ජීවිතය කියන්නෙ ගංගාවක් වගේ දෙයක්. චූටි උල්පතකින් පටන් අරන් ගල්පරවල වැදි වැදි පල්ලම් බැහැලා කඳු පහුකරලා අවසානයේ මහ මුහුදට ගලා යනවා. අපේ ජීවිතෙත් එහෙමයි. කොයි වෙලේ බෑවුමක් පල්ලමක් හම්බෙයිද කියලා අපි දන්නෙ නෑ. එහෙමයි කියලා අපි අපේ ජීවිතේ නවත්වනවද. නෑ, අපිත් ගඟ වගේ ගලාගෙන යනවා. ගඟක බෑවුම වැඩිවෙන්න වැඩිවෙන්න තමයි ලස්සන දිය ඇල්ලක් නිර්මාණය වෙන්නෙ. ජීවිතෙත් එහෙමයි. අභියෝග වැඩිවන තරමට එයින් ලැබෙන ජයග්‍රහණය විශිෂ්ටයි. ජීවිතයම අභියෝගවලින් පිරුණු ඒත් ඒවා තමන්ගේ ජිවිතයට ආශිර්වාදයක් කරගෙන ජීවිතය ජයගත්තු කෙනෙක් අපිට මුණගැහුණා. ඔහු සතුව මේ වනවිටත් 25 කටත් වඩා සම්මාන තිබෙනවා. ඒ අතරට දේශබන්දු, දේශමාන්‍ය, දේශකීර්ති, රන් සම්මානත් ඇතුළත්. ආබාධිත ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රියා කරන ඔහු මානව හිමිකම් සංවිධානය සමඟද කටයුතු කරනවා. ඒ තමයි ප්‍රවීණ දේශකවරයකුද වන හෝමාගම අධ්‍යාපන කලාප කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරියකු වශයෙන් කටයුතු කරන උපුල් රංජිත්.
ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතාකරොත්..
මම දැනට හෝමාගම අධ්‍යාපන කලාපයේ පිළිගැනීමේ නිලධාරීයෙක් හැටියට කටයුතු කරනවා. මගේ ගම අනුරාධපුර මැදවච්චිය. මට වයස 34 ක් වෙනවා. අවුරුදු හතක් තිස්සේ මම රාජ්‍ය සේවයේ ඉන්නේ. මම විවාහකයි. මගේ බිරිඳ මාලිනි. අපිට දැන් මාස දහයක ආදරණීය පුංචි පුතෙකුත් ඉන්නවා.
මටම කියලා ත්‍රීවීල් එකක් තියෙනවා. පහසු විදියට මං මගේ ත්‍රීවීල් එක හදාගෙන තියෙන්නේ ඒකටම කියලා වෙනම ලයිසන් එකක් තියෙනවා. මම නිවාඩු දවස්වල හයර් එහෙමත් යනවා. ඒ සල්ලිවලින් මං අසරණ අයට උදව් කරනවා. එහෙම උදව් කරන අයගේ සතුට දැක්කාම ඇත්තටම මටත් ගොඩාක් ලොකු සතුටක් ඇති වෙනවා.
රාජ්‍ය සේවයේ අවුරුදු හතක් කියලා කිව්වා…
ඔව්. හෝමාගම අධ්‍යාපන කලාප අධ්යක්ෂතුමා වන හේමන්ත ගමගේ මහත්මයා විශාල සහයෝගයක් ලබාදෙනවා. මම ආබාධිත කෙනෙක් කියලා එතුමා කීයටවත් හිතන්නේ නැහැ. මානුෂීය හදවතක් තියෙන ප්‍රධානියෙක් තමයි අපේ අධ්යක්ෂතුමා. එතුමා මට ගොඩක් අවස්ථා හදලා දීලා තියෙනවා ඉදිරියට යන්න. ඒ අනුව තමයි මම පාසල්වල උපදේශන කටයුතුවලට යන්නේ. අනිත් නිලධාරීන්ද මට විශාල සහයෝගයක් ලබාදෙනවා.
ඔබ උපදේශන වැඩසටහන්වලට සහභාගී වෙනවා නේද? කොහොමද ඒ අත්දැකීම
කලාප අධ්යක්ෂතුමාගෙත්, විදුහල්පතිවරුන්ගේත් ඉල්ලීම මත තමයි ඉස්කෝලවලට ගිහින් දේශන පවත්වන්නේ. එහිදී මම කියලා දෙනවා ජීවිතේ ජයගන්නේ කොහොමද කියන එක. මත්ද්‍රව්‍ය මත්වතුරවලට ඇබ්බැහි වුණු ළමයි වෙනුවෙන් දේශන පවත්වනවා. හෝමාගම අධ්‍යාපන කලාපයේ විශාල පාසල් ප්‍රමාණයකට මේ වෙනකොට දේශන සඳහා මම සහභාගී වෙලා තියෙනවා.
තමන්ගේ ප්‍රශ්න කාටවත් කියාගන්න බැරුව හිටපු ළමයි මට ඇවිත් එයාලගේ ප්‍රශ්න කියලා තියෙනවා. සමහර ප්‍රශ්න හරිම සංවේදී ඒවා. සමහර ළමයි මට කියනවා “සර් මම ජීවිතේ නැති කරගන්න හදල තිබ්බා. සර්ගේ දේශනය ඇහුවාම මම මගේ ජීවිතය නැති කරගන්නේ නෑ මගේ ජීවිතේ ඉදිරියට ගෙනයනවා කියලා හිතාගත්තා” කියලා. මේ ළමයින්ගේ ජීවිත එළිය කරන්න අවස්ථාවක් දුන්නට මං අධ්‍යක්ෂතුමාට ස්තූති කරනවා.
ආදරණීය බිරිඳ ගැන කිව්වොත්
පොඩි කාලේ මට තිබ්බා හීනයක් සිරීපාදෙ යන්න. මම සිරීපාදේ නැග්ගේ අත් දෙකෙන් කකුල උඩ තියන් පඩි 6775ක් පැය හතරයි විනාඩි 14කින්. ඒක රෙකෝඩ් එකක් වුණා. ඒ ගැන වෛරල් වුණා. ගොඩක් අය මට කතා කරලා සුබ පැතුවා. දවසක් මට කෝල් එකක් ආවා. එයා හරිම සුහදව කතා කරේ. එයා කිව්වෙ මං ඔයාට සුබ පතන්නවත් උදව් කරන්නවත් නෙවෙයි කතා කරේ කියලා.
එයා මට කිව්වා ඔයත් එක්ක පවුල් ජීවිතයක් ගතකරන්න කැමතියි කියලා. මීට කලින් එහෙම ආදරයක් මම ලබලා හිටපු කෙනෙක් නෙවෙයි. ඇය මට කියලා දුන්නා ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියලා. අපි දෙන්නා දෙමව්පියන්ගෙන් අවසර අරගෙන විවාහ වුණා. දැන් අපි දෙන්නා සතුටින් අපේ ජීවිතය අරගෙන යනවා. මගේ ලොකුම හයිය මගේ බිරිඳ.
ඔබ මෙච්චර දුරක් ඇවිල්ල තියෙනවා. ඔබට ආපු අභියෝග ගැන මතක් කළොත්…
මගේ ජීවිතයම අභියෝගයක්. මම ඉපදුණු දවසේ මගේ අම්මලාගෙන් සමහර අය ඇහුවලු මාව සමාජයට දාන්නේ කොහොමද කියලා. ඒත් මගේ අම්මයි තාත්තයි කවදාවත් මාව ආබාධිත ළමයෙක් කියලා සලකලා නෑ. මගේ පාසල් කාලය ගත්තත් අභියෝග රැසකට මුහුණ දෙන්න මට සිද්ධවුණා.
ගොඩක් අය උසුළු විසුළු කළා. මම ඇවිදන් යද්දි මගේ ඇඟේ මඩ ගෑවුණා. මම කල්පනා කරා මගේ ඇඟේ මඩ ගෑවෙන් නැති විදියට මං ඇවිදින්නෙ කොහොමද කියලා. මං මගේ අත් දෙකෙන් ඇවිදිනවා කියලා තීරණය කළා. පව් කළාම මෙහෙමයි ඉපදෙන්නේ කියලා සමහර දෙමාපියන් මාව පෙන්නලා කියනවා මගේ කන් දෙකටම ඇහිලා තියෙනවා.
ඒත් මම ඒ වෙලාවට මගේ හිත ශක්තිමත් කරගෙන මටම කියාගන්නවා ඒ ළමයා සමාජයට යහපත් විදිහට හරි හැදෙයි කියලා මාව දැකලා. සමහර අය මාත් එක්ක කතා කරන්න කැමති නැති අවස්ථාත් තිබුණා. මං උදව්වක් ඕනෙද කියලා ඇහුවමත් නෑ එහෙම නෑ කියලා කියනවා. ඒ වෙලාවට මම වෙන කෙනෙක්ව යවලා හරි උදව් කරනවා. කවුරු මට ඇඟිල්ල දික් කරලා මොනවා කිව්වත් මම මට කියාගන්නේ “උපුල් ඔයා ශක්තිමත්” කියලා . මගේ ජීවිතේ වීරයා මමමයි.
ඔබ රාජ්‍ය නිලධාරියෙක්, උපදේශකවරයෙක් වශයෙන් කාර්යබහුල වෙද්දී ගෙදර වැඩ කළමනාකරණය වෙන්නේ කොහොමද?
මං මගේ වැඩ කරන්නේ කාලසටහනකට අනුව. මගේ පවුලේ අය වෙනුවෙන් මම මගේ කාලය වෙන් කරනවා. බිරිඳට, දරුවට අවශ්‍ය දේවල් මම අරගෙන දෙනවා. බිරිඳට උපරිම සහයෝගය දෙනවා. ඒ වගේම පුළුවන් තරම් බිරිඳව තේරුම් ගන්න බලනවා.
ඔබේ ජීවිතයෙන් සමාජයට දෙන පණිවිඩය මොකක්ද?
අභියෝග හමුවේ නොසැලී ඉන්න. ශක්තිමත්ව මුහුණ දෙන්න. තමන් තමන්ව විශ්වාස කරන්න. තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරන්න. හැමෝටම ප්‍රශ්න කියන දේවල් එනවා. අපි ඒවා ජයග්‍රහණය කරන්න ඕනේ. හොර, බොරු, වංචා නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න. මම හැමවෙලේම හිතන්නේ “ඔව් මට පුළුවන්”. ඔයාලත් එහෙම හිතන්න. පුරුදු වෙන්න .
නිපුනි සම්මානි ✍️