පන්සිල් කියන්නේ විශ්වීය මාර්ගෝපදේශයක් ගිහි පින්වතුන් තමන්ගේ ජීවිතයේ ශික්ෂණය වෙනුවෙන් පන්සිල් ආරක්ෂා කරනවා. මේ නිසා පන්සිල් ගිහියන්ගේ නිත්‍ය ශීලය බවට පත්ව තිබෙනවා. පන්සිල් කියන්නේ විශ්වීය මාර්ගෝපදේශයක්. බුදුරජාණන්වහන්සේ භික්ෂු ශාසනය වෙනුවෙන් පවා විනය නීති පැනවුයේ වසර විස්සකට පසුවයි. උන්වහන්සේ නිතරම ස්වයං විනය අනුව කටයුතු කිරීමට උපදෙස් ලබා දුන්නා. පන්සිල් ආරක්ෂා කිරීම කියන්නේ ස්වයං විනයක්. බුදුරජාණන්වහන්සේ පහළ වීමට පෙරාතුව පටන් සීලය සමාජයේ පැවැතුණා. ඇසළ පොහොය දිනයේ මහමායා දේවිය සිල් සමාදන් වුණා. ෂඩ් ශාස්තෘන් අතරත් සිල් තිබුණා. ඔවුන් සතුන් මරන්න කැමැති වුණේ නැහැ. එය අන්තවාදී බව ඇත්ත. නමුත් වැරදි ජීවන රටාවෙන් මිදෙන්න යම් යම් සීමාවන් පනවා ගෙන තිබුණා. කතෝලික ධර්මයේ “දස පනත” වගේම ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් අතර සඳහන් වන අහසේ පියාසර කරන කුරුල්ලන්ට පවා ආදරය කරන්න. ඒ ඔවුන්ගේ ඉගැන්වීමයි.
පන්සිල් ගැනීම සම්ප්රදායක් නොවෙයි…
උත්සවයක් ආරම්භයේදී බෞද්ධයන් පන්සිල් ගන්නවා. අන්‍ය ආගමිකයන් සිටියොත් ඔවුන් තම තමන්ගේ ආගම සිහි කරනවා. එය සම්ප්රදායක්. ඒ වගේම සමහරු මේ විදිහට තර්ක කරනවා. ජීවිතයට එක වතාවක් පන්සිල් ගත්තොත් මදිද… ? නැවත නැවත පන්සිල් ගැනීමට වඩා මේ නිත්‍ය ශීලය ආරක්ෂා කිරීම වඩා වැදගත් නේද…? නමුත් මේ වගේ දෙයක් තියෙනවා.
අපේ ජීවිතයට යම් හික්මීමක් අවශ්‍ය වෙනවා. පන්සිල් සමාදන් වීමෙන් ඒ හික්මීම අනුගමනය කරන බවට පොරොන්දු වෙනවා. නමුත් යම් යම් ශික්ෂා පද අපෙන් බිඳෙනවා. භික්ෂුන් වහන්සේලාට වුණත් ශික්ෂා පද කැඩෙන්න පුළුවනි. ඒවා“ ඇවැත් “ විදිහට හැඳින්වෙනවා. භික්ෂුන්වහන්සේ නමක් වෙතින් යම් ඇවැතක් සිදු වුණොත් “ ආයතී සංවරයේ පිහිටවනවා… ”
ඒ කියන්නේ නැවත ඒ වරද නොකරන බවට වූ සංවරයේ පිහිටුවනවා. කතෝලික ධර්මයේ “ පාපොච්චාරණය ” කියන්නෙත් මේ හා සමාන ක්‍රියාවක්. ආගමික ඉගැන්වීමට පටහැනි දෙයක් තමන් වෙතින් සිදු වුණොත් එය පල්ලියේ පියතුමා ඉදිරියේ කියනවා.
මේ තත්ත්වය එක්තරා මනෝවිද්‍යාත්මක තත්ත්වයක්. වරදකාරී සිතුවිලිවලින් පීඩා විඳිනවාට වඩා එය තවත් කෙනෙකුට කිව්වාම හිත සැහැල්ලු වෙනවා. නැවත ඒ වරද කිරීමට යොමු නොවන තරම් ස්වයං හික්ෂණයක් ලබනවා.
අංගුලිමාල මිනී මැරුවා. නමුත් බුදුරජාණන්වහන්සේගේ සරණ ගොස් සංවර වුණා. අංගුලිමාල මිනිමරුවෙක්. මේ වෙන කොටත් ඇගිලි නවසිය අනු නවයක් වෙනුවෙන් මිනී මරපු දාමරිකයෙක් කියලා හංවඩු ගහලා පැත්තකට කළා නම් රහත් බවට පත් අංගුලිමාල තෙරුන් වහන්සේ ගැන අපට අසන්න ලැබෙන්නේ නැහැ.
ලෝකයේ සදාකාලික වරදකරුවන් නැහැ. ඒ වගේම සදාකාලික නිවරැදිකරුවන් නැහැ.පන්සිල් නැවත නැවත ගැනීමෙන් සිදු වෙන්නෙත් එයයි. පන්සිල් ගත්තාම වැරදි කිරීමට යම් බයක් ඇති වෙනවා.
ඉතාම සරලව කිව්වොත් හෘදය සාක්ෂියට විරුද්ධව කටයුතු කිරීමක් විදිහට හිතෙනවා. අපි මෙහෙම කියමු. ප්‍රාණ කියන්නේ පණ… ඝාත කියන්නේ ඝාතනය කිරීම. සතෙකු මරනවා නම් අපේ හිතට යම් තරහක් ඕන. මදුරුවෙකුට ගහන්නේ නිකම් නොවෙයි. මදුරුවා දෂ්ඨ කිරීම නිසා හිතේ ඇති වෙන තරහ නිසයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස-සබ්බේ සං ජීවිතං පියං
අත්තානං උපමා කත්වා- න හ න්‍යෙය නඝාතයේ
හැම දෙනෙක්ම දඬුවමට බයයි. ජීවිතයට ප්‍රියයි. තමා උපමාවට ගෙන සතුන් මැරීම නොකළ යුතු බව අපට කියයනවා. බොරුකීම අනුමත කිරීමට නොහැකි වුණත් “ white lie ” හෙවත් සුදු බොරු හෝ කියනවා. ඒ නිසා වැරදි සිදු වුණාම නැවත ඒ වරද නොකරන බවට වූ හෘද සාක්ෂිය පොරොන්දු කර ගැනිමක් විදිහට නිරන්තරව පන්සිල් ගැනීම සඳහන් කරන්න පුළුවනි.
පන්සිල් ගැනීම නිසා සතිමත් බව රැකෙනවා…
පන්සිල් නිසා පුද්ගලයෙකුට සතිමත් බව ගොඩනඟා ගැනීමට පුළුවන්. ශිල, සමාධි, ප්‍රඥාවන් අතරින් සීලයේ මූලික අත්තිවාරම පුද්ගලයෙකු තුළ ගොඩ නැගෙන්න පංචශීල සමාදානය ඉතාම වැදගත්.
දවසක් එක් භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන්වහන්සේ වෙත ගොස් මෙහෙම කිව්වා.මෙච්චර සිල් පද ගොඩක් මට රකින්න බැහැ.එහෙමනම් ඔබට එක සිල් පදයක් රකින්න පුළුවන්ද? බුදුරජාණන්වහන්සේ විමසා සිටියා. පුළුවනි… ඒ භික්ෂුන්වහන්සේ පිළිතුරු දුන්නා…
එසේනම් සිත රකින්න බුදුරජාණන්වහන්සේ භික්ෂුන් වහන්සේට පිලිතුරු දුන්නා.දලෙයි ලාමා තුමාගේ ඉගැන්වීම්ත් එහෙමයි. ඔබට රකින්න පුළුවන් සිල් පද හතර නම් එය ආරක්ෂා කරන්න.
ධර්මය ඇති තැන විනය අවශ්‍ය නැහැ
අපේ ජීවිතයේ සියලු අකුසල් සිදු වෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසල මූල නිසයි. සතුන් මරන්නේ… ද්වේශයෙන්… සොරකම් කරන්නේ ලෝභයෙන්, බොරු කියන්නේ… මත් පැන් බොන්නේ මෝහය නිසා.
මත්පැන් බීමේ ආදීනව නොදැනීම මෝඩකමක්. කාමය වරදවා හැසිරීමේදී මේ අකුසල මූල තුනම සිදු වෙනවා. නමුත් ධර්මයෙන් ජීවිතය හැඩ ගසා ගත් විට වැරදි මාර්ගයක යොමු වෙන්නේ නැහැ. පුද්ගලයා තුළ ස්වයං විනයක් ගොඩ නැගෙනවා.
අපි පන්සිල් රකින විට ජීවිතය දෙස ප්‍රඥාවෙන් බැලීමේ හැකියාව ගොඩ නැගෙනවා. අපි මෙහෙම හිතමු…විදේශීය රටකදී කාන්තාවක් භික්ෂුන්වහන්සේ නමක් ආදරයෙන් වැළඳ ගතහොත් එය ඇවැතක් විදිහට හංවඩු ගහන්න පටන් ගන්නවා. නමුත් ඒ විදේශීය රටේ සම්ප්රදායක්. අපේ රටේ කාන්තාවන් සහ භික්ෂුන්වහන්සේලා අතර දුරස්ථ බවක් තිබෙනවා. අපේ සංස්කෘතිය තුළ එය සාධාරණයි.
නමුත් විදේශ රටක සංස්කෘතිය තුළ එය සාමාන්‍ය සිදුවීමක්. එය කාමමිථ්‍යාචාරයක් නොවෙයි.බුදුරජාණන්වහන්සේ කිඹුල්වත්පුරයට වැඩිය දවසේ යශෝධරා දේවිය දකින්න රජමාළිගාවට වැඩියා.
යශෝධරාවන් බුදුහාමුදුරුවන්ගේ දෙපතුල් බදා ගෙන හඬන්න පටන් ගත්තා. බුදුරජාණන්වහන්සේ එතුමිය වැලැක්වූයේ නැහැ. හැගීම් ප්‍රකාශ කරන්න ඉඩ දුන්නා. නිදහසේ හඬන්න කිව්වා. කල්ප කාලාන්තරයක් පෙරුම් පුරලා ලබා ගත් බුද්ධත්වයට හානි වෙයි කියලා යශෝධරාවන්ට ඉවත් වෙන්න කිව්වේ නැහැ.
ඒ වගේ ධර්මය තියෙන්නේ හිතේ. ධර්ම මාර්ගය අවබෝධ කරගත් විට විනය ඉබේම ගොඩ නැගෙනවා. ජීවිතය දෙස අන්තවාදීව බලන්න අවශ්‍ය නැහැ.පන්සිල් රකිනවා නම් නැවත නැවත පන්සිල් ගැනීම අවශ්‍ය නැහැ කියලා අපට කියන්න බැහැ.
පන්සිල් ආරක්ෂා කිරීමෙන් ජීවිතයට ශිකෂණය ලැබෙනවා. ශීලයෙන් හික්මුන සිතන සමාධිය ගොඩ නගා ගැනීම අපහසු නැහැ. ඒ වගේම ප්‍රඥාවෙන් කටයුතු කරමින් ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ“බ්ලූ ලෝටස් ”බෞද්ධ විහාරාධිපති
පූජ්‍ය පේරාදෙණියේ සුජාත ස්වාමින් වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා