අම්මා, තාත්තා ඇසුරේ හැදෙන වැඩෙන දරුවන්ට වඩා අත්තම්මා, සීයා ඇසුරේ හැදෙන දරුවන් හැකියාවන්ගෙන් පෝෂණය වන බව විවිධ පර්යේෂණ මගින් හඳුනාගෙන තිබෙනවා. කුරුණෑගල පොල්පිතිගම පදිංචි මල්ෂි කිත්මිනි බණ්ඩාරගේ ලමා කාලයත් අත්තම්මා සමග ගෙවුණා.
අත්තම්මා සමග ගතකළ බාල කාලය ගැන…
මගේ අම්මය තාත්තයි දෙන්නම රැකියාවක් කළා. ඒ නිසා මම අත්තම්මා සමග බාල කාලය ගතකළා. මගේ අත්තම්මා පෙර පාසල් ගුරුවරියක්. ඇය නිතරම මටත් පුංචි පුංචි නිර්මාණ කරන්න ඉඩ දුන්නා. බිත්තර කටු පාට කරනවා වගේ වැඩ මම ආසාවෙන් කළා.
ඔබේ මූලික අධ්‍යාපනය…
පළමු වසර වෙනුවෙන් මම පොල්පිතිගම ජාතික පාසලට ඇතුළත් වුණා. මම පුංචි කාලයේ ඉඳලාම චිත්රවලට කැමැතියි. ඒ නිසා මම හිතට එන අදහස් චිත්‍රයට නැගුවා. මම බොහොම නිදහස් විදිහට බාල කාලය ගත කළා.
මේ අතරේ මම පහ වසර ශිෂ්‍යත්වය විභාගය සමත් වෙලා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ බාල කාලය පංති කාමරයට වඩා ගෙවුනේ සෞන්දර්ය කාමරේ. නැටුම්, සංගීතය, නාට්‍ය, බාලදක්ෂ වගේ කටයුතුවලට මම සම්බන්ධ වුණා.
නමුත් ඔබ චිත්‍ර විෂයක් විදිහට තෝරාගත්තේ නැහැ…
ඔව්. විෂයන් තෝරා ගැනීමේදී මම චිත්‍ර විෂයක් විදිහට තෝරාගත්තේ නැහැ. ඒ වුණත් මගේ පාඩම් පොත් පිටුපස වගේම මගේ පොත් මේසයේ වැඩිපුරම තිබුණේ මම ඇඳපු චිත්‍ර. නමුත් මට චිත්‍ර අඳින්න හැකියාවක් තිබෙන බව කවුරුත් තේරුම් ගෙන තිබුණේ නැහැ. කොටින්ම ඒ බව මමවත් දැනගෙන සිටියේ නැහැ. හැබැයි චිත්‍ර වෙනුවෙන් තිබෙන හැකියාව මම අඳුනාගත්තා නම් අද මම චිත්‍ර අංශයෙන් මීටත් වඩා ඉදිරියෙන් ඉන්න තිබුණා.
උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන්…
මම වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල එනකම් තිබෙන විවේකයේදී නැවත චිත්‍ර අඳින්න පටන් ගත්තා. මට ජංගම දුරකථනයක් තිබුණෙත් නැහැ. අප්පච්චිගෙ දුරකථනයෙන් Face Book ගිණුමක් හදාගත්තා.
මම ඇඳපු චිත්‍රයක් Face Book දැම්මා. බොහෝ දෙනෙක් මගේ චිත්‍රය අගයලා තිබුණා.මගේ හොඳම යාළුවා එයාගේ චිත්‍රයක් ඇඳලා දෙන්න කිව්වා. මම හැකි උපරිමෙන් ඒ චිත්‍රය ඇඳලා දුන්නා. යාළුවා ගොඩක් සතුටු වුණා. බිස්නස් පේජ් එකක් පටන්ගන්න කියලා මට එයා කිව්වා.
බිස්නස් පේජ් එකට මුල්ම ඇනවුම ලැබුණා…
යාළුවා කියපු නිසා මම බිස්නස් පේජ් එකක් පටන් ගත්තා. මට මුලින්ම ඇනවුමක් ලැබුණා. A4 කොළවලින් ඉංග්‍රිසි හෝඩියේ අකුරු 26 කපලා ඉල්ලුවා. මගේ ළඟ තිබුණ A4 කොළවලින් ඒ වැඩේ කරල දුන්නා. මට ඒ වෙනුවෙන් මුදල් ලැබුණා. ඒවායින් මගේ නිර්මාණ කටයුතුවල අවශ්‍ය දේවල් මිලට ගත්තා.
අම්මා, අප්පච්චි උදව් වුණද?
නැහැ. මම විනෝදාංශයක් විදිහට චිත්‍ර අඳින කොට විරුද්ධ වුණේ නැති වුණත් ව්‍යාපාරයක් වෙනුවෙන් චිත්‍ර අඳින්න පටන් ගැනීම ගැන කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මුදල් අතපත ගාන්න පටන් ගත්තාම අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන කැපකිරීම නැතිවෙයි කියලා ඒ ගොල්ලන් බය වුණා.
ඒ නිසා මම තනියම ගමනක් පටන්ගත්තා. මට අවශ්‍ය දේවල් ගන්න සල්ලි අවශ්‍යයිනේ. ඒ හින්දා මම දෙමළ භාෂාව උගන්වන්න පංති පටන් ගත්තා. මේ මුදල්වලින් ටිකක් ඉතුරු කළා. පසුව මගේ නිර්මාණවලට අවශ්‍ය බඩු ගත්තා.
පුංචි වයසේ ඉන්න ඔබට ව්‍යාපාර ගැන දැනුමක් තිබුණාද?
නැහැ. චිත්‍ර අඳින්න පුළුවන් වුණත් ව්‍යාපාරයක් හසුරුවන දැනුම මට තිබුණේ නැහැ. ඒ නිසා මම “යූ ටියුබ් ” වීඩියෝ බැලුවා. ගනුදෙනු කරුවන් සෙව්වා.මේ අතරේ මගේ නිර්මාණවලට ඉල්ලුමක් ලැබුණේ මාව දන්නා අයගෙන් නොවෙයි.
මං ගැන කිසිම දෙයක් නොදන්න ලොකු ව්‍යාපාරිකයන්ගෙන් ඇනවුම් ලැබුණා. ඒක මට ලොකු ශක්තියක් වුණා. මං ගැන මට විශ්වාසය ඇතිවුණා.
ඇනවුම් වැඩියෙන් ලැබෙද්දී මට තනියම කරගන්නත් අපහසුයි. මේ වෙලාවේ අම්මායි,අප්පච්චියි මගේ උදව්වට හිටියා. ලැබෙන ඇනවුම් බාරදෙන්න අප්පච්චි ගියා. ව්‍යාපාරය දියුණු වෙද්දී සමහර යාළුවන් සහ නෑදෑයන් මගෙන් ඈත්වුණා. වෙනදාට ළගින් නොසිටිය අය සමීප වුණා. විවිධ ක්ෂේත්රවල ගනුදෙනුකරුවන් සම්බන්ධ වුණා.
නිර්මාණ රට යවන්නත් අවස්ථාවක් ලැබුණ බව ඔබ කිව්වා…
ඔව් මගේ බිස්නස් පිටුව ඔස්සේ ඇනවුම් දහයක් පමණ විවිධ රටවල්වලටත් යැව්වා. මේ ලැබුණ මුදල්වලින් මම ජංගම දුරකථනයක් ගත්තා. ප්‍රතිඵලවලින් උසස් අධ්‍යාපනය ලබන්න වෙනවා.
ඒ වෙනුවෙන් ලැප්ටොප් එකක් අවශ්‍ය වෙනවා. ඒකත් ගත්තා. විභාග ප්‍රතිඵල එනතෙක් මුල්‍ය ආයතනයක පුහුණුවට සම්බන්ධ වුණා. ඒ පුහුණුවෙනුත් මම බොහෝ දේවල් ලබාගත්තා.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පසුව…
උසස් පෙළ ප්‍රතිඵල ආවා. මට උසස් අධ්‍යාපනය ලබන්න සුදුසුකම් තිබුණා. දැන් ආයෙමත් බිස්නස් එක නවත්තන්න කියන තැනට ආවා. උසස් අධ්‍යාපනයයි බිස්නස් එකයි දෙකම එකට පටලවා ගන්න එපා. බිස්නස් එකට ගියොත් ඉගෙන ගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ කිව්වට මම බිස්නස් එක නැවැත්තුවේ නැහැ. ඉගෙනීමේ කටයුතු සමග බිස්නස් එකත් කර ගෙන ගියා.
පුරුදු විදිහට හොඳින් ඇනවුම් ලැබුණාද?
නැහැ. කොච්චර මහන්සි වුණත් අන්තිමට වියදම් කළ මුදලවත් නොලැබෙන අවස්ථා තිබුණා. හරිම අසරණ වුණ වෙලාවල් අනන්තයි. ඒත් මම නැවතුනේ නැහැ. බිස්නස් එක ඉදිරියටම කරගෙන ගියා.ඔය අතරේ මට Modeling show වලට අවශ්‍ය ඇඳුම් වෙනුවෙන් ඇනවුම් ලැබුණා. ටී ෂර්ට්, බෑග් වගේ විවිධ ඇනවුම් ලැබුණා.
“ Classy craft” පිටුව සම්පූර්ණයෙන්ම පින්තාරු වැඩ වෙනුවෙන්’ සාරි, බෑග්, බිත්ති පින්තාරු, කැන්වස් පින්තාරු, පැන්සල් චිත්‍ර, තෑගි පෙට්ටි සහ උපන්දින සුබපැතුම් පත් ඇනවුම් ලබා ගන්නවා. “ Classy Style ” පිටුවෙන් ගවුම්, ළමා ඇඳුම්, කමිස, කලිසම්, කරාබු සහ පාවහන් වෙනුවෙන් ඉල්ලුම් ලැබෙනවා.
අලුත් ව්‍යාපාර දෙකකටත්…
මම “ Classy cloth ” යනුවෙන් කාන්තා ඇඳුම්, පාවහන් කරාබු ආදිය අලෙවි කරන පිටුවට අමතරව “ Classy Nature ” පේජ් එකක් පටන් ගත්තා. එය තෑගි භාණ්ඩ වෙනුවෙන්ම විවෘත කළ කොටසක්. මේ පිටුව ඔස්සේ විසිතුරු පැළ අලෙවි කරනවා. මේ පැළ අපේ අම්මා වගා කරනවා.
මැටි පින්තාරු, පෑන් රඳවන වෙනුවෙන් වූ ඇනවුම් මේ පිටුව ඔස්සේ ලබාගන්නවා. ඒ වගේම බෑග් මහන්න සහ ඇනවුම් ලැබුණම උදව්වට මට තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාත් මට විශාල ශක්තියක්. මේ වෙන විට මම ඇනවුම් 405 ක් පමණ ලබාගෙන තිබෙනවා.
ජීවිතයට වාසනාව ගෙනා ව්‍යාපාරයක්…
ඔව්. මගේ ජීවිතයට වටිනාකමක් ලැබුණා. හැම දෙනාගේම ජීවිතයේ කුමන හෝ හැරවුම් ලක්ෂ්‍යයක් තිබෙනවා.මගේ ජීවිතයේ සන්ධිස්ථානය මෙතැන. කකුලෙන් අදින අය අතර මගේ සහායට සිටි ගුරුවරු, මව්පියන් , සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් බොහොමයි. මේ ව්‍යාපාරය තුළ මම විටෙක කැමරාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්. තවත් විටෙක නිරූපන ශිල්පිණියක්. මේ භුමිකාව තුළ මට සහයෝගය ලබාදුන් හැම දෙනාටම ස්තුතියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️