නිවේදනය කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. අද කාලෙ ඕනම කෙනෙක්ට නිවේදකයෙක් නිවේදිකාවක් වෙන්න පුළුවන්කම තිබුණත් නිවැරදි අධ්‍යයනයකින් අනතුරුව නිවේදනයට අත්පොත් තැබීම වැදගත්. අපි මේ ගැන අද පුංචි සාකච්ඡාවක යෙදුණේ සියත නාළිකාව ඔස්සේ නිරන්තයෙන් ඔබ අප දකින චරිත දෙකක් එක්ක. ඔවුන් ජයනි සහ සාරංගි.
ජයනි කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්
මම ජයනි විමලසූරිය. ඉන්නෙ කිරිදිවැල. පාසල් ගියේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. උසස් අධ්‍යාපනය හැදෑරුවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. මේ වෙනකොට පශ්චාත් උපාධි අපේකෂිකාවක් විදියට ඉගෙනගන්නවා.
සියතට සම්බන්ධ වෙලා කොච්චර කල්ද?
මම 2019 ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ යෞවන සම්මාන තරගාවලියෙන් දිවයිනේ හොඳම සම්ප්රවේශිකාව ලෙස සම්මානය හිමිකරගනිමින් තමයි ගුවන් විදුලි සංස්ථාවට රැකියාවට එන්නේ. ඒ අතරතුර තමයි මට සියත TV තුළින් ඉඩක් වෙන්වෙන්නේ. ඒ ආදරණීය ජීවිතය සහ සුන්දර ශනිදාව මෙහෙයවීමට.
නිවේදනයට ආසකරන අලුත් පරම්පරාවට දෙන්න උපදෙසක් තියෙනවද?
වැඩසටහනට එන සම්පත් දායකයාව අලුත් පරපුරේ නිවේදක නිවේදිකාවො දකින්නෙ වැඩසටහනට විනාඩි දෙකතුනකට කලින්. ඒක එතරම් උචිත දෙයක් නෙවෙයි. ඒ නිසා පෙර සූදානම හා නිවැරදි අවබෝධය හරිම වැදගත්.
රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදනය වෙනස් වෙන්නෙ මොන මොන තැන්වලදි ද?
හඬ මූලික කරගෙන දෙයක් කෙනකුගේ මනස තුළ මවන්න උත්සාහ කරන එක තමයි ගුවන් විදුලියෙන් කරන්නේ. හඬ තමයි ප්‍රභල වෙන්නේ. ගුවන්විදුලි මැදිරියේ අපිට නිදහසේ අංගචලන ඉදිරිපත් කරමින් කතා කරන්න පුළුවන්.
නමුත් රූපවාහිනිය තුළ ඒක අපහසුයි. අපි කතාකරන වචන මෙන්ම අපේ රුව පෙනෙනවා. ඒ තුළ කිසියම් සංයමයක්, ප්‍රසන්නබවක්, මිත්‍රශීලී බවක් තිබෙන්න ඕන. එහි හඬ සහ රූපය දෙකම ප්‍රභල වෙනවා. ඉතිං ගුවන් විදුලියේදි මයික්‍රෆෝනය සහ රෑපවාහිනියේ කැමරාව තමයි ඔබත් මමත් යා කරන්නේ.
නිවේදනයට අමතරව තව මොනවද තියෙන හැකියාවන්?
ගීත රචනාවට, කවි නිසදැස් ලියන්න මම ආසයි. නර්තනය කියන්නෙත් මගේ ජීවිතේ එක කොටසක්. උඩරට, පහතරට, භරත නර්තනය මම හදාරලා තියෙනවා. දැන් ආයේ ආසාවෙන් බලන් ඉන්නවා ඒව ඉක්මනින් පටන්ගන්න.
මීළඟට අපි කතා කළේ සාරංගි එක්ක. සාරංගි,අපිට කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්.
මම සාරංගි චමිලා ගලප්පත්ති. මගේ ගම කිරුලපන. පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, අක්කා, නංගී. පුංචි කාලේ ඉඳන්ම මම ආච්චි අම්මා ළඟ හැදුණේ.
ආච්චි අම්මට තමයි ලොකුම ආසාව තිබුණෙ මාව නිවේදිකාවක් විදිහට දකින්න. මේක එයාගේ හීනයක්. ඒ වෙනුවෙන් එයා මාව උනන්දු කළා. නිවේදනය පිලිබඳව හදාරන්න විවිධ පාඨමාලාවලට මාව යොමුකළා.
කොහොමද සියත එක්ක සම්බන්ධ වුණේ?
මම මුලින්ම ගුවන් විදුලි වැඩසටහන් නිවේදිකාවක් සහ නිෂ්පාදිකාවක් වගේම ප්රවෘත්ති නිවේදිකාවක් විදිහට තමයි මාධ්‍ය ක්ෂේත්‍රට සම්බන්ධ වුණේ. ඒ 2006 දි. ඒ පටන්ගත්ත ගමන 2022 පෙබරවාරි වෙනකන්ම මං නාලිකා කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කළා.
ඊටපස්සෙ මට හිතුණා නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට කටයුතු කරන්න ඕන කියලා. ඉතින් ඒ අවස්ථාවෙ තමයි මට සියත TV නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. ඊට අමතරව මම හඬකැවීම් ශිල්පිනියක් වගේම විවිධ වැඩසටහන්වලට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
මොනවද ඔබ කරන වැඩසටහන්?
සතියේ දින පහේම සියත TV තුළින් ප්‍රචාරය වෙන ආදරණීය ජීවිතය වැඩසටහනේ බදාදා සහ සිකුරාදා දවස් දෙකේදි නිවේදිකාව වෙන්නෙ මම. ඒ වගේම ඉරිදා උදෑසන සුන්දර ඉරිදා වැඩසටහනේ මම නිවේදිකාව විදිහට සම්බන්ධ වෙනවා. මේ වැඩසටහනට මා සමග තරංගත් නිවේදනයෙන් එක් වෙනවා.
ඕනම කෙනෙක්ට නිවේදිකාවක් වෙන්න පුළුවන් කියලා හිතනවද?
දැන් නම් හැබැයි ඕනම කෙනෙක්ට නිවේදකයෙක් නිවේදිකාවන් වෙන්න පුළුවන්. ඒකට හේතුව ඕනතරම් අවස්ථා ඒ අයට තියනවා. සමාජ මාධ්‍ය ඔස්සේ වුණත් අපිට විවිධ නිවේදක නිවේදිකාවන් හමුවෙනවා.
නමුත් යම් හැදෑරීමක් එක්ක ඔවුන් ඒ කාර්ය කරනවද නැද්ද කියන එක ඒ අය වචනයක් උච්චාරණය කරන විදිහෙන්, හඬ පාලනය, භාෂා භාවිතය ආදි දේවල්වලින් තේරුම් ගන්න පුළුවන්.
මං හිතන්නෙ ඉස්සරට වඩා දැන් අවස්ථා තියන නිසා හැදෑරීමක් එක්ක මේ ක්ශේත්‍රයට එනවා නම් දිගු ගමනක් යන්න පුළුවන්. ඒ එක්කම දැනුමින් යාවත්කාලීන වෙන එකත් අතිශය වැදගත්.
මුහුණ දුන්න අභියෝග
2006දි මම මුලින්ම මාධ්‍යට සම්බන්ධ වෙද්දි හිතන් හිටියේ නිවේදිකාවක් වුණාම කතා කරන්න විතරයි තියෙන්නේ, මේක හරි ලේසි වැඩක් කියලා. ඒත් ඇත්තටම මේක මොනතරම් අමාරු රස්සාවක්ද, මොන තරම් වගකීම් ගොඩක් මේ ජොබ් එක එක්ක තියනවද කියන එක තේරුණේ ඊටපස්සේ. කතා කරද්දි පාවිච්චි කරන වචන, හඬ පාලනය, නිවැරදි උච්චාරණය, නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ වගේ ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන.
එරංදි කෞශල්‍යා ✍️