“මට වැඩිවෙලා හිටගෙන ඉන්න බැහැ. කකුල හොඳටම රිදෙනවා. හවස බලද්දී වළලුකර ඉදිමිලා. මගේ බර වැඩිද මන්දා. එහෙමත් නැත්නම් ගිය මාසෙ වැටුණ එකේ ප්‍රශ්නයක්ද දන්නෑ” මෙවැනි කතාබහ අපට හුරුපුරුදුයි. හරියට ඇවිදින්න, කෙලින් හිටගන්න, ජීවිතය වේදනාවෙන් තොරව ගෙවන්න ඇඟේ බර වැඩියෙන්ම දරාගෙන ඉන්න වළලුකර සන්ධිය හොඳින් පවත්වාගත යුතුමයි. ඒ නිසා වළලුකර සන්ධියට ඇතිවන අනතුරු සහ ආබාධ ගැන සුළුවෙන් හිතන්න හොඳ නැහැ.
වළලුකර සන්ධිය ලෙස හඳුන්වන්නේ කුමක්ද?
වළලුකර සන්ධිය අපේ ශරීරයේ තිබෙන මධ්‍යම ප්‍රමාණයේ සන්ධියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් විමසිල්ලෙන් බැලූවිට එම සන්ධිය ශරීරයේ මුළු බර දැරීමට සමත් සන්ධියක් ලෙස විශාල කාර්යයක් ඉටුකරන බව අපටම පෙනී යනවා. අපි ඇවිදින විට එක පාදයක් පොළොව මත තබා අනෙක් පාදය එසවීම කිරීමේදී මුළු ශරීරයේම බර දරන්නේ එක් පාදයක වළලුකර සන්ධිය.
උදාහරණයක් ලෙස කිලෝග්‍රෑම් අසූවක් බර පුද්ගලයෙක් ඇවිදීමේදී එක් වළලුකර සන්ධියක් මත කිලෝග්‍රෑම් 80 ක බර එකවිට යෙදෙන බව අපට විශ්වාස කර නොහැකි තරම්. නමුත් එය එසේමයි. උපතේ සිටම එම බර දැරීමට තරම් සුදුසු සන්ධාරණ හැකියාවක් (Stabality ) වළලුකර සන්ධිය නිර්මාණය වී තිබෙන අස්ථිවලට තියෙනවා.
වළලුකර සන්ධිය සෑදී තිබෙන්නේ…
වළලුකර සන්ධිය සෑදී තිබෙන්නේ අස්ථි තුනක එකතුවකින්
- Tibia (shine bone)
- Fibula (calf bone)
- Talus
මෙම සන්ධිය අසව් සන්ධියක් හෙවත් Hinge joint ලෙසත් හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ සරනේරුවෙක් මෙන් ඉහළ පහළ යෑමට එම සන්ධිය සමත් නිසා. පුද්ගලයකුගේ ශරීර බර දැරිය හැකි අයුරින් මේ සන්ධිය සකස් වී තිබෙන්නේ ඒ අයුරින්.
මෙම අස්ථි තුනම රේඛීයව ( Alignment) සන්ධිය තුළ පිහිටා තිබෙන අතර එම රේඛීය පිහිටීම වෙනස් වුවහොත් සන්ධිය තුළ මෘදු පටක ආස්තරණය විශාල ලෙස වෙනස් වීමකට ලක්වෙනවා. මෙහි ප්‍රතිඵලය Post traumatic osteoarthritis හෙවත් අනතුරකට පසු සන්ධිය ඉක්මණින් ගෙවීමට ලක්වන රෝගී තත්ත්වය ලෙස හඳුන්වනවා.
මෙම අස්ථි තුනම එකට සම්බන්ධව ඇති රේඛීය පිහිටීම හෙවත් Alignment එක වෙනස් වුවහොත් නැවත යථා තත්ත්වයට පත්කීරීමට හැකියාව ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවේ මූලධර්මවලට අනුව පමණයි.
ඒ හැර වෙනත් ක්‍රමවේදයකින් යථා තත්ත්වයට පත්කිරීම පහසු වන්නේ නැහැ. වළලුකර සන්ධියේ අස්ථි තුන සම්බන්ධව තිබෙන Alignment එක පියවි ඇසින් දැකීමට හැකියාවක් නොමැතිවීම, ඒ සඳහා විශේෂිත එක්ස් රේ උපකරණ අවශ්‍යවීම, අස්ථි විවෘතකර එම අස්ථි තිබිය යුතු අයුරින් පවතිනවාද යන්න බැලිය යුතු වීම වැනි හේතූන් මීට බලපානවා.
මෙවැනි තත්ත්වයකදී නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවීම Post traumatic osteoarthritis රෝග තත්ත්වය හෙවත් සන්ධිය ඉක්මණින් ගෙවීමේ රෝග තත්ත්වයට හේතු වනවා.
උදාහරණයක් විදියට වාහනයක ටයර්වල අලයිමන්ට් එක වෙනස් වුවහොත් ඉක්මණින් ටයර් ගෙවී යන බව අපි දන්නවා. එමෙන්ම එක් මිලිමීටරයක් තරම් කුඩා අන්දමින් වළලුකර සන්ධියේ සිදුවන වෙනස්වීමකින් 40% ක තරම් ප්‍රමාණයක් වළලුකර සන්ධිය වෙනස් වී ඒ මගින් සිදුකරන කාර්යයන් කෙරෙහි බලපෑමක් ඇතිකරනවා.
අපි දිනාපතා වැරදි අයුරින් ඇවිදීම කරන විට කකුලේ කාටිලේජ ගෙවී යනවා. එම ගෙවී ගිය කාටිලේජ නැවත සකස් කළ නොහැකියි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඉතා අඩු වයසින් කෙනෙකුගේ සන්ධි විනාශවීමයි. එවිට දීර්ඝ කාලීනව අධික කැක්කුම, ඉදිමීම, ඇවිදීමේ අපහසුතා සහ පාවහන් පැළදීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්.
මෙවැනි තත්ත්වයකට ප්‍රතිකර්ම ලෙස වෛද්‍යවරුන්ට සන්ධිවලට ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. එමනිසා අනතුරකට ලක් වී තමන්ට කිසියම් අයුරකින් වළලුකර සන්ධියේ සංකූලතාවක් තිබේ යැයි සැකයක් ඇති නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා එක්ස් රේ පරීක්ෂාවක් කර එහි ආබාධිත තත්ත්වයක් තිබේදැයි හඳුනාගැනීම ඉතාම වැදගත්.
අස්ථි අතර තිබෙන කාටිලේජ පිටතින් ලබාදෙන බෙහෙත් සහ ආලේපන මගින් නැවත වර්ධනය කළ හැකිද?
තවම ලෝකයේ ප්‍රතිඵල නිසැක වශයෙන්ම ගෙන එන වෛද්‍ය ප්‍රතිකර්මයක් විනාශ වූ කාටිලේජ වර්ධනයට හොයාගෙන නැහැ. නමුත් කාටිලේජවලට පෝෂණය ලබාදෙන බෙහෙත් වර්ග, කාටිලේජ වැනි ලිහිසි ද්‍රව්‍යයක් සන්ධිය තුළට එන්නත් කිරීමේ ප්‍රතිකර්ම අද වෛද්‍ය විද්‍යාවේ තිබෙනවා.
නමුත් මේ ක්‍රමෝපායන් තාවකාලිකයි. උදාහරණයක් ලෙස පාවහන් දිගු කාලයක් පළදින විට එහි අඩිය ගෙවෙනවා. එහිදී සපත්තු මසන්නෙකුට එය ලබා දී අඩියක් ගසා තරමක් යථා තත්ත්වයට පත්කළ හැකි වුවත් එය කලින් තරම් ශක්තිමත් පාවහන් නොවන බව අපි දන්නවා.
එම නිසා අස්ථි අතර තිබෙන කාටිලේජ වුවත් දිගු කාලයක් වැරදි ලෙස ඇවිදීම නිසා ගෙවීයෑම සාමාන්‍ය තත්ත්වයක්. නැවත එයට ප්‍රතිකාර කළද එය කලින් තිබූ ස්වාභාවික කාටිලේජ තත්ත්වයට පත්වන්නෙ නැහැ. ඒ නිසා සාමාන්‍ය ඖෂධමය ප්‍රතිකාරවලින් කාටිලේජ 100% පෙර තත්ත්වයටම පත්කළ නොහැකියි. මේ සඳහා ශල්‍යකර්ම තිබුණත් ඒවා මගින් මුල් අවස්ථාවේ මෙන් කාටිලේජ නැවත යථා තත්ත්වයට පත්කරන්නත් බැහැ.
වළලුකර ආශ්‍රිත අනතුරු සිදුවන්නේ කුමන අවස්ථවලදීද?
බොහෝ වෙලාවට රිය අනතුරු මෙයට බලපානවා. එමෙන්ම එදිනෙදා ජීවිතයේ කකුල ඇඹරිලා වැටීම්, ක්‍රීඩා කටයුතුවලදී වන වැටීම් සහ ඉහළ සිට පහළට වැටීමේදීත් වළලුකර සන්ධියට බර දරාගැනීමට සිදුවන නිසා අනතුරු විය හැකියි.
සමහරක් සංජානනීය රෝග සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තියෙන අයගේ අස්ථි දුර්වල නිසා එවැනි අයට වළලුකරේ පොඩි ඇඹරීමක් සිදුවුවත් එය බිදී යාමකට ලක්විය හැකියි.එමෙන්ම ශරීරයේ පරිවෘතීය ක්‍රියාකාරකම් දුර්වලකම් නිසාත් එවැනි අයට උපතින්ම අස්ථි ආබාධ ඇතිවන්න පුළුවන්. ඔවුන්ගේ අස්ථි පොඩි ඇඹරීමකදී පවා පිහිටීම් වෙනස් වීම හෙවත් Alignment එක නැතිවීම විය හැකියි.
අනතුරකදී වළලුකර සන්ධියට හානියක් සිදුවී ඇත්දැයි දැනගන්නේ කොහොමද?
එය අපිට දැනගන්න පුළුවන්. පාදයට බර තබා ඇවිදින විට අධික වේදනාවක් ඇතිවීම, වළලුකර සන්ධියේ ඇදවීමක් දක්නට ලැබීම, වළලුකර අවට ඉදිමීම මගින් දැනගත හැකියි.යම්කිසි අනතුරක් නිසා වළලුකර ඉදිමුණහොත් අනෙකුත් සන්ධිවලට වඩා වේදනාවක් ඇතිවෙනවා.
මෙහි පිටතින් ආවරණයක් ලෙස මාංශපේශීන් පිහිටා නැහැ. එම නිසාම සෘජුව සන්ධියට පිටතින් තිබෙන සම, ඉදීමීම නිසා එම සම අස්ථිය මතින් ඇදී පවතිනවා. එම සම ඇදීමෙන් රුධිරය සැපයීම නැවතී යනවා.
එවිට එම කොටස මිය යා හැකියි. ඇතිවන තුවාලයට ප්‍රතිකර්ම කිරීමේදී තවත් තැනකින් සමේ කොටස් රැගෙන එම තුවාලය ආවරණය කරන ශල්‍යකර්මයක් මගින් ප්‍රතිකාර කළ යුතු වනවා. මුල් අවස්ථාවේදීම මේ වළලුකර ආශ්‍රිත අනතුරු හඳුනගෙන ප්‍රතිකාර නොකළහොත් ශල්‍යකර්මවලට පවා භජනය කළ යුතු වෙනවා.
වළලුකර ආශ්‍රිත අනතුරකට පසු රෝගියකුට කළ යුත්තේ කුමක්ද ?
වළලුකර ආශ්‍රිත අනතුරු නිසා බර තියා ඇවිදිය නොහැකි රෝගියකුට මෙලෙස වළලුකර ආශ්‍රිත සන්ධියට අනතුරක් වී ඇතැයි සැකයක් මතු විය හැකියි.
එවැනි අවස්ථාවකදී පළමුවෙන්ම කළ යුත්තේ ඇදවී තිබෙන සන්ධිය රෝගියාට වේදනාවක් නොදැනෙන ලෙස හෙමින් අතින් කෙලින් කිරීමයි. එයින් ඇදවීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගන්න පුළුවන්.
ළඟ තිබෙන ලී පතුරක්, Pvc බටයක් තබා තද නොවන ලෙස Sprint එකක් දැමීමෙන් වළලුකර ආශ්‍රිත සන්ධි සෘජුව තබාගැනීම කළ හැකියි. ඉන් වඩාත් වැදගත් වන්නේ Sprint කිරීමෙන් පසුව ආබාධයට ලක් වූ කකුල ඉහළට ඔසවා තබා රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන යාමයි. මේ මගින් තවදුරටත් සිදුවන ඉදිමුම් තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. එලෙස කිරීමෙන් වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම පහසු වෙනවා.
රෝහල් ගතකළ පසුද රෝගියාට අනතුරට ලක් වූ කකුලට බර තියා ඇවිදීම සුදුසු නැහැ. කිහිලිකරු, අත්වාරු හෝ ඇවිදීමේදී ආධාරක ඒ සඳහා උදව් කරගන්න පුළුවන්. නමුත් එසේ කළ යුත්තේද අත්‍යවශ්‍ය වෙලාවක දී පමණයි. එසේ නැත්නම් ඇදේ හාන්සි වී පාදයේ ඉහළට ඔසවා තබා සිටීම මගින් තවදුරටත් ඉදිමුම වළක්වා ගන්න පුළුවන්.
පාදය සම්පූර්ණයෙන් හැරවී තිබෙන අවස්ථාවක ( Dislocated ankle) එය කෙලින් කළ යුතු වනවා. එවැනි රෝගියකු ඉක්මණින් රෝහල්ගත කළයුතුයි. ඉන්පසුව වෛද්‍යවරුන් විසින් සිහිනැති කිරීම හෝ හිරිවැට්ටීම වැනි ක්‍රමවේදයකින් හානියට පත් වූ සන්ධිය නැවත තිබූ තත්ත්වයට පත්කරනවා.මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ විවිධ ප්‍රතිකාර තිබෙනවා. කායවිච්ජේද විද්‍යාවට අනුව ( Anotomially Correction ) එය නැවත ප්‍රතිස්ථාපනය කරනු ලබනවා.
මේ සඳහා විශේෂ වූ එක්ස් කිරණ යන්ත්‍රයක් (Image Intenssifier ) භාවිත කරනු ලබනවා. ඉන්පසු POP (Plaster of Paris) ආවරණය මගින් වළලුකර අස්ථි ස්ථාවරභාවයට පත් කරනු ලබනවා.
එසේ නිවැරදි කළ නොහැකි අස්ථි ශල්‍යකර්මයක් ආධාරයෙන් නිවැරදි කිරිම කරනු ලබනවා. එලෙස සවි කිරීමෙන් පසුව අස්ථිය නියම ආකාරයෙන් වර්ධනයවීම සිදුවනවා.
ලෝහමය ඉම්ප්ලාන්ට් සෑම ශල්‍යකර්මයකදීම භාවිත කරනවාද?
එක්ස් රේ යන්ත්‍රයක් ආධාරයෙන් බලාගෙන සිදුකරන බොහෝ ශල්‍යකර්මවල ලෝහමය ඉම්ප්ලාන්ට් දැමීම සිදුකරනවා. ඒ සඳහා බයවීමක් අවශ්‍ය නැහැ. මෙම ලෝහ කොටස් සන්ධි යථා තත්ත්වයට පත් වූ පසු රෝගීයාගේ අවශ්‍යතාව මත ඉවත් කිරීම සිදුකළ හැකිය. ශල්‍යකර්මයකින් පසුව ප්‍රවේශම් වීම අවශ්‍යයි.
තුවාලයට යම් අයුරකින් විෂබීජයක් ගියහොත් ලෝහමය ඉම්ප්ලාන්ට් තිබෙන තැන් පැසවීමට පුළුවන්. එය දීර්ඝකාලීන ගැටලුවකට මුල පිරීමක්. ශල්‍යකර්මයෙන් පසු මැහුම් කපන කාලය දක්වා වළලුකරට බර තබා ඇවිදීම හොඳ නැහැ.
ඒ වගේම කකුල ඉහළට ඔසවාගෙන සිටීමත් වැදගත්. සාමාන්‍යයෙන් සති හයක් වැනි කාලයක් මෙලෙස විවේක ගැනීම අවශ්‍යයි.මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔබට යම් ආකාරයක පාදයේ අනතුරක් සිදුවුවහොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමයි.
හරින්දී ලියනගේ ✍️
‘