වර්තමාන වේගවත් ලෝකයේ පුද්ගලික සහ වෘත්තීය අභියෝගවලට මුහුණ දෙන සුවහසක් කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව සහ මානසික ශක්තිය ජීවිතයට අගනා වත්කමක්.අභියෝග හමුවේ ශක්තිමත් වන්නට බොහෝ සාධක දායකවන අතර මනෝවිද්‍යාව එවැනි ශක්තිමත් කාන්තාවන් වෙන්කර හඳුනා ගන්නා පුරුදු ගැන ගැඹුරු අවබෝධයක් ලබදෙනවා. ධනාත්මක චින්තනය ස්වයං දයානුකම්පාව සහ අඛණ්ඩ පුද්ගලවර්ධනය තුළ මුල් බැසගත් මෙම පුරුදු ජීවිතයේ අභියෝග හමුවේ ජීවත්වීමට වගේම සමෘද්ධිමත්වීමට කාන්තාව මනසින් ශක්තිමත් කරනවා.
ස්වයං දැනුවත්භාවය
ශක්තිමත් මනසින් යුතු කාන්තාවන් තමන් පිළිබඳ ස්වයං දැනුවත්භාවය සැලකිය යුතු ලෙස ලෙසින් පුරුදු කරනවා. ගුවන් නියමුවරියක්, වෛද්‍යවරියක්, ඉංජිනේරුවරියක් මෙන්ම ගෘහණියකගේ භූමිකාව ඔබ නිරූපණය කරත් ඔබ දිනපතා ස්වයං ආවර්ජනයක නියැලෙමින් ඔබගේ ශක්තියෙන් වගේම දුර්වලතාවයන් ගැන අවබෝධයක් ලබන්නේ නම් ඔබ මනසින් ශක්තිමත්. එනිසාම නිවැරදි තීරණ ගැනීමට, මානසික සමතුලිතතාවය ඇති කරගන්න වගේම ගැළපෙන සබඳතා ඇතිකර ගන්නත් ස්වයං දැනුවත්භාවය උපකාරී වෙනවා.
සීමාවන් නියම කර ගනී
පුද්ගලිකව සීමාවන් සැකසීමට වගේම පවත්වා ගැනීමට ඇති හැකියාව මානසිකව ශක්තිමත් කාන්තාවන්ගේ පුරුද්දක්. ඔවුන් තමන්ගේ පුද්ගලික හා රැකියා ජීවිතයේ සීමාවන් ගැන සෑම විටම උනන්දුවක් දක්වනවා. ගැළපෙන සබඳතා ගොඩනඟා ගන්න, තම ප්‍රතිරූපයට හානි නොවන විදිහට ප්රමුඛතාවයන් තෝරා ගන්න ඇය පෙළඹෙනවා. ඔවුන් කාලය ශක්තිය වගේම මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගන්නත් සෑම විටම සීමාවන් ජීවිතයට හුරු කරනවා.
අභියෝග භාර ගනී
අභියෝග අපි හැමෝගෙම ජීවිතයේ සාමාන්‍ය අංගයක්. හැබැයි ශක්තිමත් මනසක් ඇති කාන්තාවන් තුළ නොසැලෙන අධිෂ්ඨානයෙන් අභියෝගවලට මුහුණ දීමේ විශිෂ්ට හැකියාව කැපී පෙනෙනවා. අභියෝගවලින් ඈත් වෙනවා වෙනුවට ඔවුන් ඒවා තමන්ගේ ජීවිතයේ වර්ධනයට වගේම ස්වයං දියුණුවට ඇති වැදගත් අවස්ථාවන් විදිහට සලකනවා. හැම වෙලාවෙම ‘නැහැ‘ ‘බැහැ‘ වෙනුවට ‘පුළුවන්‘ කියන මානසිකත්වයෙන්ම කටයුතු කරමින් ජීවිතය දිනන්න උත්සාහ කරනවා.
ස්වයං අනුකම්පාව
ජීවිතය අසාර්ථක හෝ දුෂ්කර අවස්ථාවලදී තමන් ගැන කරුණාවෙන් සහ අවබෝධයෙන් බැලීම මනස ශක්තිමත් කාන්තාවන්ගේ තවත් පුරුද්දක්. හැම විටම අඩුපාඩු මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් ලෙස ඔවුන් දකිනවා. මේ නිසාම ජීවිතයේ සාර්ථකත්වයේදී පසුබෑම්වලින් තොරව ඉදිරියට යාමට ස්වයං අනුකම්පාව ඔවුන්ට වැදගත් වෙනවා.
ධනාත්මක චින්තනය
මානසිකව ශක්තිමත් කාන්තාවන් ධනාත්මක චින්තනය පුරුද්දක් විදිහට පුහුණු කරනවා. දුෂ්කරතා නොසලකා හැරීම වෙනුවට නිර්මාණාත්මක මනසින් ඒවාට එළඹීමේ හැකියාව ඇය තුළ දක්නට ලැබෙනවා. කායික, මානසික වගේම සමාජීය වශයෙන් ඇය ධනාත්මක බවින් යුක්ත වන නිසා මානසික ආතතියෙන් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරයි.
කෘතඥතාවය පුරුදු කරයි
ස්තුතිවන්තභාවය, කළගුණ සැලකීම මානසිකව ශක්තිමත් කාන්තාවන්ගේ වැදගත්ම පුරුද්දක්. හැම වෙලාවේම අනෙකා කෙරේ ස්තූතිවන්තවන්න ඇය දෙවරක් සිතන්නේ නැහැ. මේ නිසාම ඇගේ ප්රතිරූප වර්ධනයටත් මානසික සැහැල්ලුව ගොඩනැගීමටත් මෙය ප්‍රධාන හේතුවක් වෙනවා.
ස්වයං රැකවරණය
මනසින් ශක්තිමත් කාන්තාවන් හැමවිටම ධනාත්මක බවින් යුතු සමාජ වටපිටාවක් නිර්මාණය කරගන්න දක්ෂ වන නිසාම ඇය තමන්ගේ රැකවරණය කෙරෙහි තවත් අයෙක් මත යැපෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කායික, මානසික ශක්තිය ඉහළ නංවන ක්‍රියාකාරකම් සිදුකරමින් ස්වයං රැකවරණයට ප්‍රමුඛතාවක් ලබා දෙනවා.
ඵලදායී හැඟීම් කළමනාකරණය
හැඟීම් අපි හැමෝගෙම ජීවිතයේ සාර්ථකත්වයට වගේම අසාර්ථකත්වයටත් හේතු වෙන්න පුළුවන්. ඉතින්, මනසින් ශක්තිමත් කාන්තාවන් හැම වෙලාවෙම තමන්ගේ සිත තුළ නැගෙන හැඟීම් පාලනය කරගන්න ඉතාමත් දක්ෂයි.
ඔවුන් තමන්ගේ හැඟීම්වලට යටපත් නොවී ආතතිය හා නිශේධනාත්මක හැඟීම් මඟහරවා ධනාත්මක බවින් යුතු හැඟීම් කෙරෙහි පමණක් අවධානය ලබා දෙනවා.මනස ශක්තිමත් කර ගනිමින් දිරිය කාන්තාවකගේ භූමිකාව ආරෝපණය කර ගන්න ඔබත් මෙම පුරුදු ඔබගේ ජීවිතයට එකතු කරගන්න.
timesnownews.com ඇසුරෙන්
දුම්ෂා විජේසිංහ ✍️