ඔයාගෙ ගෙදරත් පරණ කෑන්, තීන්ත බාල්දි ඒ වගේම ඉවතලන ලස්සන භාජන ගොඩාක් ඇති. ඒවා කොහෙටද දාන්නේ කියලා හිතාගන්න බැරි වෙලාවලුත් ඔයාට තියෙනවා ඇති. ඒ විතරක් නෙමෙයි මේ වගේ භාජන පරිසරයට නිකන්ම බැහැර කරන නිසා ඩෙංගු වගේ රෝග බෝ වෙනවා කියලත් ඔයා අහලා ඇතිනේ. ඉතින් මේ දේවල් වලට මොකක්ද කරන්නේ? කියල හිතලා ඔයා තවමත් වද වෙනවා නේද?….
ඔයාට මේ දේවල් ප්‍රශ්නයක් වෙලා තිබුණු කාලෙ අදින් ඉවරයි කියලා හිතන්න. අපි ඔයාට කියලා දෙනවා මේ දේවල් පාවිච්චි කරලා කොහොමද ඔයාගෙ ගෙදර ලස්සනට තියාගන්නෙ කියලා. ඉතින් ඔයාටත් පුළුවන් අපි මේ කියන පැළ වර්ග මේ වගේ භාජනවල ඉතාම පහසුවෙන් වගා කරගන්න.
මකුළු (Spider plant )
කොළ සහ සුදු පාටවලින් යුතු හීනි දිගටි කොළ තියෙන මේ ශාකය ඉතාම ලස්සන ශාකයක්. ඉතින් මේ වගේ ඉවතලන භාජනවලත් ඔයාට මේ ශාකය ඉතාම පහසුවෙන් වගා කරගන්න පුළුවන් වගේම ඔයාගේ ගෙවත්තෙත්, නිවස ඇතුලත් අලංකාර කරගන්න මේ ශාකය යොදා ගන්න පුළුවන්.
ජේඩ් සහ එචවේරියා ( Jade & Echeveria )
මේවා කුඩා භාජනවල වුණත් සාරවත්ව වැවෙනවා. මේවා සාරවත් නිසා ඔයාට දින කිහිපයක් වතුර දාන්න අමතක වුණත් මේ ශාකවලට මොකුත්ම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේවට වතුරත් ඉතාම අඩුවෙන් තමයි ඕන වෙන්නේ. හැබැයි මේවට ඉර එළිය නම් ගොඩක් ඕන. ඒ නිසා ඉර එළිය වැටෙන තැනක තමයි මේ ශාකය තියන්න ඕන.
මින්ට් (Mint)
මින්ට් ශාකය වැවෙන්න නම් ටිකක් ලොකු භාජනයක් ඕන වෙනවා. මොකද මේ ශාකය විශාල ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. මේ ශාකය කෙළින්ම පොළොවෙ හිටෙව්වොතින් ලොකු ප්‍රදේශයක පැතිරෙනවා.
හැබැයි සාමාන්‍ය ප්‍රමාණයේ භාජනවලත් ඔයාට මේ ශාකයේ හිටවන්න පුළුවන්. ඔයා දන්නවා ඇතිනේ මින්ට් ආහාරවලටත් එකතු කරනවා කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ළඟ තියෙන භාජනයක මින්ට් පැළ කරලා නැවුම් අස්වැන්නකින් ඔයාගේ කෑම එක රසවත් කරගන්න.
සාම ලිලී (Peace lily)
සාම ලිලී, එහෙම නැත්නම් පීස් ලිලී කියන්නේ සුදු පාට මල් පිපෙන හරිම ලස්සන ශාකයක්. මේ ශාකය ගෘහස්ථ ශාකයක් විදියට තමයි වවන්නේ. මේ ශාකයේ දිලිසෙන කොළ පාට කොළ තියෙනවා වගේම කුඩා භාජනයක වුණත් ඉතාම සරුවට මේ ශාකය වැඩෙනවා.
මැරිගෝල්ඩ් (Marigold)
ඉන්දියාවේ බහුලවම වගා කරන මල්වලින් එකක් තමයි මේ මැරිගෝල්ඩ් කියන්නේ. ඔයාට වගා කරන්න තියෙන්නේ කුඩා ඉඩක් නම් මේ ශාකය තමයි ඔයාට ගැළපෙන්නේ. මේවා සාමාන්‍ය ප්‍රමාණයේ මැටි භාජනවල, පරණ තීන්ත බාල්දිවල වගා කරන්න පුළුවන් හැබැයි හොඳ හිරු එළිය මේවට ඕන වෙනවා. හොඳින් හිරු එළිය ලැබෙන තාක් මේ මල් ඉතාම සරුවට වැවෙනවා.
ලැවෙන්ඩර් ( Lavender)
මේ ශාකය ගෘහස්ථ ශාකයක්. ඔයාගේ නිවසට ලස්සන වගේම නැවුම් බව එකතු කරන්න මේ ශාකය සමත් වෙනවා. කුඩා භාජනවල බහාලුම්වල මේ ශාකය ලස්සන පොකුරු විදිහට වැඩෙනවා. මේ ශාකය ලස්සනට තියාගන්න නම් නිතිපතා කප්පාදු කිරීම සිදුකරන්න ඕන.
සර්ප ශාකය ( Snake plant)
මේ ශාකය දිගු කාලයක් ජීවත්වෙන ශාකයක්. ඒ වගේම තමයි මේ ශාකය ඉතාම පහසුවෙන් වැඩෙන අතරම ව්‍යාප්ත වීමත් සිද්ධ වෙනවා.
පෝතෝස් (Pothos)
හදවතක හැඩයක් තියෙන මේ ශාකය ලස්සන සුදු පාට සහ කොළපාට කොළවලින් යුක්තයි. අඩු නඩත්තුවකින් වුණත් මේ ශාකය ලස්සනට වැඩෙනවා. මේ ශාකය එල්ලෙන භාජනවල වවන්න තමයි ගොඩක්ම සුදුසු.
ජැස්මින් (Jasmin)
“රාත් කිරාණි” ලෙස ප්‍රචලිත අරාබි ජස්මින් යනු භාජනවල වගේම බහාලුම්වල වගා කරන්න පුළුවන් ලස්සන වගේම හරිම සුවඳ ශාකයක්. මේවා හොඳින් වර්ධනය වෙන්න නම් අඩු ඍජු හිරු එළිය අවශ්‍ය වෙනවා.
වර්බෙනා (Verbena)
මෙය සපුෂ්පශාකයක් වගේම එය ලස්සන කුඩා මල් පොකුරු සහිත වෙනවා. ඒ වගේම තමයි වර්බෙනා හොඳින් වර්ධනය වෙන්න නම් දිනපතා පැය කිහිපයක් මෙයට හිරු එළි අවශ්‍ය වෙනවා.ඉතින් ඔයාගේ ගෙදරත් ඉවත් කරන භාජනවල මේ වගේ ලස්සන පැළ හිටව ගත්තොතින් ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න වගේම පිරිසිදුව තියාගන්නත් ඔයාට පුළුවන්.
timesofindia ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️