“ගෑනු ඉන්නෝන ගේ මුල්ලේ. වැඩ ලෝකයේ පිරිමි එක්ක මේ ගෑනුන්ට හැප්පෙන්න බෑ.” ඒ මතයට පයින් ගහල ලංකාවේ නම ලෝකෙට ගෙනියපු අපූරු කාන්තාවක් ගැනයි අද කතාව.
සුනේත්‍රා නුගවෙල කියන්නේ කවුද?
මම ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයන් සඳහා වූ ඇකඩමියේ සභාපතිනිය විදියට කටයුතු කරනවා. ඒ වගේම ලෝක පරිපාලන සන්ධානයේ උපදේශකවරියක් ලෙසත් බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කරනවා. මේ වනවිට මම සණස සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරියක් විදිහටත් කටයුතු කරනවා.
කොහොමද පරිපාලන වෘත්තියට පිවිසෙන්නේ?
මම දෙහිවල සුබෝධ බාලිකා විද්‍යාලයෙන් හා වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. උසස් අධ්‍යාපනයෙන් අනතුරුව යතුරුලියනය හාා ලඝු ලේඛනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා.
ඒ කාලේ තමයි ලේකම්කරණය ගැන දැනගත්තේ. ලේකම් වෘත්තිය ගැන ආසාවක් මුලින්ම ඇතිවුණේ ඒ කාලේ. ලංකාවේ විශ්වවිද්‍යාලයකට යන්න නොහැකි වුණත් ඒ අභියෝගය මම ජය ගත්තා. විදේශීය විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙලා ලේකම්කරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දක්වා වැඩිදුර ඉගෙනගත්තා. ඒ දැනුමත් සමඟ මම මේ වෘත්තියට පිවිසුණා.
කාන්තාවකට ලේකම් වෘත්තිය සුදුසුද?
සැම වෘත්තිකයෙකුටම වෘත්තිය තුළ ගැටලු තියෙන්න පුළුවන්. ගැටලු නැති වෘත්තියකුත් නැහැ. ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් වෘත්තිකයා සතුව තියෙන්න ඕන. අධ්‍යාපනිකව වගේම පෞර්ෂයත් , පළපුරුද්දත් ගොඩ නගා ගන්න ඕන. කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා සියලුම වෘත්තිකයන්ට මේ කරුණු අදාළයි.
එලෙස සවිමත් වූ විට ඕනෑම වෘත්තියක් හරහා ජීවිතය ජය ගන්න කාන්තාවට කිසිම බාධාවක් නැහැ. ලේකම් වෘත්තිය තුළ රැකියා අවස්ථා බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම හොඳ වැටුපක් ලබා ගන්නත් පුළුවන්.
මොනවද ඒ ගමනේදී ආපු අභියෝග?
පරිපාලන වෘත්තිය හා බැදුනු රැකියාවලදී ඉංග්‍රීසි භාෂා හැකියාව වැදගත් වෙනවා. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්ත කෙනෙක්. ඒක මුල් අවදියේ ලොකු බාධාවක් වුණා. ඒත් මම ඒ අභියෝගයට මුහුණ දෙන්න පසුබට වුණේ නැහැ.
ලේකම්කරණයට පිවිසුනාම ඉංග්‍රීසි මාධ්‍යය අත්‍යවශ්‍ය නිසා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරුවා. ඒ නිසා ක්‍රමානුකූලව ඒ අභියෝගයත් ජය ගන්න හැකි වුණා.
මෑතකදී ඔබට ලැබුණු සම්මානය මොකක්ද?
ඔව්. පසුගිය ජුනි 20 වැනිදා ලන්ඩනයේ ග්‍රෑන්ඩ් කොනාට් හෝටලයේදී පැවතුණු උත්සවයකදී ජාත්‍යන්තර කාර්යාල කළමණාකරණ 2024 සම්මානය තමයි මට ලැබුණේ.
කොහොමද මේ සම්මානය ඔබට ලැබුණේ?
මේක මාස අටක දහයක ප්‍රොසෙස් එකක ප්‍රතිඵලයක්. අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමෙන් හෝ නිර්දේෂයන් ඇසුරෙන් මේ සම්මානය ලබා දෙනවා. අපේ වෘත්තීය සුදුසුකම්, නිපුණතා, සේවාවන් ගැන හොඳ සොයා බැලීමකින් අවසානයේ ලැබුණු ප්‍රතිඵලයක් තමයි මේ සම්මානය. ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරමින් කාර්යාල කළමණාකරණ ක්ෂේත්රයට ලැබුණ සම්මානයක් තමයි මේක.
සිහිනයක් තිබුණද මේ වගේ ගමනක් එන්න?
එකපාරටම මේ වගේ සම්මාන ගන්න ඕන කියල සිහිනයක් තිබ්බේ නෑ. ඒත් ඉහළට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරන්න ඕන කියල සිහිනයක් තිබ්බා. අද ඒ හීනය සපුරාගැනීම ගැන මට සතුටක් තියෙනවා.
පවනි දිලේකා