ අවාසනාව යැයි පසුතැවෙන්න එපා.
හිතේ කැලඹිලි බව නැති කරන්න
නතං මාතා පිතං කයිරා අපට ප්‍රශ්නයක් ඇති වූ විට එයට මවගෙන් පියාගෙන් හෝ සහ ලේ ඥාතීන්ගෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. සම්මා පණීදිතං චිත්තං. තමාගේ සිත තමා විසින්ම සන්සුන් කරගන්න.කැලඹිලි සහිත ජලයකදී අපට පැහැදිලි වතුර දකින්න ලැබෙන්නේ නැහැ.
ඒ වගේ අපේ හිතේ ක්‍රෝධය, වෛරය වගේ ක්ලේශ පවතින විට හිත සන්සුන් කර ගන්න අපහසුයි. ඒ නිසා සිත සන්සුන් වන කුමන හෝ ඔබට ගැළපෙන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න. අද තාක්ෂනය දියුණුයි. මෘදුකාංග බොහොමයි. ඒ නිසා ධර්ම දේශනාවකට සවන් දෙන්න. පන්සල් මලුවකට ගොස් අමදින්න. ඒ වගේ සිත සන්සුන් වන ඔබට ගැළපෙන කුමන හෝ කටයුත්තක නිරත වන්න.
වැරදි පිළිගන්න
වැරදි සිදු නොවුණ අයෙක් ලෝකයේ නැහැ. අපි කා අතිනුත් වැරදි සිදුවනවා. නමුත් වැරැද්දක් වූ තැන එය නොමැළව පිළිගන්න. අද බොහෝ පවුල්වල පවා අඹුසැමියන් අතර ඇතිවන ගැටුම්වලටත් මෙය හේතුවක්. බුදුරජාණන්වහනසේ මෙය“ ආයතී සංවරං ” යනුවෙන් දේශනා කළහ. අතීත වැරදි පාදක කරගෙන වර්තමානයේදීත් චෝදනා කරන්න එපා.
උන්වහන්සේ මේ වෙනුවෙන් කදිම උපමාවක් දේශනා කළහ. අසූචි ගොඩක් ඇති විට අප එයට වැලි දමා වසනවා. එතැනින් පසුව එය නැවත අවුස්සන්නේ නැහැ. එය ඇවිස්සීමෙන් ඇති වන්නේද දුර්ගන්ධයක්.
ඒ නිසා වරදක් වූ තැන එය පිළිගන්න.පීතෘඝාතක අජාසත් රජතුමා පියා මැරුවත් එම වරද පිළිගත්තා. සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවේ සඳහන් වන අන්දමට අනාගතයේදී බුදුබව ලැබීමට තරම් හේතුවාසනා ලබන්නට පිං ඇති බැව් දේශනා කළා.
බුද්ධිමත් වෙන්න
අපේ ජීවිතයේ බුද්ධිමත් බව ඉතාම වැදගත්. සමාජයෙන් අපි දැනුවත් විය යුතුයි. තැනකට එන කතා කරන වාඩි වෙන පිළිවෙල තුළ පවා අපේ බුද්ධිමත්බව වගේම සංවර බව ප්‍රදර්ශනය වෙනවා.
අපි බොහෝ විට පුද්ගලයන් විවේචනය කිරීමේදී කතාවෙන්ම තේරෙනවා කිසිම හැදියාවක් නැති බව. මෙලෙස පුද්ගලයන් තක්සේරු කිරීමට පුරුදුව සිටිනවා. ඒ නිසා දුකක් ඉදිරියේ වුණත් එය කළමනාකරණය කරගැනීමට නම් බුද්ධිමත් බව අවශ්‍ය වෙනවා.
කෙටිකාලීන විසඳුම් නොව දිගුකාලීන විසඳුම් ගැන සිතන්න
කෝසම්බි ජාතක කථාවේදී දීඝීති කෝසල රජතුමා තම පුතාට දුන් අවවාදය ඉතාම වැදගත්.පුත දීඝායු ළඟ නොබලන්න. දුර බලන්න. ඒ අවවාදය පිළිගත් නිසා කෝසල කුමාරයා මරණයෙන් බේරුණා.
පියා මරණයට පත් කිරීමට එරෙහිව කෙටිකාලීනව ප්‍රතිචාර දැක්වූවා නම් කුමාරයාත් මරණයට පත් වෙනවා. අද බොහෝ දෙනෙක් දුකක් ඇති වුණාම ජීවිතය නැති කරගන්නවා. නමුත් එය විසඳුමක් නොවෙයි. ඒ වුණත් දිගුකාලීනව විසඳුමක් සොයන්නෙ නැහැ.
අනුන්ට ඕන විදිහට ඉන්න අවශ්‍ය නැහැ
ඔබ නිතරම ඔබ වෙන්න. තවත් අයකුට අවශ්‍ය විදිහට ඔබ ජීවත්විය යුතු නැහැ. ඔබ ස්වාධීන පුද්ගලයෙක් ලෙසින් පෞරුෂය ගොඩ නගාගන්න.
අවශ්‍ය තැනදි පසු බසින්න
ඔබ රූස්ස ගස් දැක ඇති ඒවා සෘජු නිසාම සුළඟක් ඉදිරියේ කඩා වැටෙනවා. නමුත් නම්‍යශීලි පඳුරු සුළංවලට ඔරොත්තු දෙනවා. ඒ නිසා නොනැසී පරිසරයට ඔරොත්තු දෙනවා. නමුත් පමණට වඩා සෘජු පුද්ගලයන්ට ජීවත්වීම අපහසුයි. ඒ නිසා ඔවුන් තමන්ගේ ප්‍රශ්න තවත් වැඩි කර ගන්නවා.
ආලවක සුත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධිමත් පසුබැසීම නිසා ආලවක යක්ෂයා දමනය කළ ආකාරය ගැන සඳහන් වෙනවා. බුදු රජාණන්වහන්සේ ආලවකගේ විමානයට වැඩියා.
ඒ අවස්ථාවේදී ආලවක යක්ෂයා “නික්ඛම සමණාතී” යැයි කියත්ම බුදු රජාණන්වහන්සේ එළියට වැඩියා. නැවතත් “පචිය සමණා“ තී“ කියත්ම බුදු රජාණන්වහන්සේ ඇතුළට වැඩියා. මේ විදිහට බුදු රජාණනවහන්සේ යක්ෂයා“ ඛිවාහං තං ආවුසො නික්ඛමිස්සාමි යං තෙ කරණීයං තං කරොහිතී”
දැන් මම එළියට නොබසමි යක්ෂය නුඹට බුද්ධිමත් පසුබැසීම නිසා යක්ෂයාගේ ප්‍රතිචාර වෙනස් වුණා. මුල් අවස්ථාවේදී බුදු රජාණන්වහන්සේ යක්ෂයා කියන විධාන අනුගමනය නොකළා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
බුදු රජාණන්වහන්සේ ගැන ආලවක අසා තිබුණේ බුද්ධ බලය සහිත ආනුභාව සම්පන්න චරිතයක් විදිහටයි. නමුත් මගේ විධානයට අවනත වුණා යැයි යක්ෂයා සිතුවා. එයින් මගේ දැඩි කෝපය අඩුවුණා. ඒ නිසා අවශ්‍ය තැනකදී බුද්ධිමත් පසුබැසීම ලැජ්ජාවට හෝ නින්දාවට කාරණාවක් නොවෙයි.
ප්‍රශ්න පසුපස හඹා යන්න එපා
බොහෝ දෙනෙක් එක ප්‍රශ්නයක් ඇති වුණාම එතැනින් නවතින්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේ විදිහට ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා දුක තවත් වැඩිවන බව තේරුම් ගැනීම වැදගත්.
රාජකීය පණ්ඩිත පූජ්‍ය
කන්දේගෙදර සෝභිත
ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය,
රත්මලාන
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️