ඔයා තාම පොඩියි. A/L ලියන ගමන් තව අමතර වැඩකරන්න එපා. ඉගෙනගන්න එක විතරක් කරන්න. නැත්නම් ඔයාගෙ ටාගට්වලට යන්න බැරි වෙයි” ඔයාටත් නිතරම මේ වගේ වචන කනට ඇහෙනව නේද? නිතර ඇහෙන මේ වචන පෑළදොරින් පන්නල ටාගට්වලට ගියපු මුහුදට ආදරේ කරන පුංචි ව්‍යාපාරිකාවක් ගැනයි අද කතාව.
කවුද ඇත්තටම සිතූ කියන්නෙ…
මම නමින් සිත්මි පූර්ණා. ඒත් සිතූ විදියට තමයි ගොඩදෙනෙක් මාව දන්නෙ. මගේ වයස 21 යි. ගාල්ලේ ඇල්පිටියේ තමයි මම ඉන්නේ. මේ දවස්වල රෙසින් බිස්නස් එක කරන ගමන් ඉගෙනගන්න වැඩත් කරනවා.
රෙසින් කියන්නෙ මොකක්ද?
රෙසින් කියන්නේ කෙමිකල් එකක්. ඒ කෙමිකල් එක හරියට යූස් කරොත් ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. රෙසින් වර්ග ගොඩක් තියෙනවා. ලංකාවේ අය ගොඩක් පාවිච්චි කරන්නේ Epoxy Resin එක.
මේක සාමාන්‍යයෙන් පැය 24 ත් 48 ත් අතර වේලෙන්න ඕන. රෙසින් වර්ගය අනුව වේලෙන්න යන කාලය වෙනස් වෙනවා. රෙසින් හා හාඩ්න එකට මික්ස් කරලා ලස්සන නිර්මාණයක් හදාගන්න පුළුවන්. ඇත්තටම මේක ලංකාවට ටිකක් අලුත් දෙයක් වුණාට ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි.
සිත්මි රෙසින් ආට් පටන් ගත්තෙ කොයි කාලෙද?
මම මේ දේ කරන්න ගත්තේ වයස අවුරුදු 17 දී වගේ. මුලින්ම හොබී එකක් විදියට තමයි රේසීන් ආට් පටන්ගත්තේ.
රෙසින් ආට් ගැන දැනගත්තේ කොහොමද ?
මම පොඩි කාලෙ ඉදන් පෙන්පෑල්ලට ලෙටස් යවනවා. එයාල එවන ලෙටස්වලින් මම මේ ගැන දැනගත්තේ. ඊට පස්සෙ යූ ටියුබ් බලලා තමයි මේ ගැන වැඩිදුර තාරතුරු හොයාගත්තේ.
ලංකාවේ රේසීන් ආට්වලට තියන ඉල්ලුම කොහොමද?
මේ වෙනකොට ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මුල්ම කාලෙ නම් මේ ගැන ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ. ඒත් අද වෙනකොට රෙසින් ආට්වලින් ක්‍රියේටිව් ආට් කරන ගොඩක් අය ඉන්නවා. ඒ නිසාම ගොඩක් අය රෙසින් නිර්මාණ මිලදී ගන්නවා.
ඔයා කොහොමද පොඩි වයසෙදිම මේ වගේ බිස්නස් එකක් කරන්න හිතුවේ?
මම මුලින්ම බිස්නස් එකක් කරනව කියල හිතුවෙ නෑ. ආසාවට තමයි රෙසින් ආට් කරේ. පස්සෙ FB page එකක් හදාගෙන මේ බිස්නස් එකක් විදිහට හෙමින් පටන් ගත්තා. ඒ කාලෙ ලංකාවේ රෙසින් ආට් ප්‍රසිද්ධ නෑ.
ඒ නිසා කස්ටමස්ල ගොඩක් හිටියේ නෑ. කාලයක් යද්දී ටික්ටොක්වලින් මේ ගැන මිනිස්සුන්ට දැනුවත් කළා. ඒ නිසාම ගොඩක් කස්ටමස්ල මේ රෙසින් ආට් ගැන දැනගෙන මං එක්ක එකතු වුණා. 2021 වගේදී බිස්නස් එක ගොඩක් වැඩි වුණා. අද වෙනකොට මට Fancyque shop කියලා පොඩි ශොප් එකකුත් තියෙනවා.
බිස්නස් එක කරන් යද්දී මොන වගේ අභියෝගද ආවේ ?
මං මේක පටන් ගත්තේ පොඩි වයසෙදිම නිසා පුංචි බයක් හිතේ තිබ්බා. සල්ලි හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් මට ක්ලාස් යද්දී හම්බෙන පොකට් මනි ටික ටික එකතු කරල වැඩේ පටන් ගත්තා. පස්සෙ කාලයක් යද්දී අර තිබ්බ චකිතය අඩු වුණා.
ඒ වගේම මං පටන් ගන්න කාලේ රෙසින් ආට් එච්චර ප්‍රසිද්ධ නැති නිසා අමුද්‍රව්‍ය හොයාගන්න අමාරු වුණා.බිස්නස් එක කරන් යද්දී මගේ තාත්තා නැති වුණා. ඒක ලොකු පසුබෑමක් වුණා. මොනාද ඉස්සරහට කරන්නෙ කියල හිතාගන්න බැරි වුණා. මාස ගානක් කල්පනා කරල හිතට හයිය අරන් තමයි බිස්නස් එක ආයේ කරන්න පටන් ගත්තේ.
දැන් අමුද්‍රව්‍ය ගන්න එක අමාරු නැද්ද?
නෑ. දැන් ලංකාවෙ මම පටන් ගනිද්දි තිබ්බට වඩා රෙසින් ආට් ගොඩ දෙනෙක් කරනවා. ඒ නිසා ගොඩක් ශොප්වල මේ රෙසින් ආට්වලට ඕන කරන බඩු තියෙනවා.
කොහොමද ඉගෙනගන්න එකයි බිස්නස් එකයි බැලන්ස් කරන්නේ…
කාලය කළමණාකරනය කරගන්න එක තමයි වැදගත්. ඒලේවල් කරන කාලේ අධ්‍යාපන කටයුතුවලට වැඩි ඉඩක් දුන්නා. ඒ අතර ඉඩ තියන වෙලාවට රෙසින් ආට් නිර්මාණ කළා. දෙකම කරන නිසා රෑ එක විතර වෙනකම් ඇහැරිල ඉදපු දවස් තිබුණා. දැන් නම් ඩිජිටල් මාකටින් ගැන ඉගෙනගන්නවා. ඒ අතර බිස්නස් එකේ වැඩවලටත් වැඩි අවධානයක් දෙනවා.
පොඩි වයසෙන්ම ඔයාගෙ වියදම් ඔයාම බලාගන්නව නේද?
ඔව්. ඒ ගැන මතක් වෙනකොටත් හරි සතුටක් මගේ හිතට දැනෙන්නේ. ඉගෙනගන්න දේවල්වලට පවා මම තනියෙම වියදම් කරන්නේ.
විශේෂ හේතුවක් තියෙනවාද මුහුද සම්බන්ධ නිර්මාණ කරන්න?
මං පොඩි කාලෙ ඉදන් මුහුදට ගොඩක් ආසයි. ඒ නිසා තමයි මුහුද සම්බන්ධ නිර්මාණ කරන්න වැඩියෙන් කරන්න පෙලඹුණේ. ඒවගේ නිර්මාණවලට කියන්නේ සීක්රියේශන්ස් කියලා.
රෙසින් ආට්වලින් ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. මාත් ෆොරිනස්ලට ආට් වර්ක් එක්ස්පෝට් කරනවා. ගොඩක් වෙලාවට ඉන්ස්ට්රග්රෑම්වලින් තමයි ඒ ඕඩර් ගන්නේ. මේ වගේ නිර්මාණ විකුණන්න තියෙන ඉක්සි කියන සයිට් එකේ ඩිරෙක්ට් ඒ දවස්වල ඉදන් ගණුදෙනු කරපු කස්ටමස්ල තාමත් ගන්නවා. ඊට අමතරව ප්රින්ට්රරස්ට් එක හරහා ඕඩර් යවනවා. ඒ නිසා අනිවාරෙන් ඩොලර් ගේන්න හොඳ ක්‍රමයක් මේක.
රේසීන් ආට් කරන්න කැමති අය වෙනුවෙන් මොකද කරන්නේ
රෙසින් අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද? රෙසින් ආට් නිර්මාණ කරන්නෙ කොහොමද? ඒ සම්බන්ධ වීඩීයොස් සෝෂල් මීඩියාවලට මන් අප්ලෝඩ් කරනවා. මේ ගැන උනන්දුව තියන කෙනෙක්ට ඒ වීඩියෝස්වලින් ඉගෙන ගන්න පුළුවන්.
වැඩ කටයුතුවලට ලැබෙන උදව් ගැන මතක් කළොත්?
විශේෂයෙන්ම මගේ මල්ලි මට කරන්න අමාරු වැඩ ඔක්කොම කරල දෙනවා. ඊට අමතරව අම්මත් උදව් කරනවා.ඒ වගේම මල්ලිගෙ යාළුවොයි මගේ යාළුවන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් අය කැමති මගේ සීක්රියේශන්ස්වලට. ඒවට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ අනික් නිර්මාණවලටත් ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
ලොකු බලාපොරොත්තු නෑ. මගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න ගමන් අම්මවයි මල්ලිවයි බලාගන්න එක තමයි ලොකුම හීනේ.
අලුතින් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට ඔයා දෙන ඇඩ්වයිස් එක…
ඔයා ඔයා වෙන්න. ඔයා යුනික් වෙන්න. කෙනෙක් කරනව දැකල ඒකම කරන්න යන්න එපා. මං ගොඩක් ප්‍රසිද්ධ වුණේ මුහුද සම්බන්ධ නිර්මාණවලින්. මුහුදට මම ගොඩක් ආස නිසයි ඒ ගැන නිර්මාණ කළේ. ඔයාලත් ආස දෙයින් ඉස්සරහට ගියොත් බිස්නස් එක ආසාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් දවසින් දෙකෙන් දියුණු වෙන්නෙ නැහැ. ඒකට කල් යනවා. ඉවසීම ගොඩක් වැදගත්. මටත් මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ ඉවසීම නිසා.
පවනි දිලේකා ✍️