“කුල්ල කුජීතයි කොල්ලා අනාථයි” මේ දවස්වල හැමෝම අතර ප්‍රසිද්ධ මේ වචනවල අයිතිකාරයා එක්ක අපි පොඩ්ඩක් කතා කරන්න ඕන වුණා. ඒ තමයි FB, Tik Tok,Youtube එකේ අපි හැමෝම ආදරේ කරන “ IRO”. අභියෝගවලටත් අභියෝග කරමින් තමයි ඔහු මේ ගමන ආරම්භ කරන්නේ. ඔහු අද සාර්ථක Youtuber කෙනෙක්.
ලංකාවේ හාස්‍ය උත්පාදන වීඩියෝවලට යූටියුබ්වල තවත් ඉඩක් තිබුණද?
ඔව් තිබුණා. හාස්‍යජනක වීඩියෝ කොච්චර තිබ්බත් ආයේ අලුතින්ම වීඩියෝ එකක් හදලා දැම්මත් යූටියුබ් එකෙ එයාලට තැනක් ලැබෙනවා. හැබැයි යුනික් වෙන්න ඕනේ. කොපි කරන්නේ නැතුව.
ඇයි හාස්‍යජනක මාධ්‍ය තෝරගත්තේ ?
හාස්‍යජනක වීඩියෝ කරද්දී ඉක්මණින් ප්‍රේක්ෂකයා අතරට යන්න පුළුවන් කියලා හිතුවා. මිනිස්සු හිනස්සන එක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. මේ වගේ වීඩියෝවලදි මිනිස්සුන්ට අපිව මතක තියාගන්න ලෙහෙසියි. ඇත්තටම සල්ලි හම්බකරන්න හිතාගෙන තමයි වීඩියෝ අප්ලොඩ් කරන්න ගත්තේ. ඒ 2020. ඊටපස්සෙ අපි හරියටම වීඩියෝ කරන්න ගත්තේ 2021 දී.
මේ වගේ වීඩියෝ හදන්න කාවහරි අනුකරණ කරනවද ?
එහෙම කරන කෙනෙක් නැහැ. එක එක කැරැක්ටර්ස් වලින් ඉන්ස්පයර් වෙනවා. මගෙ මුල් කාලේදී රැට්ටා, විනී හිටියා. එයාලගෙන් යම් යම් දේවල් ඉගෙන ගත්තා. ඊටපස්සෙ මන් මටම කියලා කන්ටෙනට් එකක් හදන් තමයි මේ වීඩියෝ හදන්නේ. FB මීම්ස් වගෙ, පිටරට වීඩියෝස්වල අදහස් ගැන පොඩ්ඩක් හිතලා මගේම විදිහට දැන් කරනවා.
ඇත්තටම “ IRO ”කවුද ?
මගේ නම උදීප ඉරෝෂාන් විජේසිංහ. මගේ ගම අනුරාධපුරේ ගලෙන්බිඳුණු වැව. දැනට මං මොරටුව විශ්ව විද්‍යාලයේ බිස්නස් ෆැකල්ටියේ ඉගෙන ගන්නවා. අම්මයි තාත්තයි අක්කයි මල්ලියි තමයි මට ඉන්නෙ.
මුලින්ම වීඩියෝ එක කරද්දී මොනවද හිතුණේ?
පළවෙනි වීඩියෝ කරද්දි ගොඩක් අමාරු වුණා. මට මගේ කියලා ෆෝන් එකක්වත් තිබ්බේ නැහැ. මම මල්ලි කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ලං ඇවිල්ලා වීඩියෝ එක කළේ. මගේ යාළුවෙක් තමයි එඩිටින්වලට උදව් කළේ.
මම යාලුවගේ ගෙදර ගිහින් එයා ෆ්‍රී වෙනකං ඉතින් බලාගෙන ඉඳලා තමයි එයාට කියල එඩිට් කරගත්තේ. ඒකාලෙ හරියට දැනීමක් තිබ්බෙ නෑ මේ ගැන. මුල් කාලේ මේවට ඕන කරන බඩු කිසිම දෙයක් අපි ගාව තිබ්බේ නෑ. මට හිතුණා හරියට අවශ්‍ය කරන උපකරණ නැතුව මේ වැඩේ කරන්න බැහැ කියලා. මුල්ම වීඩියෝ එකට ඇත්තටම සෑහෙන්න කට්ටක් කෑවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?
මුලදී ගෙදරින් නම් කිසිම සහයෝගයක් ලැබුණේ නෑ. එයාල හිතුවා මම අධ්‍යාපනය අතරමග නවත්තයි කියලා. මොකද ගොඩක් වැඩිහිටියන්ට හරියට සොෂල් මීඩියා ගැන දැනුමක් නෑනේ. එයාලා බය වුණා.
මං කොහොමහරි තනියෙන් මගේ උත්සාහයෙන්ම මේ වීඩියෝ ටික කළා. එයාලට තේරුණා මේකේ ප්‍රශ්නයක් නෑ කියලා. එයාල දැන් මං කැමති දේ කරන්න ඉඩ දෙනවා. දැන් ගෙදරින් මගේ වීඩියෝවලට උදව් කරනවා. මල්ලිත් ගොඩක් උදව් කරනවා. මේ කරන හැම වීඩියෝ එකක්ම වීඩියෝ කරන්නෙ මගේ මල්ලි.
“ IRO ”ට ලැබුණු අභියෝග මොනවද?
පටන් ගත්ත දවසේ ඉඳන්ම දැන් වෙනකම්ම තිබ්බේ අභියෝග විතරයි. මම මේක පටන්ගත්තෙ මගේ යාළුවත් එක්ක. එයාගේ නම දිනේෂ් හශාන් දෙවැනි වතාවට මේ චැනල් එක පටන් ගන්න ගියහම කවුරුත් හිටියේ නෑ.
මගේ යාළුවත් ආයේ අධ්‍යාපන වැඩවලට බිසි වුණා. එතකොට මට මේ සේරම තනියම තමයි කරන්න වුනේ. මල්ලිත් එතකොට ටිකක් පොඩි. කැමරාමන් කෙනෙක් වත් නැතුව තමයි වීඩියෝ කරන්න ගත්තේ.මගෙ තිබ්බ ෆෝන් එකත් කැඩිලා ගියා.
ඊට පස්සේ මං ලෝන් එකක් ගහලා iphone එකක් ගත්තා. මුලදී ඇත්තටම සම්පත් තිබ්බේ නෑ අපිට සාර්ථකව වීඩියෝ කරන්න. ඇත්තටම ඒකනම් ලොකු අභියෝගයක්. පිටින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් වීඩියෝ එක බලද්දි හරිම චූටි දෙයක් දෙයක්නේ කියලා. ඒත් ඇත්තටම කන්සෙප්ට් එක හිතන වෙලාවෙ ඉඳන් මාර මහන්සියක් වෙනවා.
ඔයා දැන් තනියමද මේ වැඩේ කරන්නේ?
මුලදි නම් මං තනියම තමයි කරන්න පටන් ගත්තේ. ඒත් දැන් නම් මට කණ්ඩායමක් ඉන්නවා.අපි ප්‍රඩක්ෂන් කොලිටිය වැඩි කරන්න ගත්තට පස්සේ අනිවාර්යෙන් කැමරාමන් කෙනෙක් අවශ්‍ය වුණා. lightවලට, එඩිටින්වලට කට්ටියක් ඕන වුණා. දිනෙෂ් හෂාන් තාමත් මට උදව් කරනවා.
එයා තමයි මගේ දෙවෙනියා විදියට වැඩ කරන්නේ. මගේ වීඩියෝවල ගොඩක් හරියක් ඉන්න අනිත් චරිත තමයි තරින්ද සංදේශ්. කන්ටෙන් පැත්තෙන් මට උදව් කරන යාළුවෙක් ඉන්නවා දිනෙත් විදුසර. ඊට අමතරව අපිත් එක්ක රඟපාන කට්ටිය ඉන්නවා.
ඔයාගේ වීඩියෝවල රඟපාන්නේ කවුද?
අපිට ස්ථිරවම රඟපාන ගෑණු ළමයෙක් නැහැ. කාලෙන් කාලෙට ගෑනු ළමයව වෙනස් කරනවා. මේ දවස්වල රඟපාන්නේ උෂාරා සන්ධිපනී. ඒ ඇරෙන්න දිගටම රඟපාගෙන්නේ දිනුක නලින් මල්ලි.
අනාගත බලාපොරොත්තු මොනවද?
මගේ යූටියුබ් චැනල් එක ලංකාවේ අංක එක කරන එක තමයි මගේ ලොකුව බලාපොරොත්තුව. මම ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. මොකද මට ඒකට තවත් කාලෙ තියෙනවා. තාම මට අවුරුදු විසි හතරයි.
ඒත් එක්ක මගේ බිස්නස් වැඩවලට මූලික අඩිතාලම දාන ගමන් ඉන්නේ. තව අවුරුදු කිහිපයකින් මුළු ලංකාව පුරාම ඒක ව්‍යාප්ත කරන්න එක තමයි මගේ අරමුණ. අනාගතයේදී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන්නත් බලාපොරොත්තුවක් වෙනවා.
නිපුනි සම්මානි ✍️