පෙරේරා මහත්මියගේ වැඩිමහල් දියණිය ඉතා රූමත් තරුණියක්. ඇය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන දක්ෂ ශිෂ්‍යාවක්. ඇය ඇගේ රූපය පිළිබඳ ඇගේ මිතුරියන්ට වඩා දැඩි සැලකිල්ලක් දැක්වූ තරුණියක්. දිනක් කැඩපතකින් තම රුව බලමින් සිටි ඇයට අමුතු දෙයක් නිරීක්ෂණය වුණා.
බෙල්ලේ ඉදිරිපස පහළ කොටසේ, පපුවේ මැද ඇටය හෙවත් උරෝස්ථියට මදක් ඉහළින් තරමක් දකුණට වන්නට බෙල්ල ඉදිමී තිබුණා. මෙයින් තැතිගත් ඇය හිමිහිට තම ඇඟිලිවලින් එය පිරිමැද බැලුවා. කෙළ ගිලින විට එය ඉහළට හා පහළට චලනය වන බවද දක්නට ලැබුණා. දැඩි ලෙස බියට පත් වූ ඇයට ඉබේටම කෑගැසුණා.
“මොකද කෙල්ලේ කෑ මොරදෙන්නේ? දන්නේ නැද්ද මල්ලී විභාගෙට පාඩම් කරනවා කියලා.” මෙසේ පවසමින් පෙරේරා මහත්මිය ඇය සිටි කාමරයට ඉක්මනින් ආවා.
“අනේ අම්මේ! මගේ බෙල්ලේ ගෙඩියක් අහුවෙනවා. මට බයේ බෑ අම්මේ.”
“කෝ බලන්න. හ්ම් ඇත්ත නේන්නම්. මේකිට ඇස්වහ කටවහද කොහෙදෝ. කොහෙද ඉතින් ඕනවට වඩා පෙනේ පුප්පනකොට මොකක් හරි වින්නැහියක් වෙයි කියල මට හිතුණා.”
“අනේ අම්මේ ගෑනු ළමයෙක් වුණාම ඉතින් ලස්සනට ඉන්න ඕනනේ. එතකොට ඉතින් කාටද ආඩම්බර? අම්මටනේ.”
“ඒකෙන් වැඩක් නෑ දැන් ඉතින් මොකද කරන්නේ?”
“හෙට උදෙන්ම ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නමු”
පහුවදා උදේ පාන්දරින්ම පෙරේරා මහත්මිය සහ ඇගේ දියණිය රෝහල වෙත යාමට පිටත් වුණා. බස් නැවතුම් පොළේදී ඔවුන්ට රොසලින් අක්කා හම්බ වුණා.
රොසලින් අක්කා කියන්නේ ගමේ ඕපදූප මල්ල. ගමේ ගොඩ පෙරකදෝරු වැඩ සියල්ලම කරන්නේ ඇය විසිනුයි. වයස් බේදයකින් තොරව බාල මහලු හැමෝම ඇයව හැඳින්වූයේ රොසලින් අක්කා කියලයි.
“පෙරේරා නෝනා! මොකද මේ උදේ පාන්දරම දෝනියැන්දත් එක්ක? බෑරැක් යන්නද?”
“අපි මේ ඉස්පිරිතාලෙ යන ගමන්. දුවගේ
බෙල්ලේ පොඩි ගෙඩියක් ඇවිල්ලා. මොකක්ද කියල බලාගන්න යන්නේ.”
“බුදු අප්පච්චියේ! ගිය මාසෙත් අල්ලපු ගමේ මිනිහෙක් නැතිවුණා බෙල්ලෙ ගෙඩියක් ඇවිල්ලා. මොකක්ද දන්නෙ නෑ නේද පෙරේරා නෝනා?”
“දන්නේ නෑනේ. ඒකනේ මේ ඉස්පිරිතාලෙට යන්නේ” තරමක් තරහින් පෙරේරා නෝනා කීවා.
“හැබැයි ඉතින් ඕවට ඉස්පිරිතාලේ ගිහිල්ල ඉංගිරීසි බෙහෙත් ගත්තට නම් හරියන්නේ නෑ. කහටගස්දිගිලියේ ඉන්නවලු හොඳ වෙද මහත්තයෙක්.”
“නෑ නෑ අපි ඉංග්‍රීසි බෙහෙත් කරන්නේ නෑ. අපි කරන්නේ ප්‍රංශ බෙහෙත්නේ.” මෙච්චර වෙලා කටවහගෙන සිටි පෙරේරා මහත්මියගේ දියණිය දැඩි කෝපයෙන් යුතුව කීවා.
එනපොට හොඳ නැති බව තේරුම්ගත් රොසලින් අක්කා රූං ගාලා එතනින් මාරු වෙලා ගියා. ඒ වෙලාවෙම ආපු බස් එකේ නැගල පෙරේරා මහත්මියයි ඇගේ දුවයි ඉස්පිරිතාලෙට ගියා. ඉස්පිරිතාලෙදී මේ දෙන්නගේ
කතාව හොඳින් අහගෙන හිටිය වෛද්‍යවරයා ඇගේ බෙල්ල හොඳින් පරීක්ෂා කරල බැලුවා.
“හ්ම් බෙල්ලේ පොඩි ගැටලුවක් තියෙනවා තමයි. අල්ලලා බැලුවහම ගෙඩියක් අහුවෙනවා. ඒක තියෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ දකුණු ඛණ්ඩිකාවේ. ඒක මොන වගේ එකක් ද කියලා නම් තාම කියන්න බෑ. ඒක සාමාන්‍ය ගෙඩියක් වෙන්නත් පුළුවන්. නරක ගෙඩියක් වුණත් වෙන්න පුළුවන්.”
“නරක ගෙඩියක් කියුවේ ඩොක්ටර්?”
“නරක ගෙඩියක් කියුවහම ඔයාට හිතුණේ මොකක් කියලද?”
“පිළිකාවක් වගේ ද ඩොක්ටර්”
“ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි තයිරොයිඩ් ග්‍රන්ථියේ තරුණ ගැහැනු ළමයින්ට හැදෙන පිළිකා වැඩි හරියක්ම නිසි ප්‍රතිකාර කලට වේලාවට කරගත්තහම නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්.”
“දැන් මම මොකක්ද කරන්න ඕනේ ඩොක්ටර්?‘
“ඔයා අදම බෙල්ලේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරගන්න. ඒකෙන් ඔය බෙල්ලෙ තියෙන ගෙඩිය ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ ගෙඩිය ඇතුළෙ රුධිර නාලිකා බහුලව වර්ධනය වෙලා තියෙනවද? බෙල්ලේ කුද්දැටි අසාමාන්‍ය විදිහට ලොකු වෙලා තියෙනවාද? ආදී ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ ගෙඩිය සැක සහිත එකක් නම් එවෙලේම FNAC, සෛල පටල පරීක්ෂාවට සාම්පල ලබාගන්නත් පුළුවන්.”
ප්‍රමාද නොකර එදිනම ඇය බෙල්ලේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව කරගත්තා. ඇගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තිබූ ගෙඩිය පිළිකාවක් බවට සැක සහිත එකක් වූ බැවින් සෛල පටල පරික්ෂාවට සාම්පල ලබාගැනීමටද සිදුවුණා. ඊට අමතරව බෙල්ලේ දකුණු පැත්තේ සැක සහිත කුද්දැටියක් තිබූ බැවින් එයද පරීක්ෂා කර බැලීමට සෛල සාම්පලයක් ලබාගත්තා. තවද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලබාගැනීමට T4, TSH සහ T3 නම් රුධිර පරීක්ෂාවක් සිදුකිරීමට රුධිර සාම්පල ලබාගැනීමද සිදුවුණා.
ඉහත පරීක්ෂණවල ප්‍රතිඵල බලාගැනීමට දින හතරකින් පමණ රෝහලට යාමට සිදුවුණා. රුධිර පරීක්ෂාවන් සියල්ලම සාමාන්‍ය තත්ත්වයේ තිබුණද තයිරොයිඩ් ග්‍රන්ථියේ තිබූ ගෙඩිය ‘පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා’ නම් පිළිකාව සහිත ගෙඩියක් බවත් එම පිළිකාවට ආසන්නවම විශාල වී තිබූ කුද්දැටියටද එම පිළිකාව පැතිරී තිබූ බවත් ඇයට දැනගන්නට ලැබුණා.
“අනේ ඩොක්ටර් මට මේ පිළිකාව හොඳ කරගන්න බැරිවෙයිද?
“කුද්දැටිවලට පැතිරී තිබුණත් ‘පැපිලරි තයිරොයිඩ් කසිනෝමා’ වර්ගයේ පිළිකා සඳහා නිසි සම්මත ප්‍රතිකාර කලට වෙලාවට කරගත්තහම නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.”
“ අනේ ඩොක්ටර් මගේ දුව තාම තරුණ ගෑනු ළමයෙක්. කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්නේ. එයාගේ අනාගතය මේ පිළිකාව නිසා අඳුරු වෙලා යයිද?” ඇඬූ කඳුළින් යුතුව පෙරේරා මහත්මිය අසන්නට වුණා.
“ මම දැන් කිව්වනේ මේ වර්ගයේ තයිරොයිඩ් පිළිකාවක් නිසා මේ වයසේ ගෑනු ළමයකුගේ ජීවිතය අඳුරු වෙන්නේ නෑ. මේ පිළිකාව සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුළුවන්.”
“ඩොක්ටර් මම දැන් මොකක්ද කරන්න ඕන.”
“ඔයාව මම දැන් ඔපරේෂන් කරන ඩොක්ටර් කෙනෙකුට යොමු කරනවා. එයා කියලා දෙයි මොන වගේ ඔපරේෂන් එකක්ද මේකට කරන්න ඕන කියලා.”
නිරපරාදේ කාලය නාස්ති කරන්නේ නැතිව ඉතා ඉක්මනින්ම ශල්‍ය වෛද්‍යවරයා හමුවීම සිදුවුණා. ඇයට සෑදී තිබුණ “පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා” කියන තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව සඳහා කරනු ලබන පළමු ප්‍රතිකාරය වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමයි.
හැබැයි බෙල්ලේ කුද්දැටියකටත් පිළිකාව පැතිරී තිබූ නිසා එම කුද්දැටියත් තවත් සැක සහිත කුද්දැටි බෙල්ලේ තිබේ නම් ඒවාත් ඉවත් කිරීමට සිදුවෙනවා. මේ සියල්ලටම කලින් ඇගේ ස්වර තන්ත්ර හෙවත් “වෝකල් කෝඩ්” හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ තිබේදැයි පරීක්ෂා කර බලන්න වෙනවා. මේකට හේතුව වන්නේ ස්වර තන්ත්රවලට ගමන් කරන ස්නායු දෙක තයිරොයිඩ් ග්‍රන්ථිය ආසන්නයෙන්ම ගමන් කරන නිසා එම ස්නායුවකට ශල්‍යකර්මය අතරතුර යම් හානියක් සිදුවුවහොත්
රෝගියාගේ කටහඬ නැතිව යා හැකි නිසා. ශල්‍යකර්මයට පෙර එම ස්වරතන්ත්රවල තත්ත්වය දැනගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. තවද ශල්‍යකර්මය අතරතුර ස්වරතන්ත්රවල ක්‍රියාකාරීත්වයට වැදගත් වන වම් සහ දකුණු ස්නායු දෙකටම හානි සිදුවුවහොත් සවර්තන්ත්ර දෙකේම ක්‍රියාකාරීත්වය අඩපණ වී ඒවා මඟින් ස්වරාලය හෙවත් පෙනහලුවලට වාතය ගමන් කරන බටය සම්පූර්ණයෙන්ම අවහිර වෙන්න පුළුවන්.
එවැනි අවස්ථාවක් ඉතා කලාතුරකින් වුවද ඇතිවුවහොත් ස්වරතන්ත්රවලට පහළින් බෙල්ලේ ඉදිරිපසින් ස්වරාලය දක්වා සිදුරක් සාදා වාතයේ ගමන් කිරීමට බටයක් ස්ථානගත කිරීමට සිදුවෙනවා. මෙයට “ට්රැකියොස්ටොම් ටියුබයක්” දැමීම කියාත් කියනවා.
ශල්‍යකර්මයට පෙර ඉහත සඳහන් කරන ලද සංකූලතා ගැන රෝගියා සහ ඇයගේ පවුලේ අය දැනුවත් කර එවැනි ප්‍රශ්නයක් සිදුවුවහොත් “ට්රැකියොස්ටොම් ටියුබයක්” දැමීම සඳහා රෝගියා දැනුවත් කර ලබාගන්නා කැමැත්ත හෙවත් “ඉන්ෆෝර්ම් කන්සෙන්ට්” එක ලබාගත යුතු වෙනවා. තයිරොයිඩ් ශල්‍යකර්මයෙන් පසු තාවකාලිකව කෙටි කාලයකට රෝගියාගේ කටහඬ නැතිව යන්නත් පුළුවන්. ශල්‍යකර්මය අතරතුරදී ස්වරතන්ත්රවලට සම්බන්ධ ස්නායු ඇදී යාම නිසාද ශල්‍යකර්මයෙන් පසු ඇතැම්විට තයිරොයිඩ් ග්‍රන්ථිය තිබූ ස්ථානයේ පටක ඉදිමීම නිසා ඇතිවන තෙරපීම නිසාද මෙසේ වෙන්න පුළුවන්. හැබැයි ටික කාලයකින් මේ තත්ත්වය නැවතත් යථා තත්ත්වයට පත්වෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ වම් සහ දකුණු ඛණ්ඩිකාවල ඉහළ සහ පහළ තවත් වැදගත් කුඩා ග්‍රන්ථියක් බැඟින් තිබෙනවා. එම ග්‍රන්ථි හතරට කියන්නේ “පැරා තයිරොයිඩ් ග්‍රන්ථි” කියලයි. එම ග්‍රන්ථිවල නිපදවන හෝමෝනයකින් තමයි රුධිරයේ කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය අගයක තබාගන්නේ.
ඉහත ග්රන්ථිවලට හානියක් සිදුවුවහොත් එම හෝමෝනයේ අඩුව නිසා රුධිරයේ කැල්සියම් අඩුවෙනවා. මෙලෙස රුධිර කැල්සියම් ප්‍රමාණය අඩු වූ විට ස්නායුවල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. මේක මුල් අවස්ථාවේදී දැනෙන්නේ කට සහ නහය අවටත් කකුලෙහි සහ අතේ ඇඟිලිත් හිරිවැටීමක් ලෙසයි.
මේ තත්ත්වයේදී රෝගියාට අවශ්‍ය කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමෙන් ඇතිවිය හැකි විශාල ප්‍රශ්න ප්‍රමාණයක් වළක්වා ගන්න පුළුවන්. එසේ නොමැතිව මේ මුල් රෝග ලක්ෂණය ගණන් නොගෙන සිටියොත් තවදුරටත් රුධිරයේ කැල්සියම් අඩුවී හුස්ම ගැනීමට වැදගත් වන පපුවේ මාංශ පේශී පවා අකර්මන්‍ය වී රෝගියාට හුස්ම ගැනීම අපහසු විය හැකියි. එවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩිකර යථා තත්ත්වයට පත් කරගන්නා තුරු යන්ත්‍රවලට සවිකර කෘතිම ශ්වසනය පවා ලබාදීමට සිදුවිය හැකියි.
ඉහත ආකාරයට පැරා තයිරොයිඩ් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය අඩපණ වී යන්නේ ශල්‍යකර්මය මඟින් එම ග්‍රන්ථි සිරුරෙන් ඉවත් වී තිබීම හෝ ශල්‍යකර්මයෙන් පසු එම ග්රන්ථිවලට හරියාකාරව රුධිරය නොලැබී ඒවා මියගොස් තිබීම නිසයි. නමුත් වාසනාවකට පෙරේරා මහත්මියගේ දියණියට නම් ඉහත සංකූලතා කිසිවක් ඇතිවුණේ නෑ.
ඇයව රෝහලින් නිදහස් කර ගෙදර යවන විට ඇයට හොඳින් ශබ්දය පිටකර කතාකිරීමට හැකියාව තිබුණා. තවද ඇයගේ රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අවශ්‍ය සාමාන්‍ය අගයන් අතර පැවතුණා. පෙරේරා මහත්මියගේ දියණියට තිබූ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවට ඊළඟට කරන ලද ප්‍රතිකාර ගැන තවත් ලිපියකින් සාකච්ඡා කරමු.
හරින්දී ලියනගේ ✍️