අද වෙනකොට ගැහැනු පිරිමි භේදයක් නැතුවම තමන්ගේ රූපය ලස්සන කරගන්න විවිධාකාර උපක්‍රම භාවිත කරනවා. කොණ්ඩයට විවිධ විලාසිතා කරනවා. හැබැයි ඒ විලාසිතාවලට වියදම් කරපු මුදල් අපරාදේ කියල හිතෙන විදිහට ඔබත් හිසකෙස් ගැලවී යාමේ ගැටලුවෙන් පීඩාවිඳින කෙනෙක්ද? මේකට ලොකුම හේතුව කාර්යබහුලත්වය, ආතතිය හෝ පරිසර දූෂණය විතරමයි කියල හිතපු ඔයා කවදාහරි හිතුවද ඔයාගේ සමහර පුරුදු නිසාත් මේ ගැටලුව ඇති වෙන්න පුළුවන් කියල? ඉතින් ඔයත් පිරිපුන් කෙස් කළඹක හිමිකරුවෙක් වෙන්න හීන දකින කෙනෙක් නම් මේ ගැන ඔබේ අවධානය දෙන්න.
නිතර හිසකෙස්වලට රසායනික සත්කාර කිරීම
ඔබ පෙනුමට ඉන්න හිතලා නිතරම හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක් හෝ ෆර්මින්, රිලැක්සින්, ස්ට්‍රේට් වගේම කෙරටින් සත්කාර කරන කෙනෙක් නම් එහිදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය ඔබගේ සංවේදී හිස්කබලට ඔරොත්තු නොදෙන්න පුළුවන්.
රසායනික සත්කාරවලින් පසු ඔබට ඇත්තේ ස්වභාවික කෙස්කලඹ නොවන නිසා මෙන්ම සත්කාරවලින් පස්සේ නිසි පරිදි හිසකෙස් නඩත්තු නොකිරීම නිසා හිසකෙස් අනවශ්‍ය ලෙස ගැලවී යන්න පුළුවන්. මේ නිසා නිතර නිතර හිසකෙස්වලට රසායනික සත්කාර කරන්න කලින් දෙපාරක් හිතන්න.
නොගැළපෙන ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතය…
ඔයාගේ හිසකෙස්වල නිරෝගී බවට හිස කෙස්වල පිරිසිදුකම ගොඩක් වැදගත්. හිස් කබලේ මේදය සහ කුණු රැඳුනු විට රෝම කූප අවහිර වෙනවා. හිස කෙස් වැටෙනවා. නිතරම හිස්කබල පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වුණත් ඒ සඳහා ෂැම්පූ හෝ කන්ඩිෂනර් තෝරාගන්න පෙර ඔබගේ හිසකෙස්වල ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබාගන්න.
ඒ වගේම ගැළපෙන ෂැම්පූ සහ කන්ඩිෂනර් තෝරාගත්තත් ඒවා කෙලින්ම හිසකෙස් මත යෙදීම, තදින් ඇතිල්ලීම නිසා හිසකෙස් වියළි ස්වභාවයක් ගන්න පුළුවන්. හිසකෙස් අනවශ්‍ය විදිහට ගැලවී යන්න මේක ලොකුම හේතුවක්. මේ නිසා ඔබගේ කෙස් කලඹ ආරක්ෂා කරගන්න නිවැරදි අවබෝධයෙන් යුතුව ෂැම්පූ, කන්ඩිෂනර් භාවිත කරන්න.
දිනපතා උණු වතුර ස්නානය කිරීම…
වතුර සීතලයි කියලා ඔබත් දිනපතාම නෑමට උණු වතුර භාවිත කරනවා නම් මතක තබාගන්න. එය ඔබේ හිස්කබල විසින් මේදය නිපදවීම වළක්වනවා. ඒ හේතුවෙන් හිස්කබලට අවශ්‍ය පෝෂණය නොලැබීම නිසා හිසකෙස් වර්ධනය අඩපණ කරනවා වගේම තියෙන හිසකෙස් හැලෙනවා. ඔබේ හිසකෙස් යන එක අවම කරගන්න නම් දිනපතා නෑම සඳහා උණු වතුර වෙනුවට සිසිල් හෝ ඇල් වතුර භාවිත කරන්න.
නිතර හිසකෙස් ඩ්‍රයි කිරීම…
කාර්යබහුල ජීවන රටාවත් එක්ක නෑමෙන් පසු හිසකෙස් ඉක්මනින් වේලා ගැනීමේ අවශ්‍යතාව නිසා අද වෙනකොට බොහෝ දෙනෙක් හෙයා ඩ්‍රයර් එකක් භාවිත කරනවා. ක්ෂණික වාසිය මත එසේ වියළා ගත්ත ද දිගින් දිගටම ඔබ හෙයා ඩ්‍රයර් එකක් පාවිච්චි කිරීම නිසා හිසකෙස්වල ස්වභාවික තෙල් සහ මෘදු ගතිය ඉවත් වී වියළි, දුර්වල ස්වභාවයක් ගන්නවා. ඔබේ මෙවැනි වැරදි පුරුදු නිසාම ඔබට පසුකාලීනව පීඩා විඳින්න සිදුවන බව හොඳින් මතක තබාගන්න.
වැරදි ආහාර පුරුදු
ඔබ හොඳින්ම දන්නවා ඔබ ලබා ගන්නා ආහාර ඔබේ ශරීරයට ඍජු ලෙසම බලපෑම් කරන බව. ඒ නිසා එදිනෙදා ආහාර රටාවත් හිසකෙස් අනවශ්‍ය විදිහට ගැලවී යන්න ප්‍රධානම හේතුවක්. කාර්යබහුලයි කියමින් ක්ෂණික ආහාර ලබාගැනීම, ඩයට් කියමින් පෝෂ්‍යදායී ආහාර මඟ හැරීම නිසා ශරීරයට අවශ්‍ය කැල්සියම්, විටමින්, ඛනිජ වර්ග නොලැබී යාම හිසකෙස් දුර්වල වී හැලීමට මූලිකම හේතුවක් බව පර්යේෂණවලින් පවා හෙළි කරගෙන තිබෙනවා.
මේ නිසා කෙස් කලඹට ආදරය කරන ඔබ අදම ඔබගේ ආහාර රටාව නිවැරදිව සකස් කරගන්න අමතක කරන්න එපා.ඔබත් මේ වැරදි පුරුදුවල හිමිකරුවෙක් නම් ඔබේ කෙස් කලඹේ ගැටලුවලට ලොකුම හේතුව ඔබයි. මේ නිසා ජන්මෙට වඩා ලොකු ඔයාගේ මේ වැරදි පුරුදු අතහැරලා ඇස් වසඟ කරන පිරිපුන් නීරෝගී කෙස්කලඹක හිමිකාරියක්, හිමිකරුවෙක් වෙන්න අදම සූදානම් වෙන්න.
Smart lady ඇසුරෙන්
දුම්ෂා විජේසිංහ ✍️