පොත් කියවීම කියන්නෙ ගොඩක් දෙනෙක් කැමති විනෝදාශයක්. සමහරු පොත් කියවන්න වගේම පොත් එකතු කරන්නත් කැමතියි. ඔය කොයි විදියට වුණත් පොත් එකතු කරන එකෙත් වෙනම ආට් එකක් තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන්ම පොත් කියවන විනෝදාංශය ඇති කරගත්තු, අලුතෙන්ම තමන්ටම කියල පොත් එකතුවක්, ගෘහ පුස්තකාලයක් නිර්මාණය කරන්න කැමති කෙනෙක්ට අපි අද කියල දෙන උපදෙස් ටික වටිනවා.
මුලින්ම තැනක්…
කෙනෙක්ට ඕන නම් සාලේ මුල්ලක වුණත් තමන්ගේ පොත් කබඩ් එක තියන්න පුළුවන්. හැබැයි ඒකෙන් නොහිතන ප්‍රශ්න එන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ගෙදරට එන හැම මනුස්සයම පොත් ඉල්ලන්න පටන් ගන්නවා. ඒ හැම මනුස්සයටම පොත් දෙන්න ගියහම පුස්තකාලේ අතුරුදන් වෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ.
කොහොමහරි අපි හැමෝටම පුස්තකාලයක් පවත්වාගෙන යන්න වෙනම කාමර නැහැනේ. වෙනම කාමරයක් වෙන් කරන්න පුළුවන් කෙනෙක් එහෙම කළාට කමක් නැහැ. ගොඩක් වෙලාවට එහෙම වෙනම කාමරයක් නැතුව තමන්ගේ ඔෆිස් රූම් එකත් පුස්තකාලය කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ආරක්ෂිත, තෙමෙන්නේ නැති, සුවපහසු මුල්ලක් තෝරගත්තට කමක් නැහැ.
පොත් රාක්ක ටිකක් පොත් රාක්ක ගන්න කලින්
පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි විවෘත පොත් රාක්ක ගන්නවද, වහන්න පුළුවන් වීදුරු පොත් කබඩ් ගන්නවද කියන එක. සාමාන්‍යයෙන් ලංකාව කියන්නෙම දුහුවිල්ල, තෙතමනය එහෙම තියෙන රටක්නේ.
අන්න ඒ නිසා, විවෘත රාක්ක හොඳයි ගෙදර දුහුවිලි එන්නෙ නැති, තෙතමනය අල්ලන්නෙ නැති, පොඩි පොඩි සත්තු එන්නෙ නැති පරිසරයක් තියෙන තැනක පුස්තකාලය හදනවා නම්. එහෙම නැතිනම් ඇත්තටම හොඳ වීදුරු පොත් කබඩ් තමයි.
විශේෂයෙන්ම වටිනා පත පොත තියෙනවා නම් විවෘත පොත් රාක්ක ගැන හිතන්නවත් එපා. කෙලින්ම වීදුරු පොත් කබඩ්වලට යන්න. ඒ වීදුරු පොත් කබඩ් වුණත් ගන්නකොට හොඳට දොරෙන් සම්පූර්ණයෙන්ම වැහෙනවද වගේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.
පොත් පරිස්සම් කරන ක්‍රමයක්
පොත් පරිස්සම් කරන්න ඉතින් පළවෙනිම දෙය තමයි හරි විදියට පොත් අසුරන එක. ඒ කියන්නේ පොත් එක උඩ එක තියන්නෙ නැතුව, උස අතට අහුරන තරමට පොත්වලට හොඳයි. හැබැයි එහෙම උස අතට අහුරලා, ඒ උඩින් තව පොත් තියන්න එපා.
ඊලඟ දේ තමයි පොත් අහුරන්න කලින් පොත් කබඩ් එකේ පොත් අහුරන මතුපිටට කොලයක් දාන්න ඒ එක්කම පොත් කබඩ් එකේ තියෙන පොත් ආරක්ෂා කරගන්න කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා.
ඒකට ඕන වෙන්නේ පොඩි බෙහෙත් කුප්පි කිහිපයක්. දැන් ඒවල පියන්වල පොඩි හිල් කීපයක් විදින්න. ගන්න හාඩ්වෙයාර් එකකින් මැලතීන් කුඩු සහ කපුරු ටිකක්. දැන් කපුරු කුඩු කරලා මැලතියන් සහ කපුරු සම සමව අරගෙන මිශ්‍ර කරගන්න.
දැන් අර කුප්පිවල බාගයක් විතර පිරෙන්න මේ කුඩු මිශ්‍රණය දාලා හිල් විදපු මූඩියෙන් වහලා පොත් රාක්කේ ඇතුළත හතරකොණේ තියලා සෙලෝටේප් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ පුස්තකාලය සත්තුන්ගෙන් පරිස්සම් කරගන්න.
කෝ පොත්?
උඩ කියල තියෙන ඔක්කොම කළාට පස්සේ පුස්තකාලේ පුරවන්න පොත් ඕනෙනේ. හොඳ පුස්තකාලයක් සතියෙන් පොත්වලින් පිරෙන්න ඕනැත් නෑ. මුලින් හිතලා බලන්න තමන්ට පුස්තකාලෙක තියාගන්න අවශ්‍ය කරන පොත් මොනවද කියලා.
ඊට පස්සේ හෙමිහෙමිහිට අන්න ඒ අවශ්‍ය පොත් එකතු කරන්න පටන් ගන්න. දකින දකින හැම පොතම අරගෙන ගොඩගහගන්න එපා. පුස්තකාලෙක තියෙන්න අවශ්‍ය කරන, තමන්ට ආයෙ පාරක් කියවලා ආස්වාදයක් ලබන්න පුළුවන්, ආයෙ කියවලා දැනුමක් ලබාගන්න පුළුවන් පොත් එකතු කරන්න.
පොත් සූචිගත කරන විදියක්
සාමාන්‍යයෙන් පුස්තකාලවල එහෙම පොත් සූචිගත කරලා තියෙන ක්‍රම තියෙනවනේ. ඇත්තටම පුස්තකාල විද්‍යාව කියලා වෙනම විෂයක් පවා තියෙනවා. හැබැයි ඉතින් අපේ පුස්තකාලය ලොකු එකක් නොවෙන නිසා ලොකු පුස්තකාලවල තියෙන ඩූවි ඩෙසිමල් සිස්ටම් අවශ්‍ය වෙන්නෙ නෑ. තමන්ට පහසුවෙන් පොතක් හොයාගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදාගන්න. ඒක සිංහල, ඉංග්‍රීසි විදියට බෙදලා, සිංහල පොතුත් කාණ්ඩ කීපෙකට බෙදන්න.
පුස්තකාලයකට තව මොනවද ඕන?
අවම වියදමකින් නිර්මාණය කරන පුස්තකාලෙකට හුරුබුහුටි පොත් රාක්කයක් , ඒක උඩ තියපු මල් පැලයක්, කුෂන් එකක් දාපු වේවැල් පුටුවක් වගේ දේවල් ටිකක් ඔයාලට එකතු කරගන්න පුළුවන්.
ඒ වගේම වතුර දාපු ගුරුලේත්තුවක් එහෙමත් තිබ්බට කමක් නැහැ. ඇත්තටම පුස්තකාලෙකට ඕන කරන්නේ පොත් රාක්ක, පොත් සහ පොත් කියවන්න පුළුවන් තැනක්. ඒ වගේම හොඳ වාතාශ්‍රයක් සහ හොඳ ආලෝකයක්. එතනින් එහාට ඒකට අවශ්‍ය දේවල් තමන්ගේ වුවමනා එපාකම්වල හැටියට තමයි.
අර්චිත ඉඳුවර ✍️