“ලේනෝ.. ලේනෝ… මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ…” එහෙම කියලා අපිව රැවැට්ටුවේ ඉස්සර කාලේ. අද බබාලට මුල ඉඳලම කිරිදත් රැක ගන්න විදිහ කියලා දෙන්න ඕනේ. පුංචි බබාලට විතරක් නෙවෙයි අලුත් අම්මලා පවා අලුත් බබාලාගේ දත් ටික රැකගන්න කටයුතු කරන්න ඕන. ඉතින් ඒක ලේනා කරන්නේ නැති නිසා ලස්සන, ශක්තිමත්, ස්ථිර දත් පෙළක් ලබා ගන්න ලස්සන හිනාවකින් කෙනෙක්ව පිළිගන්න දත් ටික රැකගන්න ලොකු වගකීමක් අපි කාට වුණත් තියෙනවා.
කුඩා දරුවන්ගේ කිරිදත් ආරක්ෂා කරන්න ඕනෙමද?
ඔව්… අනිවාර්යයෙන්ම ඕනේ. ගොඩක් අයට තියෙන වැරදි මතයක් තමයි කිරිදත් වැටෙන නිසා ඒ ගැන ඒතරම් අවධානය යොමු කරන්න ඕන නැහැ කියන එක. නමුත් පුංචි බබාලට සෞඛ්‍ය සම්පන්න කිරිදත් පෙළක් තියෙන්නම ඕන. එහෙම නොවුනහොත් තමයි බබාලගේ පෝෂණයට, වර්ධනයට, කථනයට, පෞරුෂ වර්ධනයට වගේම අධ්‍යාපන කටයුතු වලටත් අහිතකර විදිහට ඒක බලපාන්නේ.
එතකොට දරුවෙකුගේ කිරිදත් එන්න පටන් ගන්නේ….
සාමාන්‍යයෙන් බබෙක් ඉපදිලා මාස හයෙන් පස්සේ කිරිදත් එන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවලදී තරමක් ප්‍රමාද වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 03 වන විට දරුවෙක්ගේ කිරිදත් විස්ස සම්පූර්ණ වෙනවා.
දරුවෙකුගේ කිරිදත් වැටිලා ස්ථිර දත් එන්න පටන් ගන්නේ මොන කාලෙද?
සාමාන්‍යයෙන් කිරිදත් වැටිලා ස්ථිර දත් එන්න පටන් ගන්නේ අවුරුදු හයේදී විතර. මේ වයසේ දී වැටෙන කිරිදත් වෙනුවට එන ස්ථිර දත්වලට අමතරව චාර්වක දත් වුනත් මතු වෙනවා. ඒ කාලයේ දී කිරිදත් වටෙන්න පටන් ගත්තත් කිරිදත් වැටී අවසන් වීමට අවුරුදු දොළහක් දහතුනක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේ කාලයේ දී දරුවෙකුට තිබෙන්නේ කිරිදත් හා ස්ථිර දත් සහිත මිශ්‍ර දත් දෙපළක්. මේ සියලු දත් හොඳින් රැකබලා ගැනීම හරිම වැදගත්. නියමිත කාලයේ දී ස්ථිර දත් මතුවන තෙක් බබාගේ කිරිදත් රැක ගැනීම ලස්සන ස්ථීර දත් දෙපළක් ලබා ගැනීමට හේතුවක්.
කුඩා දරුවන්ගේ බහුලව දක්නට ලැබෙන මුඛ රෝග මොනවද?
දරුවන් තුළ බහුලවම දකින්න ලැබෙන මුඛ රෝග ලෙස දත් දිරායෑම හඳුන්වන්න පුළුවන්.
දරුවන්ගේ දත් දිරායන්නේ ඇයි?
දත් දිරායෑමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කටේ බැක්ටීරියා සහිත මැලියම් පැවතීම. නිතර නිතර පැණිරස ආහාර සහ ඇලෙනසුළු පිටි සහිත ආහාර ලබා ගැනීමත් හේතුවක්. බැක්ටීරියා සීනි මත ක්‍රියාකර හදන අම්ල මඟින් දතේ එනමලයේ ඇති කැල්සියම් ඉවත් වීම නිසා අත් දිරායෑම පටන් ගන්නවා.
දරුවාගේ දත් දිරන බව කොහොමද හඳුනාගන්නේ?
දත් දිරායාමක දී මුලින්ම දත්මත සුදු ලප මතු වෙන්නේ පටන් ගන්නවා. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඒ ලප දුඹුරු පැහැයට හැරී දතේ කුහර සෑදීමට පටන් ගන්නවා. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් දත් කැඩීයාම, දතේ වේදනාව ඇතිවීම සහ දත අවට සැරව ගෙඩි සෑදීම දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්.
දරුවන්ගේ දත් දිරායාමෙන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් විදිහට ගතයුතු ක්‍රියාමාර්ග මොනවද?
පළමු දත මතු වූ දා පටන් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් සහ නිවැරදි ළමා දත් බුරුසුවක් භාවිත කර නිවැරදි ලෙස දත් මැදීම කළ යුතුයි.ඒවගේම, දරුවාට නිතර නිතර පැණිරස ආහාර සහ බිස්කට් වර්ග ලබා දීමෙන් වළකින්න ඕන.
දත් මැදීම ගැන කතා කරද්දී දෙමව්පියන් විසින් නිවසේ දී සතියකට වරක්වත් හොඳින් ආලෝකය ඇති ස්ථානයකට ගොස් දරුවාගේ දත් පරීක්ෂා කරන්න පුළුවන්.
ඒවාගේම, මාස හයකට වරක් දන්ත වෛද්‍යවරයෙක් වෙත ගොස් දරුවාගේ දත් පරීක්ෂාව කරවා ගන්න.දත් දිරායන බව දුටුවහොත් වහාම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන්න.
දත් දිරායාමේ මූලික අවස්ථාව වන සුදු ලප අවස්ථාව සඳහා ඇති ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය ලබා දීම මඟින් දත් දිරායාම වළක්වා ගන්න පුළුවන්. එමෙන්ම දිරාගිය දත් ඉක්මණින්ම සංරක්ෂණය කිරීම මඟින් දරුවා දත් කැක්කුම නිසා පීඩාවට පත් වීමත්, දත් කැඩීමෙන් වළක්වා ගැනීමත් කළ හැකි වෙනවා.
නිවැරදිව කොහොමද දත් මදින්නේ?
නිවැරදිව දත් මැදීමේ දී සෑම දතක්ම සෑම පැත්තකින්ම ක්‍රමානුකූලව මදින්න ඕන. දත සම්පූර්ණයෙන්ම මැලියම් ඉවත් වන ලෙස පිරිසිදු කරන්නත් ඕන. දරුවාට නිවැරදිව දත් මැදීමට හැකිවන තෙක් දෙමාපියන් දරුවන්ගේ දත් මැදීම කරනවා නම් හොඳයි.
දරුවන්ගේ දත් දවසට කී වාරයක් මදින්න ඕනද?
අවම වශයෙන් දිනකට දෙවරක්වත් දත් මැදිය යුතුයි. උදේට සහ රාත්‍රියට ආහාර ගෙන අවසන් වී නින්දට යාමට පෙර අනිවාර්යයෙන්ම දරුවන්ගේ දත් පිරිසිදු කළ යුතුයි.
මොනවගේ දන්තාලේපයක්ද දත් මදින්න වඩාත් සුදුසු?
ෆ්ලෝරයිඩ් සහිත ඕනෑම දන්තාලේපයක් භාවිත කර දත් මැදීමෙන් දරුවන්ගේ දත් දිරායෑම වළක්වා ගන්න පුළුවන්. මෙහිදී අවුරුදු තුනට වඩා අඩු දරුවන්ට කුඩා පටලයක් ලෙස දන්තාලේප භාවිත කිරීම ප්‍රමාණවත්. අවුරුදු තුනේ සිට අවුරුදු හය දක්වා දරුවන්ට එය ක්‍රමයෙන් මුං ඇටයක ප්‍රමාණයේ සිට කඩල ඇටයක ප්‍රමාණය දක්වා වැඩිකර ගන්න ඕන.
දරුවන්ගේ දත් මැදීමට සුදුසු මොනවගේ දත් බුරුසුවක්ද ?
පළමු දත මතු වූ දා සිටම දරුවන්ගේ දත් මැදීමට ළමා දත්බුරුසුවක් පාවිච්චි කරන්න. එය මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් විය යුතුයි. දත් බුරුසුවේ කෙඳි නැවී, ගෙවී ඇත්නම් එය ඉවත් කර අලුත් දත් බුරුසුවක් ඒ වෙනුවට පාවිච්චියට ගන්න. වෙළෙඳපොලේ තිබෙන ඇඟිල්ලට පළඳින ෆින්ගර් බ්‍රෂ් එකක් භාවිත කිරීමෙන් නිවැරදිව දත් පිරිසිදු කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කිරිදත් වැටී ස්ථීර දත් මතු වීමත් සමඟ දරුවාට වැඩිහිටි දත් බුරුසුවක් පාවිච්චි කිරීමට පුරුදු කරන්න.
දරුවෙකුගේ දත්වලට අනතුරක් වුණොත් මොකද කරන්නේ?
හොඳම දේ තමයි පුළුවන් තරම් ඉක්මණට දරුවා ළඟම තියෙන දන්තායතනයට හෝ දන්ත වෛද්‍යවරයෙකු ළඟට රැගෙන යන්න. විශේෂයෙන්ම ස්ථිර දතක් සම්පූර්ණයෙන්ම ගැලවී ගියහොත් එම දත දරුවාගේම කෙළවල, සේලයින් වතුරවල හෝ නැවුම් කිරිවල බහා හැකි ඉක්මණින් දන්ත ප්‍රතිකාර සඳහා රැගෙන යන්න.
ස්නායු පිරවීම වගේ ප්‍රතිකාර දරුවන්ටත් කරනවාද?
ඔව්. කල්ක කුහරය දක්වා ව්‍යාප්ත වූ කුහර සහිත දත් සඳහා විශේෂ ස්නායු ප්‍රතිකාර ක්‍රම මඟින් දත් සංරක්ෂණය කිරීම කරනු ලබනවා.
දත් වර්ධනය කරගන්න කැල්සියම්වල අවශ්‍යතාවයක් තිබෙනවාද?
ඇත්තෙන්ම කැල්සියම් කියන්නේ දත් සහ අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය සංඝටකයක්. ඒ නිසා එදිනෙදා දරුවන්ට ලබා දෙන ආහාර වේලට කැල්සියම් අඩංගු ආහාර එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. එය දත්වල වර්ධනය සඳහා උපකාරී වෙනවා.
මුඛ සෞඛ්‍ය පිළිබඳ යහපත් ආකල්ප දරුවන් තුළ වර්ධනය කරන්නේ කොහොමද?
දරුවන්ට කුඩා කාලයේ සිටම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න පුරුදු කරන්න ඕන. ඒ වගේම එහි වැදගත්කම කියාදෙන්නත් ඕන. දරුවන්ට කුඩා කාලයේ සිටම දත් මදින්නේ කොහොමද, තමන්ගේ දත් රැකගන්නේ කොහොමද හා එහි වටිනාකම වැඩිහිටියන් විසින් කියා දෙන්න ඕන. විශේෂයෙන්ම දරුවන් බය නොකර දත්වල ඇත්ත තත්ත්වය දරුවන්ට පැහැදිලි කරන්න. මොකද නැත්නම් දන්ත ප්‍රතිකාරවලට එන දරුවන් අනවශ්‍ය විදිහට බය වෙනවා.
හරින්දී ලියනගේ ✍️